Sunday, May 19, 2024

තමා පදිංචි නිවෙසෙහි ලක්ෂ 14.5 කුලිය ගෙවූ හැටි නොඇසූ අපූරු මුදල් ඇමැති!

මුදල් ඇමැතිවරයකු තම පවුල මාසික ලක්ෂ 14.5ක කුලියට නව නිවෙසක පදිංචියට යයි. එනමුත් එම මාසික කුලිය කීයක්ද කියා හෝ එය ගෙවන්නේ කෙසේද කියා ඔහු ඔහු නිවෙස කුලියට ගත් තම බිරිඳගෙන් හෝ දියණියගෙන් අසන්නේ නැත.

මතක තියා ගන්න, මේ පුද්ගලයා මෙරට මුදල් ඇමැතිය!

මෙවැනි කතාන්තර හිටපු මුදල් ඇමැති රවි කරුණානායක කියන්නේ සාමන්‍ය ජනයා හමුවෙහි නොවේ. මෙරට මෑත කාලයේ සිදුවූ දැවැන්තතම මුල්‍ය වංචාවක් වූ බැදුම්කර අළෙවිය පරීක්ෂාකරන ජේෂ්ඨ  විනිශ්යචකරුවන් ඉදිරියේ ය.

පුදුම නමුත් ඇත්තය.

විනිශ්චයකරුවන් විසින් ප්‍රශ්ණ කරන ලදුව  බැදුම්කර ජවාරමට හවුල් සමාගමක මුදලින් නිවෙසක් මුදල් ඇමැතිවරයකු විසින් කුලියට ගැනීම වරදක් බව රවි කරුණානායක පිළිගත්තේය.

ඊළඟ පුදුමය නම් එම බැදුම්කර මගඩිය සිදුවූ අවස්ථාවෙහි මුදල් ඇමැතිව සිටි දේශපාලනඥයා සහ බැදුම්කර මගඩකරුවා එකම දිනයන්හි 13 වතාවක් සිංගප්පූරුවට ගොස් තිබීමයි.

එම දේශපාලනඥයා රවි කරුණානායක වන අතර බැදුම්කර මගඩිකරුවා ඔහු පදිංචි වූ නිවසෙහි ලක්ෂ 14.5 බැගින් මාසික කුලිය ගෙවූ අර්ජූන් ඇලොසියය් ය. නමුත් හිටපු මුදල් ඇමැතිවරයාට ඒ ගැන මතකයක් නැත!

පුදුම නමුත් ඇත්තය.

ඊළඟ පුදුමය නම් විවිධ මුල්‍ය ලේඛන ඉල්ලා සිටිමින් බැදුම්කර මගඩිකරු අර්ජූන් ඇලොසියය් විසින් එවකට මුදල් ඇමැති වූ රවි කරුණානායකට යවන ලද ජංගම දුර කථන කෙටි පණිවිඩ ගැන දන්නේ නැතැයි කීමය.

ඊටත් වඩා මේ හිටපු මුදල් ඇමැතිවරයාට දැන් හරියට දුකය. ඒ ජනමාධ්‍ය විසින් ඔහු දඬු අඬුවේ ගැසූ නිසාය. දැන් තමා ඇත්ත කී බවත් සියල්ල හරි බවත් ඔහු කියන්නේ දුක් බරිත හඬිනි. ඒ ඇත්ත නම් මගඩිකරු විසින් තමා පදංචි වූ නිවසේ කුලිය ගෙවූ බව තමා දන්නේ නැතැයි කීමය.

අහෝ කුමන නම් ඇත්තක්ද?

මෙවැනි කපටි කතා කියමින් රටත් ජනතාවත් රවටනවාට වඩා ඇමැතිකමින් ඉල්ලා අස්වීම කොච්චර හොඳද?

හොරුන්ගෙත් හොරු කම්බ හොරු යැයි කියන්නේ මෙවැනි වංචාකාරයින්ට නොවේද?

(c)SLB

Archive

Latest news

Related news