Monday, May 20, 2024

පළාත් පාලන මැතිවරණ සමස්ත ප්‍රතිපලය: රාජපක්ෂට 4,941,952යි ආණ්ඩුවට 5,093,915යි

සජීව විජේසිංහ.

පොහොට්ටුව පැහැදිලිව ජයගෙන ඇත. ඒ මේ රටේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ ක්‍රමවේදයයි. නමුත් ඡන්ද සටන පැවැතියේ මහින්ද රාජපක්ෂ රෙජීමය හා ඔහු පරාජය කළ යහපාලන කණ්ඩායම අතරය. ගමේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන පොහොට්ටුවේ අපේක්ෂකයාගේ ඡායාරූපයට වඩා ලොකුවට ගමේ පෙනෙන්නට තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපයයි. ඒ කණ්ඩායම දිගින් දිගටම කීවේ ආණ්ඩුව ගෙදර යවන්න අපට පොහොට්ටුවට ඡන්දය දෙන්නට කියාය.

අවසන් ප්‍රතිඵලය ඒ අනුව විග්‍රහ කරමු.
පොහොට්ටුව ලැබූ ඡන්ද සංඛ්‍යාව 4,941,952 කි 44.65 % කි
එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 3,612,259 කි 32.63 % කි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 1,481,656 කි 13.38%කි.
ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 693,875 කි 6.27කි.
ඉලංකෙයි තමිල් අරසකච්චි ලැබූ ඡන්ද සංඛ්‍යාව 339,675කි 3.07%කි.

දැනට ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රී පිලත් එක්වය. ඒ දෙපාර්ශවයේ ඡන්ද පමණක් එක් කළ විට මේ මැතිවරණයේ දී ඔවුන් (ආණ්ඩුව) ලැබූ ඡන්ද සංඛ්‍යාව 5,093,915කි ප්‍රතිශතය 46.01% මේ ප්‍රමාණය පමණක් සැලකූ විටම නැවත රාජපක්ෂ රෙජීමය පැහැදිලිව පරාජයට පත්ව ඇත. රාජපක්ෂගේ පාලනය පෙරලා දැමීමට පොදු අපේක්ෂකයා වටා එක්ව සිටි ඉලංකෙයි තමිල් අරසකච්චි පක්ෂයේ ඡන්ද ටික ද මේ ගොඩට එකතු කළ විට ඒ ගොඩ 5,433,590ක් දක්වා ඉහළ යයි. එවිට ප්‍රතිශතය 49.08% කි.

2015 දී ජනතා විමුක්ති පෙරමුණ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ නැතත් ඔවුන්ගේ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයෝ මෛත්‍රීට ඡන්දය දුන්හ. ඒ අනුව රාජපක්ෂ රෙජීමයට එරෙහි වූ සහ රාජපක්ෂ රෙජීමය ප්‍රතික්ෂේප කරන මධ්‍යස්ථ විශාල පිරිසක් අද ජවිපෙ වටා ගොනුවී සිටිති. ඔවුන්ගේ ඡන්ද ගොඩද රාජපක්ෂ රෙජීමයට විරුද්ධව එකතු කළ විට සමස්ථ ඡන්ද ප්‍රමාණය 6,127,465කි. ප්‍රතිශතය 55.35කි.

ඒ අනුව නැවත පැහැදිලිව ම රටේ බහුතර ජනතාවක් රාජපක්ෂ රෙජීමය ප්‍රතික්ෂේප කරන බව සනාථ වෙයි.

එක්සත් ජාතික පක්ෂයට, මෛත්‍රී කණ්ඩායමට, ජවිපෙට හා ඉලංකෙයි තමිල් අරසකච්චි පක්ෂයට ඡන්දය දුන්නෝ රාජපක්ෂ රෙජීමය ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

කවුරුන් මොනවා කීවත් රාජපක්ෂ රෙජීමයට මේ රටේ බහුතර ජනතාව කැමැත්තක් නැත.

මෙය බයියන්ට නොදිරන තිත්ත වූ ඇත්තයි.

( මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news