Thursday, April 25, 2024

උතුරු පළාත් සභාව මුලතිව් වෙරළ අසබඬ දෙමළ අනුස්මරණ උත්සවය පවත්වයි

මුලතිව් වෙරළ අසබඩ අද උදෑසන පැවැති උතුරු පළාත් සභාව සංවිධානය කළ අනුස්මරණ උත්සවයට මව්වරු විශාල පිරිසක් එක්ව සිටියහ. photo credit

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ අනුස්මරණ උත්සවය අද  මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්යෙන් පැවත්වන ලදී. එය සංවිධානය කරන ලද්දේ උතුරු පළාත් සභාව විසිනි. මෙම අනුස්මරණ උත්සවය වැළක්වීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ නැත. මෙම උත්සවයට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

මහ ඇමැති විග්නේශවරන් අනුස්මරණ උත්සවයේ ප්‍රධාන කතාව පවත්වමින්

විශාල පිරිසක් සහභාගි වූ මෙම අනුස්මරණ උත්සවයේදී පහන් දල්වා මියගිය පිරිස් සිහි කරන ලදී.

16දා මුලතිව් අධිකරණය මගින් තහනම් කරන ලද යුදධයෙන් මිය ගිය පිරිස් අනුස්මරණය කරන ඵලක පිහිටුවීමේ උත්සවය මුලතිව් කතෝලික දේවස්ථානය තුළ පැවැත්වීමට අද අවසර දී තිබේ.

මේ අතර අද දිනය පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කර තිබෙන අතර මුලතිව් හා පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමය ප්‍රකාශ කරන්නේ  අවසන් යුද්ධයෙන් මියගිය වැසියන් සිහි කීරීමට මෙම හර්තාලය ක්‍රියාත්මක කර බවයි. ජයාරූප මගින් පෙන්නුම් කැරෙන පරිදි නගරයේ කඩ සාප්පු සියල්ල වසා තිබේ. එනමුත් රජයේ කාර්යාල කටයුතු සාමන්‍ය පරිදි පැවැත්වේ.

මෙම අනුස්මරණය පිළිබදව අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී සම්බන්දන් මෙසේ පවසා තිබේ:

(ටැමිල් ටී නිව්ස්)

“ අවසන් සටනේදී, කිසිඳු අනුකම්පාවක් නොදක්වා ඉතාමත් කුරිරු අන්දමින් ප්‍රහාරයන් එල්ල කර දෙමළ ජනතාව විශාල පිරිසක් ඝාතනය කරන ලදි. ඒ අතරම, දෙමළ ජනතාව විශාල පිරිසක් අතුරුදහන් කර ඇත. වන්නියේ නිරික්ෂණ කටයුතුවල නිරතවී, දෙමළ ජනතාවට උපකාර කරමින් සිටි ජාත්‍යන්තර ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන යනාදිය යුද්ධයේ උච්චතම අවස්ථාවේදි, ඔවුන්ව එහි සිට බලාත්කාරයෙන් පිටුවහල් කරන ලදි. මේ හේතුවෙන් ජාත්‍යන්තර සාක්‍ෂි කිසිවක් නොමැතිව, ජාත්‍යන්තර යුධ නීති රිති උල්ලංඝනය කරමින් අවසන් සටන සිදුකරන ලදි.

අවසන් සටනේදී, අවි ආයුධවලින් පමණක් නොව, ආහාර නොමැතිවත්, වෛද්‍ය ප්‍රතිකාර නොමැතිවත්, ආරක්ෂාකාරිව සැඟවී සිටීමට ස්ථාන නොමැතිවත් අපගේ ජනතාව විශාල පිරිසක් ඝාතනයට ලක්වී ඇත. පසුගිය පාලන කාලයේදී, දෙමළ ජනතාවට එරෙහිව සැලැසුම් සහගතව සිදුකල මෙම කුරිරු යුද්ධය සම්බන්ධයෙන් මා අවස්ථා කිපයකදීම පාර්ලිමේන්තුවේදී කතා කර ඇත්තෙමි. මෙම යුද්ධය කඩිනමින් නතර කරන මෙන් එවකට බලයේ සිටි රජයෙන් ඉල්ලා සිටියෙමි. නමුත්, දෙමළ ජනතාවට විශාල විනාශයක් අත්කරදුන් පසු, රජය විසින් යුද්ධය අවසන් කර ඇත.

මේ හේතුවෙන් දෙමළ ජනතාව විශාල පිරිසක් ඝාතනයට ලක්වන ලදි. තවත් බොහෝ පුද්ගලයින් අතුරුදහන් කර ඇත. අපගේ ජනතාවගේ නිවාස සහ දේපල විනාශ කර ඇත. පීඩාවට පත් අපගේ ජනතාවට යුත්තිය රැගෙන දෙන මෙන් මා ජාත්‍යන්තර ප්‍රජාවෙන් අඛණ්ඩව ඉල්ලා සිටින්නෙමි. මැයි 18 වන දිනය, දෙමළ ජනතාවට ජාතික ශොක දිනයකි. අපගේ ජනතාව සැලැසුම් සහගතව විනාශ කල දිනයයි. මියගිය අපගේ ජනතාව වෙනුවෙන් පාහන් දල්වා ගෞරවය පුදකරන දිනයයි”

 

Archive

Latest news

Related news