Thursday, May 9, 2024

එල් සැල්වදෝරය: ඝාතනයෙන් වසර 35 කට පසු අගරදගුරු ඔස්කා රොමෙරෝ ඝාතන නඩු විභාගය ඇරැඹේ

ජායාරූපය: රාජ්‍ය අනුග්‍රහය ලද ඝාතක කල්ලියක් විසින් රොමේරො පියතුමන් ඝාතනය කරන ලද්දේ එරට කොමියුනිස්ට්වාදී ගරිල්ලා අරගලය උච්චස්ථිනයට පත්ව තිබියදී ඔහු ද සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටි නිසාය.( ශ්‍රී ලංකා බ්‍රිෆ් සටහනකි)

(2016 මැයි 19/ වතිකාන සුළඟ)
සැල්වදෝරයේ භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ ඝාතනය පිලිබඳ නඩු විභාගය මේ සතියේ නිල වශයෙන් ආරම්භ විය.

එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර් පදවියේ අගරදගුරු තුමන්ව සිටි ඔස්කා රොමෙරෝ හිමි1970 දශකය අග භාගයේ එරට පාලනය කල දුෂිත ඒකාධිපති රෙජීමය විසින් දුප්පත් ජනයා මත එල්ල කරන පීඩනය හා සමාජ අසාධාරණය දැඩි ලෙස හෙලාදුටුවේය. එම රෙජීමය විසින් දුප්පත් ජනයා පීඩනයට පත් කරනවාට අමතරව ඊට එරෙහිව නැගී සිටි ජනතා බලවේගය යටපත් කිරීමට උත්සාහ කලේ පැහැර ගැනීම්, වදහිංසා කිරීම්, අතුරුදන් කිරීම්, තරුණියන් දූෂණය කිරීම් වැනි ආඥාදායක රෙජීමයකට සුපුරුදු මර්දන ක්‍රම උපයෝගී කරගනිමිනි.

භා. රොමෙරෝ අගරදගුරු හිමි ජනතාවගේ දුක බෙදා ගත්තේය

මුලින් ඒ පිළිබඳව හඬක් නොනැගු සම්ප්‍රදාය මත වාදියකු වූ ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමාගේ හදවත දැඩි ලෙස කම්පා වූයේ සිය ලබැඳි මිතුරකු වූ ජේසු නිකායික රුටිලියෝ ග්‍රන්ඩි පියතුමා රෙජීමයේ නාඳුනන තුවක්කු කරුවන් විසින් ඝාතනය කරනු ලැබීමත් සමගය. එදා සිට එතුමා දුප්පත් ජනයා සමග ගැවසෙමින්, ඔවුන් ගේ දුක බෙදා ගනිමින්, ඔවුන් ගේ වේදනාවහා අයිතිවාසිකම් වෙනුවෙන්, රෙජීමයේ මර්දනය එරෙහිව හඬ නැගුවේය. එතුමා මේ සියල්ල කලේ ශුද්ධ ලියැවිල්ල මත හා විශේෂයෙන් සුබ අස්න මත පදනම්ව ය. රෙජීමය මේ අගරදගුරු තුමා සිය මතයට හරවා ගැනීමටත් බියට පත් කිරීමටත් බොහෝ උපක්‍රම යෙදුවේය.. එහෙත් ඒවාට නැමුණේ එතුමා නොවේ.

1980 මාර්තු 24 වැනිදා අලුයම එල් සැල්වදෝර් දිව්‍ය සංරක්ෂණයේ රෝහලේ දෙව්මැදුරේ දිව්‍ය පූජාව ඔප්පු කරමින් සිටි රොමෙරෝ අගරදගුරු තුමා පාලක රෙජීමයේ කුලී තුවක්කු කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

භා. රොමෙරෝ අගරදගුරු හිමි ඝාතනය කරන ලද මොහොත

එහෙත් මෙම සිවිල් යුද්ධ සමයේ ඝාතන සිදුකළ රෙජීමයට සම්බන්ධපුද්ගලයන් ආරක්ෂා කෙරෙන වගකීමෙන් ආරක්ෂා කිරීමේ නීතියක් එම යුද්ධයෙන් පසුව පණවනු ලැබිණ. මේ නිසා ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් සේ ම එම කාලය තුළ ඝාතනය කරන ලද කිසිවකු ගේ අපරාධකරුවනට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී තිබිණ. එහෙත් එල් සැල්වදෝරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් වම නීතිය පසුගිය වසරේ ඉවත් කරනු ලැබීය. මේ අනුව මෙම ඝාතන පිළිබඳව යුක්තිය පසිඳලීමට දැන් අවකාශ ලැබී තිබේ.

මේ අනුව යමින් සැන් සැල්වදෝරයේ රිකාඩෝ චියාස් විනිසුරුවරයා රොමෙරෝ අගරදගුරු හිමි ඝාතනය පිලිබඳ නඩු විභාගය ඊයේ (අප්‍රේල් 18) ආරම්භ කළේය. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබල අල්වාරෝ සරවියාට එරෙහි චෝදනා ගොනු කරන්නැයි ඔහු පොලිසියට නියෝග කළේය. 1976-1990 කාලයේ සරවියා රෙජීමයේ ඝාතන කල්ලියකට සම්බන්ධව සිටියේය.

මිනිසුනට එරෙහිව කරනු ලබන අපරාධ පිලිබඳ යුක්තිය පසිඳලීම සදාකාලිකව යටපත් කර තැබිය නොහැකිය.

රොමෙරෝ අරදගුරු තුමා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කල මානුෂවාදී අරගලයට ගරු කිරීම පිණිස මාර්තු 24 වැනිදා “මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමට අදාළ සත්‍යය දැනගැනීමට ඇති අයිතිය හා ඊට ගොදුරු වන්නන් ගේ ගරුත්වය පිලිබඳ දිනය” ලෙස නම් කිරීමට ජගත් සංවිධානය 2010 දී තීරණය කළේය. 1997 දී එතුමන් සාන්තුවරයට පත් කිරීමේ මග විවර කරමින් ශු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් එතුමාට “දේව සේවක ” යන ගෞරව නාමය පිරිනැමිණ. ඉන් පසු කාලයක් තිස්සේ එතුමන් ශුද්ධවරට පත් කිරීම අක්‍රීයව තිබිණි. ඊට හේතුව සභාවේම ඇතැම් කණ්ඩායම් විසින් රොමෙරෝ අගරදගුරු තුමන් කොමියුනිස්ට් කාරයකු හා විමුක්ති දේවධර්මවාදියකු ලෙස හඳුන්වා දීමට ගත් උත්සාහයයි. කෙසේ නමුත්, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පත් වීමෙන් පසුව එම ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන ලද අතර 2015 මැයි 23 වනදා ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් භාග්‍යවරයට ඔසවන ලදී.

ජනතාවගේ කුරුසිය ජේසු ගේ කුරුසියයි. ඒ කුරුසියට උර දෙන්නේ කවර තැනැත්තේ ද ඔහු/ඇය ශාන්තුවරයෙක්/ප්‍රාණපරිත්‍යාගීවරයෙක් වන්නේය.

වතිකාන සුළඟ වෙබ් අඩවියෙහි පළ වූ ඝාතනයෙන් වසර 35 කට පසු අගරදගුරු ඔස්කා රොමෙරෝ ඝාතන නඩු විභාගය ඇරැඹේ  නම් ලිපියයි.)

Archive

Latest news

Related news