Thursday, May 9, 2024

ඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල

ජායාරූපය: බිස්නස් ටයිම්ස් අනුග්‍රහයෙනි.

දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට  පසුගිය කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය.

සිරිසේන එජාපයට චෝදනා කරයි.

මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන්නේ යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව හමුවේ එක්සත් ජාතික පක්ෂය අතිශය අපහසුතාවයට පත්විය. කැබිනට් මණ්ඩල හමුව පැවැති අඟහරුවාදා සන්ධ්‍යාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය.

කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනුම්වත් ආරංචිමාර්ගයක් අදහස් දක්වමින් කියා සිටියේ, වුවමනාවෙන්ම විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, මෙහිදී මතුකළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැයි එම ආරංචි මාර්ගය කීවේ ය. ඉදිරියට යාමට ඇති එකම මාර්ගය වංචා හා දූෂණ මර්දනය කරමින් ඉදිරියට යන මාර්ගය පමණක් බව ජනපතිවරයා අවධාරණය කර ඇත. මේ බව ජනපතිවරයා හා සමීප ආරංචිමාර්ගයක් ද සනාථ කළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ.

ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යළිත් ආරම්භ කිරීමටය. එය මාර්ගයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්කකර ගත් බලවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම ඔහුගේ අරමුණය. අනතුරුව පක්ෂයේ සැළැස්ම වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය නියැළී සිටියේ මේ කටයුතුවල නම්, සිරිසේනගේ චෝදනාව හමුවේ, දෙපාර්ශවය අතර බෙදීම තවත් පුළුල්ව ඇත.

මෙම වසර අගභාගයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත්, ඔහු කීවේ ය. ඖෂධ මිල පහත දැමීම, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ දැමීම, ගම්මානවල පැහැදිලි වෙනසක් ඇතිකරමින් සිදුවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය.

එජාප මැතිවරණ සැළසුම: රනිල් ජනාධිපති තරඟයට

එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහාය. වික්‍රමසිංහ, මෙම වසරේ දී තම දේශපාලන දිවියේ 40 වැනි කඩඉම සමරයි. පසුගිය දා පැවැති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ඉන්දියා නලු නිළියන් සහ ගායක ගායිකාවන් ද මෙම සංදර්ශනයට සහභාගී කරගැනීමට සැලසුම් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවිය පිළිඹිඹු කැරෙන ඡායාරූප දැක්මක් මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

බැදුම්කර මඟඩිය

පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද නැවත නැවතත් ප්‍රකාශ කර සිටිය ද, එම සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති කොමිසම පවත්වමින් සිටින විමර්ශනයෙන් අනාවරණය වෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය.

එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්ශන කටයුතු අවසන් කිරීම සඳහා කොමිසමේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. වහාම එම දීර්ඝ කිරීම ලබාදෙන ලෙසත්, එය රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතී. මෙය පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දක්වමින් තමාට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ඉවත්ව රාජපක්ෂ සමග එක්වීමට තමන්ගේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

ජෝන් විපක්ෂයට යන බව කියයි

රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.

“ඔබට අගමැති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට බැහැ කියන එක මත පමණක් පිහිටා අපට රජයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමත් නැතිනම් බරපතළ මට්ටමේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය.

ඩිලාන් රාජපක්ෂ ආරක්ෂා කරයි

විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නවතා දැමිය යුතුව තිබෙන බවයි. එය සාධාරණ නොවන බව ඔහුගේ මතය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය.

බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය. 2020 දක්වා රජය ගෙනයන බවට ජනපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය හා මෙය ගැළපෙන්නේ නැත.

වැඩ වෙනවා; ඉවසන් ඉන්න – සිරිසේන

ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම කාලය මෙය බව පැවසුවේ ය.

සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ දී සිටින්නේ කුමන හෝ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දී බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී විසඳා ගත යුතුව තිබෙන්නේ ඔවුන් හා සාපේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය.

කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය. මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැරයා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ.

මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.

දූෂණ මර්දනය සිරිසේන අතට ගනී

මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කරන ලෙසද ඔහු එම විමර්ශන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. තෝරාගත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මේ සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ අතර, ආරාධනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය.

– සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරුගේ ලිපියෙහි සිංහල පරිවර්ථනය උපුටාගෙන සංස්කරණය කරන ලද්දේ  අන්තර් ජාල  ‍ලංකාදීපයෙනි.

Archive

Latest news

Related news