Friday, May 3, 2024

සම්මුති ආණ්ඩුව නොරැකුනොත් 2015 ජනවරම කපෝතියි! – සුනිල් ජයසේකර

සම්මුතිවාදී ආණ්ඩුව තව දුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන විවාදය අද වනවිට රටේ දේශපාලන කරළිය උණුසුම් කර තිබේ. මේ තත්ත්වය පැන නැගෙන්නේ පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ද සමගය. රටක පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයක් ආණ්ඩු වෙනසකට කිසිසේතම අදාළ වන්නේ නැත. එය ඉතා පැහැදිලි තත්ත්වයකි. එහෙත් කිසියම් හෝ මැතිවරණයක් හරහා රටේ ජනතාව ලබාදී ඇති පණිවුඩයෙහි ගැඹුරු සංඥා නිවැරදිව තේරුම් නොගෙන මොනම හෝ රටක මොනම හෝ පාලනයකටවත් පැවතිය නොහැකිය. පළාත් පාලන මැතිවරණයට පසුදිනම එහි අවසන් ප්‍රතිපල නිකුත් වීමට ද පෙර ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති පසුබිම විශේෂාංගයට මවිසින් තබන ලද සටහන මගින් අවධාරණය කළේය.

එහිදී අප ඉතා පැහැදිලිව සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵල සලකා බැලීමේදී මතුපිටින් ප්‍රදර්ශනය වන කරුණු කාරණා සලකා බැලීමේදී රටේ දේශපාලන දිශානතිය කෙරෙහි මෙම මැතිවරණයේ ප්‍රතිඵල ගැඹුරු බලපෑමක් එල්ල කළ හැකි බවය. එහිදී අප අවධාරණයෙන්ම පෙන්වා දී ඇති වැදගත්ම කරුණ වන්නේ පළාත් පාලන මැතිවරණයකින් ලැබෙන ප්‍රතිපලය රටේ ජනතාව විසින්ම පත්කර ඇති ආණ්ඩුවක බලය වෙනස් කරන්නේ නැති බවය. එහෙත් රටට මෙන්ම රටේ ජනතාවට යහපත් අනාගතයක් සුරක්ෂිත කරදීම සඳහා මෙවර මැතිවරණය මගින් ලබාදී ඇති පණිවුඩය නිවැරදිව තේරුම් ගැනීම සඳහා ආණ්ඩුව ද කටයුතු කළ යුතු බව එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබීය. ඒ අනුව එදා පුවත් පසුබිම පෙන්වා දුන් පරිදි රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවීමේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා වැඩි ලෙස දැනෙන්නේ මේ මොහොතේ දීය.

එහිදී යහපාලන ආණ්ඩුවේ ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවකටම මුල පිරිය හැකි සතියකට රටක් ලෙස අපි එළැඹ සිටින්නෙමු. මහජනතාව අපේක්ෂා කරන මහජනතාවගේ ජීවිත වලට අතිශයින්ම තීරණාත්මක ජීවන වියදම ද ඇතු`එ රටේ ආර්ථිකයට වැදගත්විය හැකි ප්‍රතිසංස්කරණයක් මෙන්ම නීතිය හා සාමය යන විෂය පථයට අදාළව ද ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතුමය. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ විය යුත්තේ ද ආණ්ඩුවේ අභ්‍යන්තරයෙනි. රටක් ලෙස අපට අඩියක් හෝ ඉදිරියට පා තැබිය හැක්කේ ඉන් අනතුරුවය.

පෙබරවාරී මස 11 වන දින විදුලි සංස්ථාවේ පුවත් පසුබිමට සටහන් තැබූ එම අවධාරණය අද වනවිට යථාර්ථයක් වී තිබේ. ඒ අනුව සම්මුතිබද්ධ ආණ්ඩුවේ ප්‍රමුඛ දෙපක්ෂයම අද ඒ පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු කර ඇති ආකාරය දැකගත හැකිය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව වී ඇත්තේ සම්මුතිබද්ධ ආණ්ඩුවේ ඉහළම තනතුරේ සිට එනම් අග්‍රාමාත්‍ය තනතුරේ පටන් එම වෙනස සිදුවිය යුතුව ඇති බවයි. නියත වශයෙන්ම ඉන් අදහස් කර ඇත්තේ ආණ්ඩුවේ ඉහළ තනතුරු කිහිපයකට අදාළ වෙනසක් මිස එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව තුළ හිමි වී ඇති ප්‍රමුඛත්වය ඉවත් කළ යුතු බව නොවේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනස්කම් සිදු විය යුතුව යන්න ද නොවේ. එහිදී අග්‍රාමාත්‍ය තනතුර සඳහා සුදුසු ඕනෑම පුද්ගලයෙක් නම් කිරීමේ වගකීම හා හැකියාව එක්සත් ජාතික පක්ෂය සතුව පවතී.
එහෙත් එජාපය නියෝජනය කරන මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම අභියෝගය බාර ගනිමින් සු`එතර එජාප ආණ්ඩුවක් නිර්මාණය කරන බව ප්‍රකාශ වී ඇත. 2015 ජනවාරි 08 ජනතා අපේක්ෂාවන්ට හා 2015 අගෝස්තු මහ මැතිවරණය මගින් ලබාදුන් ජනවරම තුළ අන්තර්ගතව ඇති අපේක්ෂාවන්ට අදාළව සැලකීමේදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මතභේදයට තුඩු දිය හැකි තත්ත්වයක් වුවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සලකා බැලීමේදී දේශපාලන පක්ෂයකට එවැනි තීන්දුවක් ගත හැකිය. එහෙත් සු`එතර ආණ්ඩුවකට ඇති පැවැත්ම සලකා බැලීමේදී එය අතිශය දුෂ්කර හා අතාර්කික තීරණයක් වීමට බොහෝ ඉඩකඩ පවතී. ඒ සමගම වත්මන් පාර්ලිමේන්තුව තුළ සරළ බහුතර බලයක් සහිත එජාප ආණ්ඩුවක් පිහිටුවීමට නම් අවම වශයෙන් සු`එතර දේශපාලන පක්ෂ ලෙස සැලකෙන ද්‍රවිඩ සන්ධානයේ සහාය ආණ්ඩුවට ලබා ගත යුතුව තිබේ. එසේ නැතහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී

කණ්ඩායමක් ආණ්ඩුවට එක්කර ගත යුතුය. එහෙත් එහිදී මතුවන තීරණාත්මක ප්‍රශ්නයක් වන්නේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 කට සීමාවීමය. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද ඊට සමගාමීව අවම විය යුතුය. එජාපය ට මේ මොහොතේ එම අභියෝගය බාරගත හැකි නම් ප්‍රශ්නයක් ඇතිවිය නොහැකිය. එහෙත් කුමන හෝ තත්ත්වයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්කර ගන්නේ නම් ඒ කිසිවෙකුට කැබිනට් හෝ වෙනත් කිසිදු අමාත්‍යධූරයක් ලබාදීම සඳහා හැකියාවක් නොලැබෙනු ඇත. එය එසේ නොවීමට නම් සම්මුතිබද්ධ ආණ්ඩුවක් පිහිටුවිය යුතුමය. අද පවත්නා සම්මුතිබද්ධ ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාමට නම් ඊට සම්බන්ධ වන දේශපාලන පක්ෂ දෙකම ඒ සඳහා නිල වශයෙන් එකඟත්වයකට එළැඹිය යුතුමය.
ඒ අනුව සැලකීමේදී අද වනවිට ශ්‍රි ලාංකීය දේශපාලන භූමිය කිසියම් ආකාරයක මතභේදාත්මක අභියෝගයකට යොමුවී ඇති බවක් දැකගත හැකිය. එය ගැට`එවකින් තොරව ජනවාරි 08 ජනතා බලවේගයන්හි අපේක්ෂාවන්ට ද අනුව විසඳා ගැනීමට නම් සම්මුතිබද්ධ ආණ්ඩුවක පැවැත්ම තවදුරටත් තහවුරු කළ යුතුව තිබේ. එහෙත් ඒ සඳහා දෙපාර්ශවයම ඒ සඳහා වන තම වගවීම පැහැදිළිුව ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. එහිදී වගවීම යන කාරණය කොටස් දෙකකින් යුක්ත වනු ඇත. එකක් ජනවාරි 08 මහජන අභිලාශයට තවදුරටත් අනුගතවීමය. දෙවැන්න මෙවර මැතිවරණය මගින් ලබාදී ඇති පණිවුඩය තේරුම් ගෙන සිදුකළ යුතුව ඇති දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් නොපමාව දියත් කිරීමය.

එහෙත් ඒ සඳහා මිනිස් සිතෙහි නිදන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කරමින් ප්‍රඥා සම්පන්න විය යුතුය. සමස්ත ලෝක වාසී හින්දු බැතිමතුන් අද දිනයේ මහත් බැතියෙන් යුතුව සමරණ මහා ශිවරාත්‍රී දිනය ඒ වෙනුවෙන් කැපවිය හැකි උතුම් දිනයක් බව අදාළ සියල්ලෝම තේරුම් ගනිත්වා.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news