Thursday, July 18, 2024

ඇමැති දිගම්බරම්ගේ මාධ්‍ය වාරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී.

සිරස වාර්තාකරු ඉන්දික රොෂාන් කළුආරච්චි මහතා රාජ්‍ය උත්සවයක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී පී. දිගම්බරම් අමාත්‍යවරයා ඔහුට බාධා කිරීම මාධ්‍ය නිදහසට එල්ල කළ තර්ජනයක් ලෙස සළකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය තරයේ හෙළා දකී. ඉන්දික රොෂාන් මහතා මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගොස් ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කරන ලද විධිමත් හා නිල ආරාධනාවකට අනුව ය.

එහි දී කිසියම් පුද්ගලයෙකු උත්සව සභාවේ කථන පුවරුවේ සවිකොට තිබූ සිරස සන්නාමය සහිත මයික්‍රෆෝනය ගලවා ඉවත් කරමින් අදාල මාධ්‍යවේදියාගේ වෘත්තිය කාර්යය ද අවහිර කළ බව රූපවාහිනී දර්ශනවලින් පැහැදිළි වේ. සිරස ආයතනය පවසන අන්දමට ඒ සඳහා නියෝග දී ඇත්තේ දිගම්බරම් අමාත්‍යවරයා ය.

මාධ්‍ය නිදහස සුරකිමින් බාධාවකින් තොරව මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු සිදු කර ගැනීමට ඉඩ සලසන බවට පොරොන්දු දුන් රජයක අමාත්‍යවරයෙකු මෙසේ හැසිරීම අතිශය කණගාටුදායක ය. එසේම නිල ආරාධනාවක් ලබා සිටියදී මාධ්‍යවේදියෙකුට මෙලෙස බාධා කිරීම කිසියම් වාරණයකැයි පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වඩාත් පුළුල් මාධ්‍ය නිදහසකින් තොරව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තහවුරු කළ නොහැකි බව අවධාරණය කරයි.

එසේම මේ වන විටදී ඉන්දික රොෂාන් මහතාට දිගම්බරම් මහතාගේ පාක්‍ෂිකයන් බව පවසන පිරිස් තර්ජනය කරන බවට වාර්තා වී ඇති අතර ඔහුගේ ආරක්‍ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

සී. දොඩාවත්ත

කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර
ලේකම්

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනයකි – 2017 අගෝස්තු 02

Archive

Latest news

Related news