Saturday, April 27, 2024

පළාත් සභා අර්ථවත් කිරීම සඳහා මහ ඇමැතිවරුන්ගෙන් සාමූහික ඉල්ලීමක්

ජායාරූපය: හබරණ පැවැති මෙම මහ ඇමැති සමූළුව ඒකමතික කල ඉල්ලීමට ජනාධිපති ඉක්මන් ප්‍රතිචාරයක් දක්වයිද?

පළාත් සභාවලට තව තවත් බලය බෙදා හරිමින් ඒවා වඩාත් අර්ථවත් කරන ලෙස, පසුගිය දා පැවති මහ ඇමතිවරුන්ගේ 33 වැනි මහ සමුළුවේදී පළාත් සභා මහ ඇමතිවරු 9 දෙනාම ජනාධිපතිවරයාගෙන් එකාවන්ව ඉල්ලා සිටියහ. පසුගිය 6 වැනි සෙනසුරාදා හබරණ ‘සිනමන් ලොජ්’ හෝටලයේදී පැවැති මෙම සමුළුවට, උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේශ්වරන් ඇතුළු පළාත් සභා නවයේම මහ ඇමතිවරු සහභාගී වුහ.

පළාත් සභාවලට තව තවත් බලය බෙදා හරින ලෙස සියලූ මහ ඇමතිවරුන් මෙහිදී එක හඬින් ඉල්ලා සිටීම වැදගත් ය. ඉන්දු-ලංකා සාම සම්මුතිය අත්සන් කිරීමත් සමග ක‍්‍රියාවට නැගුණු පළාත් සභා ක‍්‍රමය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය වශයෙන් පවතී. වැඩියත්ම උතුරු සහ නැගෙනහිර පළාත් සභාවල මහ ඇමතිවරුන් බලය බෙදා හරින්නැයි උදක්ම ඉල්ලා සිටීම නිසා එම පළාත්වලට විශේෂ බලය බෙදා හැරීමක් සිදු වේදෝ යන හැඟීමකුත්, රටේ එක්සත් භාවය සහ ඒකාග‍්‍රතාවයට එය තර්ජනයක් විය හැකි බවට හැඟීමකුත් සාමාන්‍යයෙන් ඇති වී තිබේ.

කෙසේ වෙතත්, පළාත් සභාවල ඇති වැදගත්කම තේරුම් ගත්, ඒවා සක‍්‍රීය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගත්, පළාත් සභා මහ ඇමතිවරුන් 9 දෙනාම දැන් මේ පළාත් සභාවලට බලය බෙදා හැරිය යුතු බව සාමුහිකව අවධාරණය කොට ඇත. හබරණ සමුළුවේදී මහ ඇමතිවරුන් ඉදිරිපත් කළ අදහස් අනුව, රට පුරා ඇති පළාත්වලට බලය බෙදා හැරීමේ ක‍්‍රමයක් වශයෙන් හඳුන්වා දුන් පළාත් සභා ක‍්‍රමය තුළ පොලිස් බලතල සහ ඉඩම් බලතල වැනි ඉතා වැදගත් අංශවල පරිපාලන බලය තවමත් ක‍්‍රියාත්මක නොවන බව පැහැදිළි වෙයි.

උතුරු නැගෙනහිර පළාත් දෙකේ ඉඩම් ඇතුළු පශ්චාත්-යුද කාලීන විවිධ මානුෂීය ප‍්‍රශ්න විසඳාලීමට නොහැකි වන අන්දමින් තමන්ගේ දෑත් ගැටගසා දමනු ලැබ ඇතැයි උතුරු නැගෙනහිර මහ ඇමතිවරුන් දැනටමත් බලධාරීන්ට දන්වා තිබේ. ඔවුන් දෙදෙනා පමණක් නොව, මහ ඇමතිවරුන් 9 දෙනාම දැන් එකාවන්ව තමන්ට බලය ඉල්ලා සිටින තත්වයක් තුළ, වර්තමාන පළාත් සභා පවතින්නේ බල රහිතව බවත්, ඒවා හුදෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කරන ලද සංකේත ආයතන පමණක් වන බවත් පැහැදිළි වෙයි.

ප‍්‍රමාණවත් බලතල නැති නිසා පළාත් සභා වැදගත්කමින් හීන වෙමින් පවතින බව මහ ඇමතිවරු මෙහිදී පෙන්වා දුන්හ. එසේම, පර්යන්තයන් වෙත බෙදා හැරිය යුතුව ඇති බලතල තවමත් මධ්‍යම ආණ්ඩුව අතේ රැඳී පවතින බවත් ඔවුහූ ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඉතා වැදගත් කාරණයක් ඉස්මතු කරමින් කරුණු දැක්වූ උතුරු පළාත් සභා මහ ඇමති සී. වී. විග්නේශ්වරන්, ගිය වසරේ මධ්‍යම ආණ්ඩුව විසින් උතුරු පළාත් සභාවට වෙන් කරන ලද රුපියල් මිලියන 1500 මුදලක් තවමත් උතුරු පළාත් සභාවට ලැබී නැති බව කීය.

පළාත් සභා ක‍්‍රමයක් හඳුන්වා දුන්නේ වී නමුත්, රට පුරා ඇති පළාත් 9 ට බලය බෙදා හැරීමේ ප‍්‍රතිලාභ ලබා ගත නොහැකි වීමට සහ සාමය සහ සංහිඳියාව තර කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතිය වඩාත් සවිබල ගැන්වීමට නොහැකි වීමට, එදා උතුරු නැගෙනහිර පළාත් සභා අක‍්‍රීයව පැවතීමත් බලපෑවේය. තිස් අවුරුදු නිර්දය යුද්ධය, පළාත් සභා ක‍්‍රමය හඳුන්වා දුන් වකවානුවේ පටන් තවත් උග‍්‍ර වීම කරණකොටගෙන, පළාත් සභාවලට බලය බෙදා හැරීම සීමා කිරීමට සහ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කිරීමට හේතු කාරණා සැලසිණ. එදා ලෝකයේ දුර්දාන්තම එල්.ටී.ටී.ඊ, සංවිධානය ඉදිරියේ වෙනත් ගත හැකි මගක් ඉතිරිව නොතිබුණි.

කෙසේ වෙතත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අපේක්ෂා කෙරුණු පළාත් සභා පද්ධතිය අර්ථවත් ආකාරයකින් දැන්වත් නගා සිටුවිය යුතුව තිබේ. බලය වැඩියෙන් බෙදා හරින්නැයි ඉල්ලා සිටින අතරේ, උතුරු සහ නැගෙනහිර පළාත් මහ ඇමතිවරු, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර බලතල බෙදාහදා ගැනීම වඩාත් ක‍්‍රමවත් සහ අර්ථවත් වීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාටත් යා යුතු බව කියා සිටී. මේ ක‍්‍රමයේ සාර්ථකත්වය සඳහා තව යා යුතු බොහෝ දුර ඇති බව හබරණට කැඳවූ මහ ඇමතිවරුන්ගේ සමුළුවෙන් මොනවට ප‍්‍රකාශයට පත්විය. ඒ කාර්යය අරභයා, පළාත් සභා අර්ථවත් කිරීම වෙනුවෙන්, වඩාත් පුළුල් බලතල පළාත් සභා වෙත පැවරිය යුතු බවට, පක්ෂ භේද ඉවත ලා සියලූ මහ ඇමතිවරුන් එක හඬින් මෙසේ කියා සිටීම වැදගත් ය.

017 මැයි 8 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ Collective Call to Make Provincial Councils Meaningful නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Archive

Latest news

Related news