Thursday, April 25, 2024

ලාංකීය දේශපාලන සිනමාවේ පුරෝගාමීයා: ධර්මසේන පතිරාජ (1943 – 2018) – ලයනල් බෝපගේ

ආචාර්ය ධර්මසේන පතිරාජ මට පළමුවරට හමුවූයේ 1978 කොළඹ නාරාහේන්පිට පිහිටි Ceylon Studios හිදීය. ඒ විමුක්ති ගී ප්‍රසංගයේ ප්‍රධාන ගායිකාවව සිටි සුනිලා අබේසේකර සහෝදරිය මුණ ගැසෙන්නට මා ගිය විටක දීයි. අැය පතිගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා නමැති ගීතය තැටි ගත කරන්නට දායක වෙමින් සිටියාය. අවසාන වරට පති මට හමු වූයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඔහුගේ චිත්‍රපට ප්‍රදර්ශණයකදී යි. බොහෝ දේශපාලන සහ සමාජ ප්‍රශ්ණ සම්බන්ධයෙන් අප අතර බොහෝ සමීපතාවයක් තිබිණි.
ලාංකීය දේශපාලන සිනමාවේ පුරෝගාමීයා වූ ඔහු චිත්‍රපට නිෂ්පාදනය කළේ ජනප්‍රිය පදනමක් මත මුදල් ගොඩ ගසා ගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඔහු 1978 නිෂ්පාදනය කළ බඹරු ඇවිත් නමැති චිත්‍රපටය තවමත් පැසසුමට ලක් වෙයි. ඔහු චිත්‍රපට තුළින් ජනනාත්මක සමාජ මෙහෙවරක් ඉටු කරන්නට දැඩි උත්සාහයක් දැරූවෙකි. එනිසා ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් ආයෝජකයන් සොයා ගැනීමද පහසු කාරණයක් නොවීය.
 
පටු අන්ත ජාතිකවාදයට යටවී අැතැම් කලාකරුවන් වහළුන් මෙන් කටයුතු කළ සමයක ඔහු නිවහල්ව කටයුතු කළ අන්දම 2014-15 කාලයේදී ලාංකිකයන් සියළු දෙනාටම දැකගත හැකි වූවේය. පාලකයන්ට ස්තෝත්‍ර ගායනා කරනු වෙනුවට ඔහු අත්තනෝමතික පවුල්වාදී පාලනය පරාජය කර දමන්නට පෙරට පැමිණ මහත්සේ දායක විය. එවැනි කලා කරුවන් අපට අහිමිවීම ඉතාමත් කණගාටුවට කරුණකි.
 
මේ ප්‍රගතිශීලී කලාකරුවා වෙනුවෙන් අපට කළ හැක්කේ සහ කළ යුත්තේ ඔහු අපේක්ෂා කළ අාකාරයේ යහපත් ලෝකයක් සහ අනාගතයක් ගොඩ නගන්නට අප අපම කැපවී කටයුතු කිරීමයි.
 
ඔබට ශුභ සැන්දෑවක්, පති!
 
ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂණය කළ බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා නමැති ගීතය ඔහුගේ නොමැරෙන මතක සටහණක් ලෙස ඔබට ඉදිරිපත් කරමි.
https://www.youtube.com/watch?v=56RajmipdFw

Archive

Latest news

Related news