Saturday, November 23, 2024

ආඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය: අපට අවශ්‍ය කරන්නේ කුමක් ද? – විශ්වමිත්‍ර

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1956 දී ආගමේ දේශපාලනයත්, ජාතිකවාදයත් ලංකාවේ දේශපාලනයට හඳුන්වා දීම තුළින් ලාංකීය දේශපාලනයේ සහ මැතිවරණ ක්‍රියාදාමයේ අලුත් අවදියක් රටට හඳුන්වා දුන්නා පමණක් නොව, එතෙක් නිදි ගැන්වී සිටි යම් බලවේගයක් ද එහිදී ඔහු මුදාහැරියේය. වාර්ගික-ආගමික ආවේශයකට යට වූ ලංකාව තුළ එතෙක් පැවති සමාජ-දේශපාලනික ලෞකික කතිකාව නිමාවට පත්වීමේ සංඥාව එමගින් නිකුත් කෙරුණි. මෙහි ඇති සරදම වන්නේ, තමාගේ වාර්ගික-ආගමික මැතිවරණ දාමය ගෙන යාමේ නායකත්වයට බණ්ඩාරනායක විසින් පත්කොට සිටි අපකීර්තිමත් බුද්ධරක්ඛිත භික්ෂුවම එම බණ්ඩාරනායකව ඝාතනය කිරීමේ මහ මොළකරුවා වීම ය. සෑම රටකම ඉතිහාස කතා එවැනි කුරිරු සරදම්වලින් පිරී තිබේ. එහෙත් 56 පෙරළිය නිසා රටේ ඇති වූ සමාජ වටපිටාව තුළ බිහි වූ කුරිරු අපතයන් සහ රටේ ප්‍රධාන ජනවර්ග දෙක අතර ඒ මගින් ඇති කළ නොපෑහිය හැකි අගාධය තුළ, එකී සරදම රටේ සමාජ දේහය කෙරෙහි පනවා ඇති මානය අතිශය කර්කශ ය.

එතෙක් සාමාන්‍ය ගැහැනුන් සහ පිරිමින් විසින් හොබවන ලද රඟමඬලක් මතට මහා සංඝයාගේ අශුද්ධ වැඩමවීමක් සිද්ධ වීම, රටේ සමස්ත සමාජ භූ-දර්ශකය සදහට වෙනස් කළා විය හැකිය. ආගමෙන් නිදහස්, ලෞකික ව්‍යවස්ථාවක් සහිත බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙනස්ව, බණ්ඩාරනායකගේ පොදු මිනිසාගේ දේශපාලනය තුළින් ඉස්මතු වූ වාර්ගික-ආගමික දේශපාලනය, ආපසු හැරවිය නොහැකි ලෙස රටේ සමාජ දේහය තුළට කාවැදුණි. එය මේ රටේ ජීවත් වු ප්‍රධාන ජනවර්ග දෙක අතර එතෙක් පැවති සහෝදර සම්බන්ධතාව, වඩාත් ප්‍රචණ්ඩ වූත්, දරුණු ලෙස වෙනස්වන සුළු වූත් අස්ථිර තත්වයකට පත්කෙළේය. මේ පරිහානිකර සංස්කෘතික නැමියාව බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට එකපැහැර ලඝු කිරීම අසාධාරණ විය හැකි වෙතත්, කලක් තිස්සේ ලංකාවේ ජාතීන් අතර පැවති මිත්‍රශීලී සහජීවනයේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට ඉතිහාසඥයන් උත්සාහ කරන යම් අවස්ථාවක, බණ්ඩාරනායක සහ ඔහුගේ සගයන් මෙරටේ වාර්ගික ඒකාග්‍රතාව නිසැකවම අගතියට හෙලා ඇති බව වටහා ගනු ඇත.

ආගමක ශුද්ධවන්ත භාවය

මේ කියන කාරණය සිංහල බෞද්ධයන්ගෙන් අති බහුතරයේ සතුටට හේතුවක් වෙතත් නැතත්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා තරම් ලංකාවේ දේශපාලන රැල්ලේ එල්ලුණු වෙන කිසි ආගමික පූජකවරයෙකු සොයා ගැනීමට නැති බව කිව යුතුය. අගමැතිවරයෙකුගේ කුරිරු ඝාතකයෙකු විසින් ඒ භික්ෂු මැතිවරණ දේශපාලනයේ රැල්ල ආරම්භ කරනු ලැබූ අතර, ඒ භික්ෂු වර්ගයාගේ සෙසු සාමාජිකයෝ එම ප්‍රවණතාව තවත් ඉදිරියට ගෙන ගියෝය. එහි විපාකය වුණේ, සිවුරක දැවටූ භාණ්ඩයක් බවට ආගම පත්වීමෙන්, ආගමේ පූජණීයත්වය විනාශ වී යාමයි.

ආගමක් දරා සිටීම නීති සම්පාදකයන්ගේ සන්තකයට පත්කළ යුතු දෙයක් නොවේ. එය දූෂිත වූ ආගමික භික්ෂු කල්ලියක සින්නක්කර දේපළක් විය යුතු ද නැත. එසේ වෙතත්, රජවරුන්ගේ සහ රැජිණියන්ගේ මනදොළ සැපිරීම සඳහා බෞද්ධ භික්ෂුවක් විසින් ලියන ලද ‘මහාවංශ’ ඉතිහාසයේ වහලුන් බවට පත්ව සිටින මේ බෞද්ධයන්ගෙන් අති බහුතරය වැඩි වැදගත් කමක් දෙන්නේ සියවස් පහකට ආසන්න කාලයක් තිස්සේ යටත්විජිතවාදීන්ගෙන් තමන්ට අත්වූ ඉරණමක් වෙනස් කර ගත යුතුව ඇතැයි යන විශ්වාසයටයි. ඒ මනෝ භ්‍රාන්තිය, හුදු ප්‍රලාපයක් වශයෙන් බැහැර කළ හැකි දෙයක් නොවේ. එසේම එය මෝඩ කල්පනාවක් වශයෙන් ඉවත දැමිය හැකි දෙයක් ද නොවේ. සකල ආකාරයේ වාර්ගික ප්‍රශ්නවලට පිළිතුර ඇත්තේ ලෞකික ව්‍යවස්ථාවක් තුළ යැයි විශ්වාස කරන නව-ලිබරල්වාදීන්, ඒ වෙනුවට, ඉහත කී සමාජ කොට්ඨාශයට ආමන්ත්‍රණය කළ හැකි වෙනත් ආකාරයක් සොයා ගත යුතුව තිබේ. එකී ජන කොට්ඨාශය අපේ ඡන්දදායක ප්‍රජාවෙන් සියයට 80 ක් නියෝජනය කරති.

56 පෙරළිය මගින්, දීර්ඝ කාලීන වූත්, වෙනස් කර ගැනීමට දුෂ්කර වූත්, ප්‍රතිවිපාක බරපතල ය. ඒවා ආගමට පමණක් සීමා වන දේවල් නොවේ. පාරම්පරිකව ඒ මගින් ඇති කරන ලද පලවිපාක, හුදෙක් ආර්ථික ප්‍රශ්නවලට පමණක් සීමා වන්නේ ද නැත. ඒවා රටේ සංස්කෘතිය කෙරෙහි සහ ජනතාවගේ චින්තාවලිය කෙරෙහිත් බරපතල ආකාරයෙන් බලපායි. ඒ මගින් බිහි කොට ඇත්තේ, අමුතු ලංකාවකි. ඒ රටේ ප්‍රධාන සාධකයක් බවට ආගම පත්ව ඇත. නොමග ගිය දේශප්‍රේමයක් එහි ලැගුම්ගෙන ඇත. ඒ දෙකේ බාහිර ප්‍රකාශනය, ඉවසීමට වඩා ප්‍රගුණ කරන්නේ ප්‍රචණ්ඩත්වයයි. ප්‍රඥාවට වඩා ඔජවඩන්නේ ප්‍රයෝගයයි. හෘදයාංගම විචක්ෂණ භාවයකට වඩා තකතිරු මුග්ධත්වයයි.

අහිංසක දෙමළ පවුල් අපමණ නිගාවට පත්කළ සහ විනාශ කළ ප්‍රචණ්ඩ රැල්ල අප අත්දැක තිබේ. මුලින් උතුරේත්, ඊළඟට පාර්ලිමේන්තුව ඉදිරිපිටදීත් 1957 දී දෙමළ නායකයන් පැවැත්වූ සත්‍යග්‍රහ විරෝධතාවට පහර දීමෙන් ආරම්භ කළ දකුණේ අන්තවාදය, රටේ විවිධ තැන්වල සුළු ජාතිකයන් ඉලක්ක කොට දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වයක් කරා දිග් ගැස්සී අවසානයේ, 1983 දී කළු ජුලිය තුළ ඒ සියල්ල කුළුගැන්වුණි. දෙමළ තරුණ කැරලිකාරීත්වය සහ රජයට එරෙහි සංවිධානමය ආවේශය ඉපැදුණේ එතැනිනි.

බුද්ධාගම සහ ප්‍රචණ්ඩත්වය

මේ කලකෝලාහලවලට බෞද්ධ භික්ෂූන් සහභාගී වූ බව අවිවාදිතයි. ඇත්ත වශයෙන්ම, ඒවායින් බොහොමයකට නායකත්වය දෙන ලද්දේත් බෞද්ධ භික්ෂූන්මයි. වාර්ගික සුළුතරයකට එරෙහිව ගෙන ගිය ඒ අශුද්ධ වූ යුද්ධවලට බෞද්ධ භික්ෂූන් සම්බන්ධ වීම, ස්වකීය ආගමේ ප්‍රධාන පදනමක් වශයෙන් අවිහිංසාව දේශනා කළ ප්‍රථම ශාස්තෘවරයාගේ උත්තුංග දර්ශනයම කණපිට හැරවීමක් විය.

දේශප්‍රේමයේ ප්‍රචණ්ඩ භාවිතාවක එල්ලුණු බහුතරයකින් සමන්විත සිංහල බෞද්ධ ජනතාව එක පැත්තකිනුත්, මහ ජාතිය සමග සහජීවනය සහ ප්‍රතියෝජනය පිළිබඳ විශ්වාස දල්වා සිටි සුළුතර ජනතාව අනිත් පැත්තෙනුත් එකිනෙකාගෙන් කෙමෙන් ඈත් වීම තුළ අපේ ජනතාවගේ ඉහත කී කොටසේ සමාජ-දේශපාලනික සංයුතියේ ස්වභාවය තීරණය කෙරුණි. මේ වෙන් වීම එදා පටන් අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. මීට වෙනස් මතයක් දැරූ සහ සෙස්සන්ගේ දුෂ්-චර්යාව කිසි සේත් අනුමත නොකළ භික්ෂූන් වහන්සේලා ඒ ගැන මුවින් නොබැන සිටියෝය. ඒ නිශ්ශබ්දතාව, පසු කලෙක ඥානසාරලා භාරගත්තේ, තමන්ගේ අ-බෞද්ධ චර්යාව ව්‍යංගයෙන් අනුමත කිරීමක් වශයෙනි. ඒ කර්කශ වූත්, නොමග ගියා වූත් දේශප්‍රේමයේ සෘජු අතුරු ඵලයක් වශයෙන් උපන් බෞද්ධ මූලධර්මවාදය, අඩු වශයෙන් තව සෑහෙන කලකට, අපේ සමාජය වෙනස් කොට තිබේ.

වර්තමාන දේශපාලන නායකයන් අවබෝධ කර ගත යුතු එක කාරණයක් ඇත. එනම්, ඉහත කී විපර්යාසයේ මූල හේතුව, සමහර විට පරිවේෂණීය කරුණු සමුදායකින් සමන්විත සංකීර්ණ ජාලයක් තුළ සැඟව තිබිය හැකි අතර, එය අපේ සාමූහික මනෝ භාවය තුළ මුල් බැස පවතින බවයි. අගතිගාමී එවන් මානසිකත්වයක් තුළ නිදන්ගතව ඇති එහි අක්මුල් පහසුවෙන් උදුරා දැමිය නොහේ. එවැනි තත්වයක බරපතල වෙනසක් බලාපොරොත්තු වීම යථාර්ථවාදී නැත. පලිගැනීම සහ එකටෙක කිරීම කෙරෙහි ආශක්තව සිටින මිනිසුන්ට, අවිහිංසාව සහ සහෝදරාත්මක හැඟීම් පිළිබඳ දේශනා පැවැත්වීම හාස්‍යජනක ය. නොගැඹුරු සහ කෘත්‍රීම දේශප්‍රේමයක සහ ජනප්‍රිය ආගමික විශ්වාසයන්හි එල්බ සිටින ජනතාවකගේ සිත්සතන් තුළ දාර්ශනික කතිකාවන්ට ඉඩක් නැත.

එවැනි පසුබිමක, ඊට වඩා තරමක් හිතකාමී මනසක් ඇති, එහෙත් වඩාත් උන්නතිකාමී දේශපාලනික නායකයෙකු තුළ ඉතිරි විය හැක්කේ කුමක් ද? පොදු මිනිසාගේ වාසභූමියක් පිළිබඳ බණ්ඩාරනායකගේ සිහිනය, මෙරටේ සුළු ජාතියේ භීත සිහිනයක් බවට පත්ව තිබේ. ඒ පොදු මිනිසා, අඩු වශයෙන්, එවැනි පොදු මිනිසුන්ගෙන් වැඩි දෙනා, කුරිරු සහ වංචනික දේශපාලඥයන්ගේ ඉත්තන් බවට, දැනුවත්ව සහ කැමැත්තෙන්ම, පත්ව සිටිති. ඒ ‘පොදු මිනිසාගේ’ දුර්වලතා තමාගේ ප්‍රයෝජනයට ගැනීමට කපටි දේශපාලඥයා නොපසුබට වනු ඇත. එවැනි මිනිසුන්ට අවශ්‍ය කරන පෝෂණය එම දේශපාලඥයා සපයනු ඇත. පෙරලා ඒ පොදු මිනිසා ද, තමාගේ පලිගැනීමේ ආශාව ඒ මගින් සංසිඳෙන නිසා, දේශපාලඥයාට වශී වෙයි.

එවැනි ආවේග සහ හැඟීම් යම් ජනතාවක් තුළ විවෘතව ප්‍රකාශයට පත්වන අවස්ථාවක, හිට්ලර් සහ ස්ටැලින් වැනි ඒකාධිපතියන් පිළිබඳ කතා අගේට වැඩ කරයි. කොටි සංවිධානය සහ තමිල්නාඩුවේ සිටි ඔවුන්ගේ හාම්පුතුන් පිළිබඳ භීතියෙන් මඩනා ලද ජනතාවකට, ප්‍රකාශනයේ නිදහස සහ ජීවිතයේ නිදහස සලසා දුන් ආණ්ඩුවකට වඩා, එදා බලයේ සිටි නායකයන් ආකර්ශනීය විය හැකිය.

ලංකාවේ භූ-දේශපාලනික සිතියම සදහට වෙනස් වී තිබේ. අතරමැද තැන් කෙමෙන් ක්ෂය වෙමින් තිබේ. ඉවසීම, ජාතීන් අතර සහජීවනය සහ පතියෝජනය සමාජයෙන් දුරු වෙමින් තිබේ. ඒ සමගම, බලය ලබා ගැනීම සහ රටේ ධන නිධාන කොල්ලකෑම එකම අභිලාෂය කර ගත් වංචනික දේශපාලඥයන් පිළිබඳ ඉවසා වැදෑරීම, සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මධ්‍යස්ථ ඡන්දදායකයාට එක දෙයක් වැටහෙයි. එනම්, දේශපාලඥයා විසින් බලය අපහරණය කරනු ලබන්නේ, හොඳින් හෝ නරකින් උපයා ගත් ධනය මත, බලපුළුවන්කාරකම් මත සහ වහා රැවටෙන ජනතාවකගේ අනුග්‍රහයක් මත වන බවයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් ඕනෑම විකල්ප පක්ෂයක් බලයට පැමිණීම ඉලක්ක කර ගන්නේ නම්, ඔවුන්ට යම් ආකාරයක මහත්මා නොවන දේශපාලනයක නිරත වීමට සිදුවනු ඇත. අද දවසේ රටේ පිළිගැනෙන සම්මතය එයයි. එහිදී, ඉඩ ඉතිරිව ඇත්තේ, අමිහිරි සහ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදයක් සහ නොදැරිය හැකි ආඥාදායකත්වයක් අතර අතරමැදි තේරීමකට ය.

(2018 ජුනි 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Democracy vs. Dictatorship: What Do We Want? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Archive

Latest news

Related news