Tuesday, July 16, 2024

ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී.

ජායාරූපය: දිගන පාරවල් අරක් ගත් ජාතිවාදී මැර හමුදාවක්.

මේ මොහොත වන විට මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියක් මුල්කරගනිමින් ලංකීය මුස්ලිම් ප්‍රජාව සහ අනෙකු සුලුතර ජනවාර්ග ඉලක්ක කරගනිමින් සිදුකරන වාර්ගික ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සිය දැඩි අවධානය යොමුකරන අතර සිය කනස්සල්ල පළ කරයි. මෙම ප්‍රහාරයන්ට බෞද්ධ ශික්ෂූන් පවා සම්බන්ධ වූ බවට සාක්ෂි සපයන ජයාරූප දැන් ලොවපුරා සංස්රණය වෙයි. මේ වනාහී ජාතික සහ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ලබන අපකීර්තියකි.

මුලින්ම, මෙම වර්ගවාදී ප්‍රහාරයන්ගෙන් ජීවිත හානීවූ, දේපල විනාශවීම ඇතුලු සියලු ආකාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය ලෙස අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. එළෙසින්ම එම අමානුෂික ප්‍රහාරයන් තරයේ හෙළා දකිමු.

විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය ලෙස අප, සැමට සාධාරණව නීතියේ පාලනය පිහිටුවා සියලු ජන කොටස් වල සුරක්ෂිතභාවය සහ නිදහසේ ජීවිත වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තෙමු. අප සමාජයේ කිසිවෙකු සිය ජාතිකත්වය‍/ආගමික විශ්වාසය / දේශපාලනික හෝ ලිංගබේදය හේතු කොට කිසිදු ආකාරයේ වධහිංසාවකට හෝ වෙනස් කොට සැලකීමට ලක් නොවිය යුතු බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.

ඒ නිසාම මේ අවස්ථාවේ අප ලංකා ආණ්ඩුව වෙත අවධාරණය කර සිටින්නේ ප්‍රථමයෙන් මේ මොහොතේ වර්ගවාදී ප්‍රහාරයන්ගෙන් භීතියට පත්ව ඇති සියලු ජනයාගේ ජීවිත සහ ඔවුන් සතු දේපල ආරක්ෂා කීරීම ආණ්ඩුව සතු ප්‍රමුඛම වගකීම බවයි.

එසේම මේ ප්‍රහාරයන්ට මුල්වූ සහ ඒවා පැතිරවීමට අනුබල දුන්, සහාය දුන් සැවොම තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එන ලෙසද අප අවධාරනයෙන් ඉල්ලා සිටිමු.

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවෙහි සිංහල-බෞද්ධ නොවන වාර්ගික ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ ප්‍රහාර එල්ල විය. 2014 වර්ෂයේදී අලුත්ගමදී සිදුවූ වර්ගවාදී ප්‍රහාර මාලාව මෙන්ම ඉන්පසුවද පසුගිය කාලය පුරාම ලංකාවේ විවිධ ස්ථානයන්හිදී සිංහල-බෞද්ධ නොවන ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් ගනණාවක් එල්ල විය. දෙමසතට පෙර ගිංතොටදී ද දෙසතියකට පෙර අම්පාරෙහිදී ද මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල වූ ප්‍රහාර ඊට උදාහරණ සපයයි

මේ සියලු ප්‍රහාරයන් හමුවේදී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ තිබෙන්නාවූ මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් අප මෙන්ම බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් සාධාරණ සැක මතු කරයි. එනම් මෙරට සුලුතර ජනවර්ගයන් සම්බන්ධයෙන් මෙරට පොලිසිය විශම සැළකිල්ලක් දක්වන බවයි. මෙයට පෙර ඇතිවූ මෙවැනි සිදුවිම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය සහ අනෙක් අදාළ ආයතන සහ මුලින්ම අසමත් වී තිබේ.

විශේෂයෙන් නීතිය සහ සාමය පවත්වාගෙන යෑමට බැදී සිටින සියලු පොදු ජනයාගේ බදුමුදල් වලින් යැපෙන ශ්‍රී ලංකා පොලීසියේ අනීතික විශම හැසිරීම සම්බන්ධයෙන් අපි අපගේ විරෝධය පල කරන්නෙමු. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරිය නිසිලෙස කලට ඉට කරන ලද්දේ නම් බොහෝ ප්‍රහාරයන් මෙන්ම ජීවිත හානිද වලක්වා ගන්නට හැකියාව තිබූ බව අපගේ අදහසයි.

එසේම එසේම එම ප්‍රහාර වැළැක්වීමට නිසි පියවර නොගත් ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය වෙතද අපි අපගේ විරෝධය පළ කරමු.

එසේම සියලු දේශපාලන පක්ෂවලින් මේ අවස්ථාවෙහිදී අප ඉල්ලා සිටින්නේ පටු දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ජාතීන් අතර විරසකයන් නිර්මාණය කර දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ නොකරන ලෙසයි. එවැනි ලාබ අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට ගැනීමට සැරසෙන පක්ෂ / කණ්ඩායම් සහ පුද්ගලවයන් ප්‍රතික්ෂේප කරන ලෙස, අපි සියලු ලාංකික ජනයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

අවසාන වශයෙන්, සියලු ජනායාගේ ජීවත්වීමට ඇති අයිතියේ ආරක්ෂාව තහවුරැ කරන ලෙස ආණ්ඩුවට අපි කියා සිටිමු. එසේම අපි සියලු ලාංකියන්ට යෝජනාකර සිටින්නේ ජාතිවාදී ආගම්වාදී පටු අරමුණු වලින් මිදී එක මිනිස් කැලක් ලෙස මනුශ්ෂත්වයේ කොඩිය අතට ගන්නා ලෙසයි.

යහපත් මිනිසුන්ගේ නිහඩ බව මුර්ගයන්ට තෝතැනි නිර්මාණය කරන බව අප ඉතිහාසයෙන් ඉගෙන ගෙන ඇති පාඩමයි.

එම නිසා අප විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය ලෙස සියලු ලාංකීය ප්‍රජාවට ආරධානා කරන්නේ ජාතිවාදයට ආගම්වාදය පිටු දකින ලෙසයි

(මාධ්‍ය නිවේදනය / ස්ටුට්ග්‍රාඩ්, ජර්මනිය. 06 මාර්තු 2018.)

විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය
ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්
සුනන්ද දේශප්‍රිය / පද්මි ලියනගේ / ක්‍රිශාන් රාජපක්ෂ

Archive

Latest news

Related news