Saturday, April 20, 2024

වීරවංශට ප්‍රශ්ණයක් – ‍කොමදෝරු දසනායක රණවිරුවෙක්ද? විරුමරුවෙක්ද? – සුනිල් ජයසේකර

ජායාරූපය:කොමදෝරු දසනායක.

දේශපාලනය කිරීම සඳහා හෝ වේවා අන් ඕනෑම කර්මාන්තයක නියැලීම සඳහා හෝ වේවා පළමුව රටක් තිබිය යුතුය. රටක් යනුවෙන් අදහස් කරන්නේ හුදු භූමි භාගයක්ම නොවේ. එහෙත් අප රටේ ඇතැමුන් සිතා සිටින්නේ රට යනු තම තමන්ට රිසි රිසි දේ කළහැකි භූමියක් වන බවය. රටක පැවැත්ම සඳහා තහවුරු වියයුතුව ඇති නීතියේ ආධිපත්‍යයට ද නීතියේ ආධිපත්‍යය තුළ තහවුරු වන මහජනතාවගේ ආරක්ෂාවට ද ඔවුන් අභියෝග කරමින් සිටින්නේ ඒ නිසා වියයුතුය.

මේ රටේ මිනිස් ජීවිත තුට්ටුවකට හෝ මායිම් නොකරමින් තම සුඛ විහරණය සඳහා මුදල් උපයන මාර්ගයක් ලෙස මිනිස් ජීවිත කේවල් කරමින් මළ මිනී මතින් මුදල් උපයා ඇති දුෂ්ට, අති අමානුෂික ක්‍රියාදාමයක් පිළිබඳ පිළිකුල් සහගත සිදුවීමක් පසුබිම් කරගනිමින් සිදුකර ඇති ප්‍රකාශ දෙකක් පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත්තේ ඉහත කරුණු ද සිහිතබාගෙනය.

වරදකරුවන්වන් රකින වීරවංශගේ ප්‍රකාශය

එහිදී අවධානය යොමුවිය යුතු පළමු ප්‍රකාශය සිදුකර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛයෙකු ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ය. වීරවංශ මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවකදී ය. ජනමාධ්‍ය වෙතින් වාර්තා වී ඇති ආකාරයට ඔහු මේ මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස ද කටයුතු කර ඇති කොමදෝරු ඒ.කේ.පී දසනායක අත්අඩංගුවට ගැනීම පිළිබඳව විරෝධය පළකරන්නටය. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු මෙන්ම වීරවංශ මන්ත්‍රීවරයා ද මෙහිදී සඳහන් කරන්නේ කොමදෝරු දසනායක යනු රණවිරුවෙකු බවය. ඔහු නාවික හමුදාවේ ඉහළම මට්ටමේ වගකීම් දැරුවෙකු වන බවය. මොනම චෝදනාවක් මත හෝ එවැන්නෙකු අත්අඩංගුවට ගැනීම වැරදි බව වීරවංශ මහතා එහිදී නොකියා කියන කතාවයි.

පැමිණිල්ල නාවික හමුදාපතිගෙන්!

කොමදෝරු ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට ගැනීමට පදනම් වූ චෝදනා විමසා බලන්නට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ පැමිණිල්ල කර ඇත්තේ කවුරුන් විසින් ද යන්න සොයාබැලීම වැදගත්ය. ඒ අන්කිසිවෙක් නොව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසිනි. වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයා එම පැමිණිල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සේනාධිනායකයා ලෙසද කටයුතු කළ සමයේදීය.

28 දෙනෙකු පැහැරගෙන මරාදැමීම රණවිරුකමක්ද?

දැන් සොයාබැලිය යුත්තේ විමල් වීරවංශ මහතා රණවිරුවෙකු ලෙස පමණක් හුවා දක්වන කොමදෝරු දසනායකට එරෙහිව පවතින චෝදනාව කුමක්ද යන්නය. ත්‍රස්තවාදයට කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයින් 28 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. හිටපු නාවික හමුදාපතිවරයා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලක් විභාග කිරීමේදී හෙළි වූ කරුණු අනුව මෙම පුද්ගලයන් 28 දෙනා පැහැරගෙන ගොස් මරා දමා ඇත්තේ කප්පම් ගැනීමේ අවශ්‍යතාවය මත බව තහවුරු වී තිබේ. ඒ අනුව මෙම අමානුෂික හා අති දුෂ්ට ක්‍රියාව සිදුකර ඇත්තේ මුදල් ඉපැයීමේ චේතනාවෙනි. ඒ බව සනාථ කිරීම සඳහා පැහැදිළි සාක්ෂි තමන් සතු බව අවධාරණය කරන පොලිසිය අදාළ චෝදනා මත මේ වනවිටත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ. ඒ අනුව කොමදෝරු දසනායක අත්අඩංගුවට ගන්නේ අධිකරණ නියෝගයකිනි.

මිනීමරුවන් රකින වීරවංශ තියරිය

දැන් ප්‍රශ්නය වන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියන ආකාරයට මිනීමැරුම් ද ඇතුළුව  ඕනෑම බරපතළ අපරාධ චෝදනාවක දී ඔහු මේ රටේ ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙක් නම් නිදහස් කළයුතු ද යන්නය. ඔහුගේ එම තර්කයට අනුව කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීම සඳහා මිනීමැරුමක් සිදුකර උසාවියෙන් මරණ දඬුවම ලබාගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ද නිදහස ලබාදිය යුතුය. විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ සිදුවීමකට මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එල්ල වී ඇති චෝදනා නොසළකා ඔහු මුදා හැරිය යුතුය. එම සම්ප්‍රදායම තවදුරටත් අතීතයට ගෙනයමින් මිනී මැරුම් ද ඇතු`එ බරපතළ අපරාධ සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා සනාථ වීම නිසා අධිකරණයෙන් දඬුවම් ලබා දී ඇති ආරක්ෂක අංශ වලට සම්බන්ධ සියලු දෙනාටම නිදහස දියයුතුය.

නීතියේ පාලනයෙන් තොර එවැනි අරාජික ක්‍රමයකට එක්තරා යුගයක දී මේ රට තල්ලු වෙමින් සිටි බව සැබෑවකි. එහෙත් මේ රටේ යුක්තිගරුක ජනතාව තම පරමාධිපත්‍ය බලය උපයෝගී කරගනිමින් එම දුෂ්ට පාලන ව්‍යුහය පෙරළා දැමුයේ ලේ බිදුවක් හෝ නොසෙල්වමිනි. එහෙත් අද විමල් වීරවංශ වැනි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ට අවශ්‍ය වී ඇත්තේ රට නැවත පෙර පැවති යුගයටම රැගෙන යන්නටය. මිනිස් ජීවිත සිය දහස් ගණනක් හෝ අමු අමුවේ මරා දමමින් මුදල් ඉපැයිය හැකි අධම පාලන සමයකට රට යොමුකරන්නටය.

ආරක්ෂක ලේකම්ගෙන් මල්වතුහිමිට

එහෙත් ඔවුන්ගේ එම කුරිරු සිහිනයට කදිම පිළිතුරක් ලබා දී ඇත්තේ මේ රටේ කීර්තිමත් නීතිවේදියෙකු වන අභිනව ආරක්ෂක ලේකම්වරයා විසින්ය. පසුගිය දා මල්වතු මහා නාහිමියන් බැහැදැකීමට මහනුවරට ගොස් සිටි අවස්ථාවේදී නව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මොනම හේතුවක් මත හෝ ජාතික ආරක්ෂාව දියාරු කරන්නට ඉඩක් නොතබන අතරම වැරදි කර ඇති කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයෙක් ආරක්ෂා කරන්නට ද තමන් සූදානම් නැති බවය.

එය ඉතා වැදගත් අවධාරණයක් ලෙස සැලකිය හැක්කේ අන්කිසිදු හේතුවක් නිසා නොවේ. අප තවදුරටත් ජීවත් වන්නේ හිස් භූමියක නොව, නීතිගරුක කරන්නට උත්සාහ කරන රටක් තුළ බව ඒ ප්‍රකාශය තුළින් තහවුරු කෙරෙන බැවිනි.

( මාතෘකා අපෙනි)

Archive

Latest news

Related news