Monday, May 20, 2024

පොලීසිය ඇමැති තෙවරප්පෙරුම වෙනුවෙන් නෙත් එෆ්එම් අසන්නන්ගේ දුරකථන ඇමැතුම් හොරා ගනී.

(05-07-2018 FMM)
මාධ්‍ය නිවේදනය: නෙත් එෆ්. එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන් පාර්ශවවලට පොලිස් බලපෑම් එල්ලවීම.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ සිද්ධියක් පිළිබඳව නෙත් එෆ්.එම් ගුවන්විදුලියේ බැලුම්ගල වැඩසටහනෙන් ප්‍රචාරය කිරීමෙන් අනතුරුව එම වැඩසටහනට තොරතුරු ලබා දුන් පාර්ශවකරුවන් වෙත කොල්ලුපිටිය පොලීසිය බලපෑම් එල්ල කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට වාර්තා වී තිබේ. නෙත් එෆ්.එම් සඳහන් කරන පරිදි අදාල වැඩසටහනට තොරතුරු ලබා දුන් අය පිළිබඳව අමාත්‍යවරයා එම ආයතනයෙන් තොරතුරු විමසා ඇති අතර මූලාශ්‍ර හෙලි නොකිරීමේ පදනම මත ඒවා ලබා දී නැත.

ඉන්පසු කිසියම් ආකාරයකින් කොල්ලුපිටිය පොලිසිය නෙත් එෆ් එම් දුර කථන ඇමතුම් ලබා දුන් ශ්‍රාවකයින් ගණනාවකගේ දුරකථන ඇමතුම් විස්තර ලබා ගෙන ඒ අනුව එම ශා්‍රවකයින් පොලිසියට කැදවා ඇති බව නෙත් එෆ් එම් කියයි. එම දුරකථන ඇමතුම් විස්තර ලබා ගත් ආකාරය ගැටළුකාරී බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරික්ෂණයයි. මෙහිදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබදව ජනමාධ්‍ය ආචාර ධර්ම වලට මෙන්ම නිතීමය ක්‍රියාපටිපාටියට ද පටහැනි බව පෙනේ.

අනතුරුව කොල්ලුපිටිය පොලීසිය මාර්ගයෙන් දුරකථන ඇමතුම් විස්තර ලබා ගැනීම ඔස්සේ තොරතුරු ලබාදුන් පාර්ශවවලට බලපෑම් කිරීම සිදුව ඇති බව නෙත් එෆ්. එම් සඳහන් කරයි.

මෙම සිදුවීම සිය මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතිය උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකයි. වඩාත් බරපතල කාරණය වන්නේ ජනමාධ්‍යයකට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම තුළින් පුරවැසියා සතු භාෂණයේ සහ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතියට බලපෑම් කිරීමයි.
කිසියම් මාධ්‍ය අන්තර්ගතයකට ප්‍රතිවිරුද්ධ අදහසක් හෝ මත දැක්වීමක් ඇතිනම් කළ යුත්තේ පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමයි. එසේ තිබියදී බලපෑම් එල්ල කිරීම කිසිසේත්ම සිදුනොවිය යුත්තක් සේ දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකන්නේ මෙම සිදුවීම මාධ්‍ය නිදහස හා අදහස් දැක්වීමේ පුරවැසි අයිතිය සීමා කිරීමේ අවස්ථාවක් ලෙසටයි. එබැවින් මෙම සිදුවිම පිළිබද පුළුල් පරික්ෂණයක් පවත්වන ලෙසට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියළු පාර්ශව වලින් ඉල්ලා සිටියි.

සී.දොඩාවත්ත, කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර, ලේකම්

Archive

Latest news

Related news