දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව වෙළාගෙන පැවති බිහිසුණු යුද ගැටුමක් නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සමත් වූ බව සමස්ත ජාතියටම නිල වශයෙන් නිවේදනය කරන ලද්දේ ඊයේ වැනි දිනකදී ය. එනම් 2009 වසරේ මැයි මස 17 වනදාය. එමෙන්ම තමන්ගේ සටන අවසන් කිරීමට සිදුව ඇති බවත් ඒ අනුව තමන් සතු ගිනි අවි මේ මොහොතේ පටන් නිහඬ වන බව එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් නිවේදනය කළේ අද වැනි දිනකදී ය. එනම් 2009 වසරේ මැයි මස 18 වන දිනයේදී ය. අති බිහිසුණු සටනකින් පසුව මුලතිව් හි නන්දිකඩාල් කළපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ජීවිතක්ෂයට පත්කරන ලද්දේ හෙට වැනි දිනකදී ය. එනම් 2009 මැයි මස 19 වනදා ය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් පැවති දැවැන්ත යුද්ධයක තීරණාත්මක දින කිහිපයක් මේ සතියට අදාළව සනිටුහන් වී තිබේ. ඒ නිසාම දකුණේ මෙන්ම උතුරේ ජනතාවට මේ දින කිහිපය අමතක කළ නොහැකි වීම පුදුමයට කාරණයක් නොවේ. පොදුවේ ගත්කළ රටේ ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරය අනුව යුද්ධයේ අවසානය පදනම් කරගනිමින් සිදුකරන සැමරුම් සිහිපත් කිරීමෙන්ම සාකච්ඡා, සංවාද මෙන්ම ඇතැම්විට විවේචනයන් ද මතුවන්නේ ඒ අනුවය. රටක් ලෙස අප ඒ පිළිබළඳව සලකා බැලිය යුත්තේ සන්සුන් මනසකින් යුතුවය.
එහිදී දකුණේ සමාජයට මේ දින කිහිපය අනුස්මරණීය සතුටුදායක මතක සටහන් වලින් හෙබි, අභිමානයෙන් සැමරිය යුතු දින කිහිපයක් වනවාට කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම රාජ්‍යයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍යය සාධකයක් වන භෞමික අඛණ්ඩතාවය උදෙසා ද හෙට දවසේ ද තහවුරු කරගනිමින් ආරක්ෂා කරගත යුතු සාමකාමී පරිසරයක් වෙනුවෙන් ද තම ජීවිත පූජා කරමින් අති බිහිසුණු සංග්‍රාමයකට අවතීර්ණ වී සිටි ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ මේ රටේ ආරක්ෂක අංශ වල වීරත්වය, කැපවීම හා ඒ තුළ සිදුකළ පරිත්‍යාගයන් සලකා බැලීමේදී මුළුමහත් ජාතියේම ඔවුන් වෙත ගෞරව කිරීම යුක්ති යුක්ත වේ.
අද වනවිට මේ රටේ බොහෝ ජනමාධ්‍ය මේ පසුබිම සැලකිල්ලට ගෙන සිදුකරන වාර්තා කිරීම් තුළ ඒ පිළිබළඳ දක්වා ඇති අවධානය මැනවින් ප්‍රදර්ශනය වේ. එහෙත් එහිදී නොකියා සිටිය නොහැකි, කිසිසේත්ම අමතක කළ නොහැකි කාරණයක් ද තිබේ. එනම් විශේෂයෙන්ම පොදුවේ සිංහල හා දෙමළ ප්‍රජාව අතර මෙන්ම ඒ ඒ භාෂාවන් පදනම් කරගනිමින් ජනමාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍ය ප්‍රජාව ද මේ ප්‍රශ්නයේ අභ්‍යන්තරය හා ඒ තුළ පවත්නා ගැඹුරු සංවේදනාවන් සැලකිල්ලට නොගෙන සිදුකරන ඇතැම් වාර්තාකරණයන් තුළ අවසානයේ අප මාතෘභූමියට අගතියක් සිදුකරමින් සිටිනා බවය.
එහිදී බොහෝවිට ජනමාධ්‍ය තම අවධානය යොමුකරන්නේ ඒ ඒ ජනකොටස් නියෝජනය කරන දේශපාලකයන් කෙරෙහිය. ඔවුන්ගේ විවිධ ප්‍රකාශයන් පිළිබඳවය. එහිදී සමාජයක් ලෙස අප මැනවින් තේරුම් නොගන්නා බරපතළ සත්‍යයක් තිබේ. එනම් විශේෂයෙන්ම අප රටේ බොහෝ දේශපාලකයන් අවධානය යොමුකරන්නේ තමා හා තමන් නියෝජනය කරන ජනකොටස්වල සියුම් සංවේදී නිලස්ථාන වෙත පමණක්ම වන බවය. සමස්ත ජාතිය පිළිබඳව හෝ ජාතියේ අනාගත පැවැත්ම පිළිබඳව නොවන බවය. උතුරේ ඇතැම් සිදුවීම් හා දේශපාලකයන්ගේ ඇතැම් ප්‍රකාශ උලූප්පා දක්වමින් දකුණේ සිංහල ජනමාධ්‍ය සාමාන්‍ය සිංහල ජනතාව අතර තිගැස්මක් අති කිරීමට හැකි ආකාරයේ ප්‍රවෘත්ති පළකරන්නේත් දකුණේ ඇතැම් දේශපාලකයන්ගේ සහ පටු දේශපාලන අරමුණු මත ක්‍රියාකරන කණ්ඩායම්වල ප්‍රකාශ උලූප්පා දක්වමින් උතුරේ දෙමළ ජනතාවගේ පෑරුණු තුවාල වලට ලූනු දමන්නට උතුරේ දෙමළ ජනමාධ්‍ය කටයුතු කරන්නේ ත් ඒ අනුවය. මෙය රටේ අනාගතයේ යහපැවැත්ම හා ස්ථීර සාමයක් පිළිබඳව සලකා බැලීමේදී කිසිසේත්ම යහපත් තත්වයක් ද නොවේ.
ඒ අනුව මේ රටේ සිංහල, දෙමළ ජනවර්ගයන් පිළිබඳ සලකා බැලීමේදී ත් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් වැනි ආගමික කණ්ඩායම් වශයෙන් සලකා බැලීමේදී ත් තම තම ජනවර්ග හා ආගමිකයන් අතර ද පෙරළා අනෙකා සමග ද ගැඹුරු සංවාදයකට යොමුකළ යුතුව ඇති කරුණු කාරණා රාශියක් පවතී. එකිනෙකාගේ ප්‍රශ්න හා දුක්ගැනවිලි මෙන්ම අපේක්ෂාවන් පිළිබඳව ද විවෘතව සිදුවිය යුතු සංවාදයක් තුළ සාමුහික එකඟත්වයක් පිළිබඳව අපේක්ෂා දල්වා ගැනීමට සුදුසු කාලපරිච්ඡේදයක් ලෙස මේ කාලවකවානුව වැදගත් වන්නේ ද ඒ නිසාය.
එහිදී සිංහල ප්‍රජාව අමතක නොකළයුතු කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ මේ රටේ පැවැත්මට, ජනජීවිතයේ සාමකාමී බවට හා සංහඳියාවට බරපතළම තර්ජනයක් ලෙස මෑත ඉතිහාසය වෙළාගෙන පැවති යුද්ධයේ අවසානය උදෙසා තම ජීවිත කැපකරමින් රටේ ආරක්ෂක අංශ සිදුකර ඇති පරිත්‍යාගයයි. ඒ සමගම කිසිසේත්ම අමතක නොකළයුතුව ඇති අනෙක් කාරණය වන්නේ වසර තිහකට අධික කාලයක් තිස්සේ දැවැන්ත යුද ගැටුමකට මැදි වී අනේකවිධ වේදනාවන්ට මුහුණ දුන් ජනතාවගේ වේදනාවන් ය. විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවගේ බිහිසුණු අත්දැකීම්ය.
තමන්ගේ කැමැත්තෙන් තොරව තමන්ගේ හිස මත බලහත්කාරයෙන් පටවන ලද බිහිසුණු යුද්ධයකට මැදි වී ජීවිත පූජා කළ අහිංසක දෙමළ වැසියන් අති විශාල සංඛ්‍යාවක් ද ඒ අතර සිටින බව කිසිසේත්ම අමතක කළයුතු නැත. ත්‍රස්තවාදයට මෙන්ම ත්‍රස්තවාදීන්ට රටක් ලෙස අප කිසිසේත්ම බුරුලක් ප්‍රදර්ශනය කළයුතු නැතිවාක් මෙන්ම ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වීම නිසා විනාශ වූ අහිංසක සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට ද නිසි ගෞරවයක් ලබාදීම අපගේ ද යුතුකමකි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ජීවිත පූජාකළ අභීත සැබෑ රණවිරුවන්ට ජාතියේ ගෞරවය පුදකරන අතරම බලහත්කාරයෙන් පටවන ලද යුද්ධයකට මැදිවීම නිසා ඒ තුළ ජීවිත අහිමි කරගත් අහිංසක වැසියන්ගේ ආත්මයන් පිළිබඳව ද අප දැනට වඩා සැලකිල්ලක් දැක්විය යුතුමය. මේ රටේ සැබෑ රණවිරුවාට නිසි ගෞරවය පුදකරමින් ත්‍රස්තවාදයට තවදුරටත් ඉඩකඩ අහුරාලිය හැක්කේ එවිටය.