Tuesday, July 16, 2024

දැන් හැම පළාත් පාලන ආයතනයකම පාහේ ජවිපෙ මන්ත්‍රීවරයෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් සිටිනවා- ටිල්වින්

පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවා තව වසරක් පමණ ගතවන විට ඒවායේ ජීවත්වන ජනතාවට මහින්ද පාලනය විසින් තමන්ට අහිමිකර ඇත්තේ මොනවාදැයි දැනගැනීමට හැකිවේවි. පළාත් පාලන ආයතන හරහා හොඳම සේවාවක් සිදුකර ගැනීමට තිබූ අවස්ථාව ජනතාවට අහිමිවී තිබෙනවා. මෙම මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පක්ෂයක් ලෙස අපට නොව මෙම ආයතනවලින් සේවය ලබාගැනීමට සිටි ජනතාවට විශාල පාඩුවක් වී තිබෙනවා. මීට වසර 04කට කලින් මේවායේ පාලනයේ සිටියේත් ඔවුන්මයි. නැවත පැමිණෙන්නේත් ඔවුන්මයි. එමනිසා ජනතාවට නැවත වරක් එම අත්දැකීමම විඳගන්නට සිදුවේවි. තමන්ට දිනාගන්නට තිබූ යමක් අහිමි වූ බව ජනතාවට අවසානයේ තේරුම් යාවි.

ජ.වි.පෙ. ඡන්ද ප‍්‍රතිශතාත්මකව සහ ප‍්‍රමාණාත්මකව වැඩිවී තිබෙනවා. මීට කලින් කිසිදා ජවිපෙ මන්ත්‍රීවරයෙක් නොසිටි ආයතනවලට ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් පත්වී තිබෙනවා. හැම ආයතනයකම පාහේ මන්ත්‍රීවරයෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් සිටිනවා. පහක් සහ හයක් සිටින තැන්ද තිබෙනවා. ඒ නිසා මෙම සභා තුළ අපට විශාල කාර්ය භාරයක් කළ හැකි යැයි අපි සිතනවා. කල්යාමේදී මෙම සභා තුළ දේශපාලනය ජරාජීර්ණ වෙනවා. එම අර්බුද මැද ජනතාවට අපේ සේවය හොඳින්ම අවශ්‍ය වන බව අපි දන්නවා.

තනි පක්ෂයක් ලෙස මුළු රටේම තරග කළේ ජ.වි.පෙ. පමණයි. අනික් හැම පක්ෂයක්ම තරග කර තිබෙන්නේ තව තව කණ්ඩායම් එකතුකර ගනිමින්. සමහර පක්ෂ ලකූණු තුනකින් පමණ තරග කළා. අපි ප‍්‍රතිපත්තියක් මත දේශපාලනය කළා. අපි විශාල ජනතාවක් ආමන්ත‍්‍රණය කළා. විශාල ජනතාවකට දේශාපාලනය කියාදී තිබෙනවා. ඒ නිසා මෙම ආයතනවල හෙට දවසේ සිට සිද්ධවෙන දේ සහ අපි කියූ දේ අතර සත්‍යය ජනතාවට තේරුම් යාවි. ඉදිරියේදී මීට වඩා වෙනස් දේශපාලන තත්ත්වයන් අනිවාර්යය ලෙස නිර්මාණය වෙනවා. ඒ නිසා ලබාගත් ඡන්ද ප‍්‍රමාණය සහ මන්ත්‍රී ධුර ප‍්‍රමාණය අතැතිව ඉදිරියට යෑමට ශක්තිය හා ධෛර්යය අපිට තිබෙනවා.

පසුගිය අවුරුදු දෙක තුළත් අපේ රට දේශපාලනය තුළ අරාජිකත්වයක් තිබුණා. ජනපති හා අගමැති අතර ගැටුම්කාරී තත්වයක් තිබුණා. ඔවුන් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා, ජනතාවගේ උවමනාවන් ඉටුකිරීම සම්පූර්ණයෙන් පසෙකට ගියා. ලැබූ ජනවරම මුළුමනින්ම පසෙකට දැමුවා. ඒ නිසාම තමයි පරාජයට පත්වූ බලවේගයන්ට හිස ඔසවන්නට අවස්තාව ලැබුණේ. මෙම අරාජිකත්වය ඉදිරියේදීද නිමා වන්නේ නැහැ. එවැනි අරාජික තත්වයක් ජනතාවට වාසිදායක ආකාරයට කළමනාකරණය කරගැනීමට අපි කටයුතු කරනවා. මේ තාවකාලිකව බලය ගත්ත අයට මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න කිසිවක් විසඳන්න බැහැ. ඒ අනුව මේ රටේ ප‍්‍රශ්න විසඳන්න සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. ඒ විශ්වාසය මත අප ඉදිරියට යනවා.

(පැල්වත්ත, බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවෙහිදී ටිල්වින් සිල්වා විසින් දකවන ලද අදහස් ලංකා ට්රුත් අඩවිය ඇසුරෙනි.)

 

 

Archive

Latest news

Related news