Saturday, April 20, 2024

ඇමැති විජේදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය නීතියේ පාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්; ප්‍රකාශනයේ නිදහස කෙළෙසීමක් – එෆ්එම්එම්

මානව හිමිකම් ක්‍රියාධරයෙකු මෙන්ම නීතීඥවරයෙකු ද  වන ලක්ෂාන් ඩයස් මහතා සිදු කළ සුලුතර ආගමික කණ්ඩායම් වෙත හා ආගමික ස්ථාන වෙත හිංසාකාරී බලපෑම් එල්ල වීම යන ප්‍රකාශය පදනම් කරගෙන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද අදහස් දැක්වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙලා දකින අතර එය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙන්ම ආගමික නිදහස කෙරෙහි ද එල්ල වූ බරපතල තර්ජනයකි.

2014 ජනවාරි 08 වනදා ලාංකීය සමාජය උදා කර ගත් ප්‍රජාත්ත්‍රවාදය අරභයා වූ වෙනස හා යහපාලනය මෙයදැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ද ඇතුළත් භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වගකිව යුතු අමාත්‍යවරයෙකු වන රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටිමු.

ආගමික මධ්‍යස්ථානවලට හිංසාකාරී බලපෑම් එල්ල වී ඇති බවට චෝදනා නැගෙන අවස්ථාවක කළ යුතුව තිබුණේ වෙනත් සභාවකට සම්බන්ධ නායකයෙකුගෙන් කරුණු විමසා දැන ගැනීම නොවන අතර, පොලිස්පතිවරයා හෝ අදාළ වගකිව යුතු පාර්ශවයකින් සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම යග එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකර නීතිඥවරයෙකු වන ලක්ෂාන් ඩයස් මහතා නීතීඥ වෘත්තියෙන් නෙරපා හරින බවට සාහසික ප්‍රකාශයක් සිදු කිරීම කිසිසේත්ම පිළිගත නොහැකිය.

ඇමතිවරයාගේ මේ වෛරී ප්‍රකාශය වගකිව යුතු අයෙකුගේ සදාචාරත්මක හැසීරීමේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර, අදහස් ප්‍රකාශනයට එරෙහිව කරන ලද බිය වැද්දවීමක් ලෙස ද අවධාරණය කරන්නෙමු.

එබැවින්, නීතීඥ ලක්ෂාන් ඩයස් මහතාගේ ප්‍රකාශයේ කරුණුමය නිරවද්‍යතාව කෙබඳු වුවත්, අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔහුට ඇති අයිතිය අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය රටේ නීතියේ පාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් අනතුරුදායක තත්ත්වයක් බව ද පෙන්වා දෙයි.
සී. දොඩාවත්තල කැඳවුම්කරු.

දිලීෂා අබේසුන්දරල ලේකම්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Archive

Latest news

Related news