Thursday, March 28, 2024

ත්‍රස්තවාදය මැඩලීමේ නව කෙටුම්පත: විජේදාස රාජපක්ෂ විදේශ අමාත්‍යාංශයට විරුද්ධව

තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව කටයුතු නොකරන බවත් මෑතදී මෙරටට පැමිනි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් මොනවා කීවත් තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත එළෙසම ඉදිරිපත් කරන බවත් අධිකරණ ඇමැති රාජපක්ෂ සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා තිබේ.

එසේ නමුත් බෙන් එමර්සන්ට අගමැති වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍යාංශය පොරොන්දු වී ඇත්තේ සහමුලින්ම වෙනත් ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාවේ සංචාරය අවසානයෙහි නිකුත් කරන ලද සිය ප්‍රකාශය මගින් බෙන් එමර්සන් මෙසේ කියයි:

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පනත ශ්‍රී ලංකාවේ නව නීති ක්‍රමයෙහි සන්ධිස්ථානයක් කිරීම සඳහා එය නිවැරදි කර ගැනීමට තවමත් කල් තිබේ. ඊලඟ සති 2 ක කාලය තුළ ජීනවාහි සිටින මගේ කණ්ඩායම සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය එකඟතාවය පලකර ඇත. මෙම සංවාදයේ අරමුණ වන්නේ වත්මන් කෙටුම්පතේ තිබෙන අඩුපාඩු හඳුනා ගැනීම හා ඒවා නිවැරදි කිරීම සඳහා විසඳුම් සෙවීම වේ.’

අගමැති වික්‍රමසිංහද ඊට සමාන අදහසක් දක්වා තිබේ.

බෙන් එමර්සන් මෙකී කෙටුම්පත ගැන දක්වා ඇති අදහස මෙසේය:

‘කෙසේවෙතත්, වත්මන් නීති රාමු කෙටුම්පතේ ප්‍රධාන අඩුපාඩු බොහෝමයක් තිබෙන අතර, එය නීතියක් වශයෙන් සම්මත වුවහොත් ත්‍රස්තවාදී සැකකරුවන්ගේ  මානව අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වන තත්ත්වයක් තවදුරටත් තහවුරු විය හැකිය. මෙම අඩුපාඩුවල වැදගත්ම එක වන්නේ පොලිස්  නිලධාරියෙකු වෙත රැඳවම්  භාරයේ යටතේ ලබාදෙන පාපොචේචාරනය පිළිගැනීමට හැකිවන ප්‍රතිපාදනය එලෙසම තබා ගැනීම  වේ. රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් බරපතල ලෙස හා පුළුල් ලෙස හිරිහැරවලට ලක්වන රටක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ජාත්‍යනතර මානව අයිතිවාසිකම් ප්‍රමිතීන්ට අනුකූලවීමේ එකම ක්‍රමවේදය වන්නේ නිලධාරීන් වෙත කරන ලද පාපොච්චාරයන් භාවිතා කිරීම සම්පූර්ණයෙන්  තහනම් කිරීමේ ප්‍රතිපාදනයක් මෙම පනතේ අවසන් කෙටුම්පතට නැවත හඳුන්වාදීම  වේ.’

මෙම පනත් කෙටුම්පතට මෙරට මානව හිමිකම් කොමිසම සහ දෙමළ ජාතික සන්ධානයද විවේචන ඉදිරිපත් කොට තිබේ.

දැන් තිබෙන ප්‍රශ්ණය නම් මෙරට නීති සම්පාදන කිරීම විජේදාස රාජපක්ෂගේ පුද්ගලික කටයුත්තක්ද යන්නයි.

Archive

Latest news

Related news