Monday, May 20, 2024

බදුල්ල විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන

ඡායාරූප – කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීන් දෙදෙනා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට යන අතරතුර.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන, විදුහල්පතිනිය දණ ගැස්සවීම පිළිබද චෝදනා එල්ල වී සිටින ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් සංවිධානය කරන එජනිස බදුල්ල ජන රැළිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ මහජන සම්බන්ධතා නිළධාරි අජිත් හික්කඩු ලියනගේ විසින් තර්ජනය කර ඇත.  කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීන් දෙදෙනා මෙම තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙති.  

‘‘මහ ඇමති චාමර සම්පත් අපහසුතාවට පත් වුණේ උඹලා නිසයි.  දණ ගැස්සු විදුහල්පතිනියගේ පස්සෙන් ගිහින් උඹලා වොයිස් කට් ගත්තා.  උඹලත් එපා. උඹලාගේ මාධ්‍යයත් අපිට එපා.  අපි අපේ රැස්වීම් වාර්තා කර ගන්නම්.  උඹලාගේ ගෙවල් වලට ගැහුවොත් මම වගකියන්නේ නෑ‘‘ යැයි අජිත් ලියනගේ විසින් තමන්ට තර්ජය කළ බව සිරස හා දෙරණ මාධ්‍යවේදීන් මෙයට සුළු වේළාවකට පෙර බදුල්ල පොලීසියට පැමිණිලි කර ( CIB 3 / 319/285) ඇත.  

කවුද මේ පොල් කඩේ අජිත්?

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් අජිත් හික්කඩුව ලියනගේ යනු විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ දැරිය පාසලට ඇතුලත් කිරීම සදහා දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට නීති විරෝධී ලිපියක් යොමු කළ පුද්ගලයා ය.  (එම ලිපි මේ සමග ඇමුණා ඇත)  පාසල් සදහා සිසුන් ඇතුලත් කිරීම පිළිබද කිසිදු පුද්ගලයෙකුට විදුහල්පතිවරුන්ට බලපෑම් කළ නොහැකි අතර ඒ සදහා වන ඉල්ලීම් සිදු කළ යුත්තේ ‘කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ‘ වෙත ය.  ප්‍ර‍ශ්නගත සිදුවීම සිදුවන විටත් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත මෙම දැරිය පාසලට අතුලත් කර ගැනීම සදහා වන ඉල්ලීමක් ලැබී නොතිබුණි.  පාසලට සිසුන් ඇතුලත් කිරීමේ සියලු ක්‍ර‍මවේදයන් උල්ලංඝනය කරමින් මෙම ලිපිය ලබාදීමත්, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය එම ලිපිය බාර ගැනීම ප්‍ර‍තිකේෂ්ප  කොට එය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලබා දෙන ලෙස දැන්වීමත් සමග මෙම සිදුවීම් ජාලය ආරම්භ විය.

මහ ඇමතිවරයා විසින් දණ ගස්වනු ලැබූ විදුහල්පතිනිය මහ ඇමති නිල නිවසට ගොස් ඇත්තේ ද මෙම ලිපියේ අනු අත්සන් යොදා ඇති මහ ඇමති පුද්ගලික ලේකම් විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරිය වෙත දුරකතනයෙන් සිදු කළ දැනුම්දීමක් අනුවය.

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන් ට රජයේ අමාත්‍යවරුන්ගෙන් එල්ල වන බලපෑම් හා තර්ජනය කිරීම් කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී.  මෙය පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්, මර්ධනය කරමින් ගෙන ගිය වැඩ පිළිවෙල නැවත සිහිගන්වන තත්වයක් බවත් සියළු මාධ්‍ය සංවිධාන මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.  (මෙයට පෙර අවස්ථාවක දී ද, හාලිඇල මාධ්‍යවේදී චන්දන ලියනාරච්චි මහතා අමාත්‍ය ඩිලාන් පෙරේරා ගේ පහරදීමකට ලක් විය.)

තර්ජනයට ලක් වූ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කැෆේ සංවිධානය පොලිස්පතිවරයාගෙන්, ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්  ඉල්ලා සිටී. 
 
කීර්ති තෙන්නකෝන් විසිනි.

Archive

Latest news

Related news