Friday, April 19, 2024

දකුණූ කොරියා ජනපතිවරණය: දශකයක දක්ශිනාංශික පාලනය ඉවතට!

ජායාරෑපය: මූන් ජේ-ඉන්, ජනපතිබවට පත් සරණාගත දෙමාපියන්ගේ පුතා. credit: BBC

ඊයේ එනම් මැයි 09දා පැවැති දකුණූ කොරියානු ජනපතිවරණයෙන් දශ වසරක්පුරා එරට පැවැති දක්ෂිනාංශික පාලනය පෙරළා දමා මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මූන් ජේ-ඉන් ඉහළ ජයක් ලබා ගත්තේය‍‍.

මෙම ජනාධිපතිවරණය පැවැත්වූයේ හිටපු ජනාධිපතිනිය වන පාක් ජුන්-හේ දූෂණ වංචා දූෂණ උඩ දෝශාභියෝගයකින් බලයෙන් පහව ගොස් අත් අඩංඟුවට පත්වීමෙහි ප්‍රතිපලයක් ලෙසය‍. ඇය 1963 සිට 1979 දක්වා දකුණූ කොරියාව පාලනය කල ඒකාධිපතියකු වූ පාක් චුන්-හී ගේ දියණියකි. ඇය පසුව සිය පියා විසින් කරන ලද මර්දනකාරී ක්‍රියා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා ය.

දැන් දකුණු කොරියාවෙහි ජනාධිපති බවට පත්ව සිටින මූන් ජේ-ඉන් කොරියානු යුද්දයෙන් පසු දකුණූ කොරියාවට පලා ආ සරණාගත දෙමාපියන්ට දාව ඉපදුනේ 1953දීය.

ළදරු අවධියෙහි ජිවත්වීම පිණිස ඔහුගේ මව බිත්තර විකුණමින් ඇවිද ගියේ මූන් ජේ-ඉන් සිය පිටුපස රෙදිකඩකින් රඳවා ගෙනය. ඔහුගේ පියා යුද සිරකුරුවකු වශයෙන් කඳවුරක වැඩ කළේය‍.

මූන් 1972 දී මහන්සි වී ඉගෙන ගෙන නීති විදුහලට ඇතුල් විය. එසේ නමුත් ඒකාධිපති පාක් චුන්-හීට විරුද්ධ උද්ඝෝෂන මෙහෙයවීයැයි අත් අඩංඟුවට ගන්නා ලදී. සිර ගත කරන ලද මූන් සිය නීති උපාධිය සම්පූර්ණ කළේ සිරගෙදරදී ය.

දේශපාලන කටයුතුවල යෙදීමට දඩුවමක් වශයෙන් මූන් 1976දී බලයෙන් යුද හමුදාවට බන්දා ගැනුණි.

සය වසරකට පසු ඔහු රොහ් මූ-හ්යන් නම් සිය සඟයකු සමඟ මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ නීති සමාගමක් ආරම්භ කළේය‍. රොහ් මූ-හ්යන් පසුව දකුණූ කොරියාවෙහි ජනපති පදවියට පත් වූ නමුත් දූෂණ චෝදනා එල්ලවීමෙන් පසු සිය දිවි තොර කර ගත්තේය‍.

මූන් ජේ-ඉන් 1987 දී මානව හිමිකම් නීතිවේදියකු විය.  credit: BBC

1987 වන විට මානව හිමිකම් නීතිවේදියකු බවට පත් මූන් ප්‍රජානත්ත්‍රවාදය සදහා ව්‍යාපාරයේ නායකයකු බවට පත් වී සිටියේය‍. දශක ගණනනාවක් එරට පැවැති ඒකාධිපති පාලනය පෙරළා දැමුණේ එකී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නිසාය. ඒ 1987 දී ය.

මූන් පක්ෂ දේශපාලනයට ඇතුල් වූයේ සිය මිතුරා වූ ජනාධිපති රොහ් සිය දිවි නැති කර ගත් 2007 වසරට පසුය.

2012 වසරේ පැවැති ජනපතිවරණයෙන් ඔහු පරාජය වූයේ යාන්තමටය. තමා ද මූලික වී දකුණූ කොරියාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් ඇති කළ 1987 වසරින් හරියටම තිස් වසරකට පසු ඔහු ජනාධිපති පදවියට පත් විය.

උතුරු කොරියාවෙහි ජිවත්වන සිය ඥාතීන් සමඟ credit: BBC

ඔහු උතුරු කොරියාව සම්බන්ධයෙන් දරන්නේ යුදවාදී නොවන ආකල්පයකි. දෙරට කවදා හෝ සාමකාමීව එක්වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. එසේ වූ වහාම මා කරන්නේ මගේ 90 වියැති මව සමඟ ඇයගේ උපන් ගමට ගොස් එහි ජිවත්වීමයැයි ඔහු කියා තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ යුද්ධයකට යෑමට කැසපට ගසමින් සිටින නමුත් මූන් ජේ-ඉන් කියන්නේ වැදගත්ම දේ යුද්ධයක් ඇති නොවීමට ඉඩ දීම බවයි. ඇමෙරිකාව, චීනය සහ දකුණු කොරියාව එක්ව උතුරු කොරියාව සමඟ සාම සාකච්ජා ආරම්භ කළ යුතු බව ඔහු ජනපතිවරණ ව්‍යාපාරය තුළ දැරූ අදහස විය.

දකුණු කොරියානු ජනපතිවරණයෙන් ද පෙනී ගිය එක් කරුණක් නම් ට්‍රම්ප් රැල්ල කියා දේශපාලන ප්‍රවණතාවයක් නැති බවයි.
මූන් ජේ-ඉන්ගේ දේශපාලන අභියෝග ද මහත්ය. දේශපාලනය සහ ආර්ථිකය පිරිසදු කිරීමත් උතුරු කොරියානු ප්‍රශ්ණයට සාමකාමී විසඳුමක් සෙවීමත් ඒ අතර ප්‍රධාන වේ.

Archive

Latest news

Related news