ජායරූපය: මුල්ලිවයික්කාල් අනුස්මරණය සූදානම් වෙමින් තිබුණේ මෙසේය.
සුනන්ද දේශප්‍රිය.
දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ.
අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග නොසළකා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩළය පැවැත් වූ ගමනකට කදුළු ගෑස් සහ අධිසැර වතුර ප්‍රහාරයක් එල්ල කළ ආණ්ඩුව එදිනම දෙමළ ජනතාවගේ සාමකාමී රුස්වීමේ අයිතිය මර්දනය කිරීම පිණිස ද අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. මෙම පියවරයන් දෙක එකම මර්දනයක දෙපැත්තය.
අරමුණ කුමක් වුවත් සරසිවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සාමකාමී පාගමනක් තහනම් කිරිමත් එයට පහර දීමත් ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඔවුන් සමඟ සාකච්ජා කිරිමය.උපාධී ලබා දෙන පුද්ගලික අංශයේ අනෙක් ආයතන තිබියදී හුදෙක් සයිටම් විරෝධී ව්‍යාපාරය අතාර්කික එකක් වන නමුත් එ සඳහා උද්ඝෝෂණ කිරීමේ අයිතිය පැහැර ගැනීමට ආණ්ඩුවට අයිතියක් නැත.
මෙම බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුළ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් හිදී මහජන සාමය කඩවන පරිදි සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 106 (01) වගන්ති ප්‍රකාරව කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි.
පොලීසිය 15වතාවක් කඳුළු ගෑෑස් ගසා ඇති අතර විහාරමහා දේවී උද්‍යානය අතුළටම ගොස් එල්ල කරන ලද කදුළු ගෑස් ප්‍රහාරයෙන් සාමාන්‍ය ජනයා පවා දුෂ්කරතාවයන්ට පත්විය. එහි ජල කරාම පවා පොලීසිය විසින් වසා දමා තිබූ බව වාර්තාවේ. කඳුළු ගැස් ප්‍රහාරයන් නිසා තුවාල ලද 21 දෙනෙකු රෝහල් ගත කර ඇත.
මෙම මර්දනකාරී පිළිවෙතම ඉදිරියට ගෙන යමින් දැන් ආණ්ඩුව පොලීසිය ලවා, දෙමළ සිවිල් සමාජ පිරිස් විසින් ලබන 18වන දින මුලතිව්, මුල්ලිවයික්කාල්හි පැවැත්විමට සූදානම් කර තිබූ යුද්ධයෙන් මියගිය සිය ආදරණියයන් සිහි කිරීමේ අනුස්මරණය රැළිය තහනම් කර තිබේ.
2015 දී නව රජය බලයට පත්වීමෙන් පසු යුද්ධයෙන් මිය ගිය සිය ජනයා අනුස්මරණය කිරීමට දෙමළ සමාජයට අවස්ථාව විවිර විය. රාජපක්ෂ සමයෙහි අධිකරණ නියෝග නැතිවම එවැනි අවස්ථා තලා පෙළා දමන ලද්දේ බලහත්කාරයෙනි.
මෙම වසරෙහි මුල්ලිවයිකාල් සැමැරුම පිනිස යුද්දයෙන් මිය ගිය සිය ඥාතීන්ගේ නම් කෙටු ගල් පුද්ගලික ඉඩමක සවි කිරීමට දෙමළ සිවිල් සංවිධාන පියවර ගෙන තිබුණි. ඒ සඳහා ප්‍රතිමාවක්ද නිමවා තිබුණි. හෙට පැවැත්විමට නියමිත වූ එම අනුස්මරණය තහනම් කරන අධිකරණ නියෝගය මුලතිව් පොලීසිය ලබා ගත්තේය අද එනම් 17වනදාය. එහි කියැවෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් මෙම සැමැරුම තහනම් කරන බවයි.
මේ අතර ජනාධිපති සිරිසේන හෙට යාපනයේ සංචාරයක යෙදෙන බවටද කලින් වාර්තා පළ වී තිබුණි.
සාමූහිකව මියගියවුන් අනුස්මරණය කිරිමේ දෙමළ ජනතාවගේ අයිතිය මර්දනය කිරිම පැහැදිළිවම මානව හිමිකම් කෙළෙසීමකි. එම සැමැරුම් උත්සව සංවිධානය කරන්නේ කව්රුන් විසින්ද යන්න මෙහිදී ප්‍රශ්ණයක් නොවේ.
දෙමළ ප්‍රජාව යුද්ධාවසානයෙහි අටවන වසර සටහන් කරන මේ අවස්ථාවෙහි උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අනුස්මරණය ප්‍රයත්නයන් ආණ්ඩුව විසින් මර්දනය කිරීම යාපනයේ පිහිටි ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා අඩයාලම් කේන්ද්‍රය විසින්හෙළා දැක තිබේ.
ප්‍රකාශණයක් නිතුක් කරමින් එය සඳහන් කරන්නේ පසුගිය දින ගණනාව තුළ අනුස්මරණය කටයුතු සංවිධානය කරමින් සිටි දෙමළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ කාරිනියක් හමුවට ගිය යුද හමුදා බුද්ධි අංශ සහ පොලීසිය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරනු ලැබ ඇති බවයි. පසුගිය 16වනදා එවැනි ක්‍රියාකාරීන් මුලතිව් පොලීසියට කැඳවා සමරු ගල්හි මියගියවුන්ගේ නම් කෙටීම පිළිබඳව ප්‍රශ්ණ කර තිබේ.
යුද්ධාවසානයේ සිට මේ දක්වාම රජය මෙවැනි මර්දනයන් දියත් කර ඇති නමුත් දෙමළ ජනයා සිය මියගියවුන් අනුස්මරණය කිරීම අතහැර දමා නැති බව මෙම මැයි මාසයේ සිදුවීම් විසින් ද පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රජය කල්පනා කළ යුත්තේ කොතරම් කාලයක් මෙම මර්දනය පවත්වා ගත හැකිද යන්නයි. යුද්ධයෙන් විපතට පත් සිය ජනයා පිළිබඳව දෙමළ ජනයා තුළ ඇති හැඟිම යටපත් කළ හැකි එකක් නොවේ. කවරදාක හෝ මෙම සැමැරුම නිසි පරිදි පැවැත්වීමේ අයිතිය දෙමළ ජනයා ලබා ගනු නිසැකය.
දකුණෙහි ජනතා විමුක්ති පෙරමුණට 1971 සහ 1989 -90 එය විසින් දියක් තරන ලද ප්‍රචන්ඩ අරගලයන්ගෙන් විපතට පත්වූවන් අනුස්මරණය කිරීමට නිදහස ලැබී ඇති පරිදි දෙමළ ජනයාට ද එම නිදහස ලැබිය යුතු නොවේද? 2015 මෙම ආණ්ඩුව පත් කිරිමට දෙමළ ජනයා එකාමෙන් ජන්දය ප්‍රකාශ කළේ සිය නිදහස ඇති කර ගැනිමට නොව නැති කර ගැනීමට නොවේ.