Sunday, May 19, 2024

එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය …….

මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ.

(මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ  මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි)

රොබට් නමැති  එඬේරෙකු, සතුන් දහස් ගණනක් සිටින තම විශාල පට්ටිය තැනිතලා තණ බිමක,  තණ කෑම සඳහා යොදවා, ගුරු පාර අයිනේ ගසක් යට සෙවනේ වාඩිවී ගිමන් හරිමින් සිටියේය. ඈත සිට ගුරු පාරේ දුවිලි නංවමින් වේගයෙන් පැමිණි, නව පන්නයේ BMW මෝටර් රථයක්, මහා දුවිලි වලාවක් නංවමින්,  ඔහු අසල නතර කළේය.

මෝටර් රථයේ ඉදිරිපස දොර විවෘත කළ, එය පදවාගෙන ආ තරුණයා දුටු  එඬේර කොලුවා මවිතයට පත්විය. ඒ තරුණයා ඉතාමත් වටිනා  Armani® ඇඳුම් කට්ටලයකින් සැරසී,  Gucci® පාවහන් දමා, RayBan® අව් කන්නාඩි පැළඳ, YSL®ටයි පටියක්ද දමා, ඇඳුමෙන් පැළඳුමෙන් මනා කඩවසම් භාවයක් පෙන්නුම් කළේය.

එඬේර කොලුවා මවිතයට පත්වී, තමා වාඩිවී සිටි තැනින් නැගිට ගත් විටම, ඔහුට කතාකළ අමුත්තා,

‘ඒයි…. මල්ලී,  මම ඔයාගේ පට්ටියේ සිටින හරක් ගණන හරියටම කිව්වොත් මට වහු පැටියෙක් දෙනවාද?”  කියා අද්භුත  ප්‍රශ්නයක් ඇසීය.

දහස් ගණනක් සතුන් සිටින තම පට්ටියේ සිටින සංඛ්‍යාව දින කිහිපයකට පෙර, පැය තුනක්  තිස්සේ  ගණන් කර තිබුණු නිසා, ඔහුට සංඛ්‍යාව ගැන ගැටළුවක් නොවිය. අමුත්තාට සතුන් සංඛ්‍යාව කෙසේවත් ගණන් කළ නොහැකි බව  දත් එඬේර කොලුවා, මෙම අති නවීන පන්නයේ අමුත්තා දෙස තව වරක් හොඳින් බලා, පෙනෙන තෙක් මානයේ සිටින තම පට්ටිය පෙන්වා,  

“හරි….., නිවැරදිව කිව්වොත් නොවරදවාම දෙන්නම්” කියා පොරොන්දු විය.

වාහනයේ හරිබරි ගැසී වාඩිවූ අමුත්තා ඔහුගේ  Ipad2 උපකරණය පිටතට ගෙනMotorola Razr 4GLte® ජංගම දුර කථනයට සම්බන්ධ කළේය. එසේ කර අන්තර්ජාලයේ  NASA පිටුවකට පිවිසුණේය. අයි පෑඩ  අකුරු පුවරුවේ, බොත්තමක් ඔබා ඔහු  GPS satellite සම්බන්ධය ලබාගත්තේය. ඊටපසු තමා දැනට සිටින ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය ආවරණය වන අති සූක්‍ෂම ඡායාරුපයක් ලබාදෙන ලෙස වෙනත් NASA චන්ද්‍රිකාවකට උපදෙස් දුන්නේය.

මෙම අද්භූත අමුත්තා, ඊට පසු තමාට ලැබුණු ඡායාරුපය Adobe Photoshop® පිටුවක විවෘත කර, ජර්මනියේ හැම්බර්ග්හි, ඉලෙක්ට්‍රොනික  ඡායා පිටපත් දත්ත සැකසුම්, මධ්‍යස්ථානයකට යොමු කළේය.

තත්පර කිහිපයකදී, ඔහුට විද්‍යත් තැපෑලෙන් ලැබුණු පණිවුඩයක සඳහන් වුයේExcel® විසුරුම් පත්‍රිකාවක සියලු විස්තර සඳහන් කර ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වූ ඔහු තම මෝටර් රථයේම තිබෙන, විශාලනය අවම කර ඇති  HPLaserJet® උපාංගයෙන්, මුද්‍රිත පිටපතක් ලබාගෙන, යන්ත්‍රයේ  තිරය මත තම ඇඟිලි තුඩු හසුරුවා එය විශාල කර ගත්තේය.

එය කියවා බැලු ඔහු,

“ඒ…යි……. යාලුවා!  …., ඔයාගේ පට්ටියේ හරියටම එළ දෙන්නු සහ වසුපැටියෝ එක්දහස් පන්සීය අසු හය දෙනෙක් සිටිනවා.” යයි මහ හඬින් කෑගසා කිවේය.

“ගණන හරියට…. හරි …..,   අපේ පොරොන්දුවේ ආකාරයට ඔබට කැමති වහු පැටියෙක් තෝරාගන්න.”  එඬේර කොලුවා කිසිම තැති ගැනීමක් නොමැතිව කීවේය.

කඩවසම් තරුණ අමුත්තා, වාහනයෙන් එලියට අවුත්, වසු පැටියෙකු තෝරණ ආකාරය ඔහු හොඳින් බලා සිටියේය. ඔහු තමන් තෝරාගත් සතා, ඔසවා වාහනයේ පසුපස කොටසට දමාගත්තේය.

වාහනයේ දොර වැසීමට පෙර අමුත්තාට  කථාකළ  එඬේර කොලුවා,

“ඒ…යී ……, මගේ අලුත් යාලුවා……, මම ඔයාගේ තරාතිරම හරියටම කිව්වොත් මට මගේ වහු පැටියා ආපසු දෙනවාද?” කියා ඔහුගෙන් ප්‍රශ්න කළේය.

මොහොතක් කල්පනා කළ තරුණයා මහත් ආඩම්බර ලීලාවකින්

“ඔට්ටුයි හරියට කියන්න බැරුව…ට” කියා තම දබරැඟිල්ල ඔහු වෙත එල්ල කර ඉල්ලීමට එකඟ විය.

“ යාලුවා …… ඔයා  අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් !” යයි ඔහු එක්වරටම කිවේය.

“ටක්කෙටම ……හරියට හරි !. ඔයා කොහොමද ඒක අනුමාන කළේ ?” අමුත්තා පුදුමයෙන් ඇසීය.

“අනුමානයක් නොවෙයි.”

“ මෙන්න මේ නිසයි මම දැනගත්තේ”

“ඔයා, කිසි කෙනෙකුගේ ඉල්ලීමක් නැතිව මෙතනට ආවා. 

 

“මම ඔබගෙන් නොඇසූ, මම හොඳින් දන්නා, මගේ සතුන් ගණන, මගෙන් ප්‍රශ්න කර, ඔබම උත්තරය කිව්වා.”

“මට එසේ කියා, ඔබ එයින් ලාභයක් උපයා ගැනීමටත් කල්පනා කළා.”

“ඔබ මේවාට අමතරව, මට වඩා දැනුවත් කෙනෙක් බව පෙන්වීමට, ඩොලර් මිලියන ගණනක් වටිනා උපකරණ රාශියක් පරිහරණය කළා. ඒවා ඔබට නිල බලයෙන් නොමිලේ ලැබෙන පහසුකම් වෙන්නට ඇති”

“ඒ කෙසේ වෙතත්,  අප වැනි සාමාන්‍ය ජනතාව ජීවිතය ගැට ගසා ගන්නා ආකාරයවත්, මේ තණබිම් වල කටුක බවවත්  ඔබ දන්නේ නැහැ.”

“ඒ සියල්ලටමත් වඩා, ඔබ ගවයින් ගැනවත් දන්නේ නැහැ.” 

“මගේ පට්ටියේ සිටින්නේ ගවයින් නොවේ බැටළුවෝ……”

“කරුණාකර, ඔබ වසු පැටවෙකැයි සිතා වාහනයට දමාගත්, මගේ එඬේර බල්ලා ආපසු දෙන්න.” 

මෙයින් කලබලවූ අමුත්තා

“ආ ….. ඒ වසු පැටියෙක් නොවෙයිද? මට හරියට හඳුනා ගන්නට බැරි උනානේ?” කිවේය. 

“ බැටළු පට්ටියක කොයින්ද…… වසු පැටව්,….. වැදගත් මහත්මයෝ…..?”

කියා එඬේර කොලුවා උපහාසාත්මකව කී විට,  තුෂ්නිම්භුතවූ දේශපාලක අමුත්තා, මහත් ලජ්ජාවට පත්වී, බල්ලා ආපසු භාරදී, වාහනය පණගන්වා, පෙරටත් වඩා දුවිලි නංවමින් වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.

ඇමෙරිකාවේ සිදුවූයේ යයි පැවසෙන  මෙවැනි සිද්ධි  අපේ රටෙත් වෙනවා නේද?

Archive

Latest news

Related news