Tuesday, July 16, 2024

ජනපති සිරිසේන අම්පාර සහ මහනුවර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි!

ජායාරූපය: දිගන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයේ තරම!

අද විශේෂයෙන් මා ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන්නේ, පසුගිය දින කිහිපය තුළ රටේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ ජාතීන් අතර අසමගිය ඇතිවන, ගැටුම් ඇතිවන ඉතාමත් කනගාටුදායක සිද්ධීන් හේතුවෙන් රටේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය නිසායි.

ඈත අතීතයේ සිටම අපේ රටේ අභ්‍යන්තර ගැටුම් වගේම ආක‍්‍රමණ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. එසේ වුවත් අපේ රට සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලූ ජනකොටස් අතරේ සාමය, සමගිය, සහජීවනය සමග ඉතාමත්ම සාමකාමීව ජීවත් වූ රටක් වශයෙන් අපිට හැඳින්විය හැකිය. 1940 දශකයට අප ගියහොත් බි‍්‍රතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස ලබා ගැනීම සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සියලූ ජනතාව සහෝදරත්වයෙන් එක්වී සටන් කරමින් ජාතික නිදහස ලබා ගැනීමට එදා සමත් වූවා. එහෙත් පසුකාලීනව ජාතීන් අතර ඇතිවූ අසමගිය සහ ගැටුම් සහගත තත්ත්වය නිසා අපට දීර්ඝ කාලයක යුද්ධයකට මුහුණදීම තුළ ඛේදවාචකයන් රාශියක් ඇතිවී අප ඉතාමත් කණගාටුදායක තත්ත්වයකට පත්වූවා.

අප පසුගිය අවුරුදු තුනක කාලයක් මේ රටේ ජාතික සමගිය, සංහිඳියාව ඇති කිරීම සඳහා කැපවී කටයුතු කරන රජයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මෙහිදී ගෙවීගිය දින දෙක, තුන තුළ අම්පාර සහ මහනුවර ප‍්‍රදේශවල ඇතිවූ සිද්ධීන්වලදී ජීවිතහානි, දේපළහානි සිදුවී ඒ ප‍්‍රදේශවල ඇතිවූ නොසන්සුන්තාවය රට තුළ ප‍්‍රධාන වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන පසුබිමක් ගොඩනැගී තිබෙනවා. ඒ සිදුවීම් තුළ ජීවිතහානි, දේපළහානි වූ සියලූම පවුල්වලටත් ඥාතීන්ටත් මගේ බලවත් කනගාටුව සහ වේදනාව ප‍්‍රකාශ කරනවා වගේම එම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා මා සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. මෙවැනි සිදුවීම්වලට මුල්වූ කුමන හෝ පාර්ශ්වයක පුද්ගලයින්, සංවිධාන, කණ්ඩායම් ඒ සියල්ලන්ටම විරුද්ධව දැඩි ලෙස නීතිමය වශයෙන් ක‍්‍රියාකළ යුතු බව මා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

මේ ඇතිවී තිබෙන තත්ත්වයන් සංසිඳවීමටත් එමෙන්ම නොසන්සුන් තත්ත්වයන් සමනය කිරීමටත් ප‍්‍රදේශවල සමගිය ඇති කරමින් රටේ සියලූ දෙනාට සාමකාමීව සතුටෙන් ජීවත්වීමට හැකි වන පරිසරයක් ගොඩනැගීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරීන්ටත් ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ටත් මා උපදෙස් දී තිබෙනවා මේ කටයුතුවලදී සෑම කෙනෙක්ම එක්ව කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

එමෙන්ම මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප ඉතාම පැහැදිලිව රට තුළ ගොඩනැගිය යුතු ජාතික සමගිය, සංහිඳියාව, විශ්වාසය, මිත‍්‍රත්වය ජාතීන් අතර ගොඩනැගීම සඳහා රජය විදියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව මා ප‍්‍රකාශ කරන්නට ඕන. ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව මා සදහන් කරන්නට ඕනෑ. ගෞරවනීය මහා සංඝරත්නය, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික නායකවරුන් සෑම කෙනෙක්ගෙන්ම මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ප‍්‍රදේශීය දේශපාලනඥයින්ට අවශ්‍ය උපදෙස් දී මේ ගැටුම් වළක්වා ගැනීමටත්, ප‍්‍රදේශයේ ඇතිවන නොසන්සුන්තාවයන් සන්සිඳුවීමටත් උන්වහන්සේලාගේ මැදිහත් වීම ඉතාමත් අවශ්‍ය බව. පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය පැය 24 පුරාම ඊයේ සිටත් ඉදිරි දිනවලත් අඛණ්ඩව කටයුතු කරමින් ප‍්‍රදේශයේ සාමය ගොඩනැගීමට සියලූ කටයුතු කළ යුතු බවට අප උපදෙස් දී තිබෙනවා.

මේ ඇතිවූ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මම ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වා එහිදී සාකච්ඡා කර මේ අවශ්‍ය පියවර ගත් අතර අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එක්ව සාකච්ඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම රට තුළ ඉතාමත් සාමකාමීව සන්සුන්ව කටයුතු කළ යුතුයි.

“න හි වේරේන වේරානී- සම්මන්තී ධ කුදාචනන්
අවේරේන ච සම්මන්තී – එස ධම්මෝ සනත්තනෝ”

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බව අපි බෞද්ධයන් විදියට දන්නවා. ඒ නිසා බෞද්ධ රටක් විදියට කුමන ආකාරයෙන් හෝ හිංසාකාරී සිදුවීම්, ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුවෙනවා නම් එය අපේ රටට විශාල අගෞරවයක් සහ අවමානයක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි සෑම ආගමික බැතිමතෙක්ම තමාගේ ආගමික දර්ශනය තුළ ඉතාමත් සාමකාමීව හා සහජීවනයෙන් ජීවත්වෙමින්, මේ නිදහස් පරිසරය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය අවශ්‍ය පිබිදීම් වලට ලක්කරමින්, ඉදිරි වැඩකටයුතු ඉතාමත් සාමකාමී ලෙස එක්ව කරමුයි කියන ඉල්ලීම මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටත් සමගිය ඇති කරන්නටත් ජාතීන් අතර සමගිය හා සුහදතාවය ඇතිකරන්නටත් සංහි`දියාව ගොඩනැගීමටත් රජය විදියට අප විසින් ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගනිමින් මෙම ප‍්‍රචණ්ඩකාරී කටයුතු කරන කුමන හෝ පාර්ශ්වයන්ට විරුද්ධව සියලූ ආකාරයෙන් කටයුතු කරන බව මා මෙහිදී සඳහන් කළ යුතුයි.

ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරයන් සමාජ වෙබ් අඩවි තුළින්, කටකතා තුළින්, දුරකථන ඇමතුම් තුළින්, බරපතළ ලෙස ජනතාව නොසන්සුන් කරමින් රට තුළ සාමය කඩකිරීමට කි‍්‍රයාකරන ඇතැම් පිරිස් සිටින බව පෙනී යන කාරණයක්. ඒ නිසා එවැනි පුද්ගලයන් පිළිබඳවත් අපි දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කරන්න ඕන.

ඔබෙත් මගෙත් මාතෘ භුමියේ නිදහස් සාමකාමී පරිසරයක සතුටින් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා මා විසින් අවශ්‍ය සියලූ කටයුතු කරන බව ඔබට පැහැදිළි කිරීමට ලැබුණු මේ අවස්ථාව වැදගත් කොට සලකනවා.

Archive

Latest news

Related news