Sunday, April 28, 2024

අධිකරණ අපහාසය උඩ දොස්තර පාදෙණියට විරුද්ධව වියන්ගොඩ සහ විජේසූරිය උසාවි යයි!

ජායාරූපය: දොස්තර පාදෙණිය සිරගත වෙයිද? 

මාලබේ සයිටම් ආයතනයේ උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස එම සභාවට මේ වසරේ ජනවාරි 31 වැනිදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් හෑල්ලුවට ලක් කරණු ලැබ ඇති බැවින් ඔහුට එරෙහිව උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත පියවර ගන්නැයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය, පුරවැසි බලය සමාජ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් ඊයේ (04) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.

උසාවියට අපහාස කිරීමේ ක්‍රියාව පිළිබඳව ‍එම පෙත්සමින් නම් කර තිබෙන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාය.

පෙත්සම්කරුවන් මෙහිදී සඳහන් කරන්නේ අභියාචනාධිකරණය විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම තීන්දුව හෙළා දකිමින් හා ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවයි. එම තීන්දුව ඉවත දමන ලෙස හා බලරහිත කරන ලෙසත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කරන බවත්ය.

පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සයිටම් වෛද්‍ය උපාධිධාරින් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස උසාවිය නියෝග කළ පසුව වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා වෛද්‍ය පාදෙණිය ජාතික පෙරමුණක් ගොඩනඟාගෙන සයිටම් ආයතනයට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවයි.

එමෙන්ම 2017 අප්‍රේල් 07 වැනිදා හෝ ආසන්න දිනකදී එම සංගමය සයිටම් ආයතනයට එරෙහිව දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ඇත. පෞද්ගලික වෛද්‍ය සේවා ඇතුළු සියලු වෛද්‍ය සේවා නතර කරමින් ඔවුන් රජයට බලකර සිටියේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එදිනම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරෝධතා පාගමනක් හා මහජන රැලියල් පැවැත්වූ බවත්, කොටුව දුම්රිය ස්ථානය අභියස පැවැති එම රැලිය ඇමැතූ වෛද්‍ය පාදෙණිය මහතා සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අධිකරණ ක්‍රියාවලියත්, තීන්දුවත්, අධිකරණය හා නීතිපතිවරය‍ාගේ හැසිරීමත් සම්බන්ධයෙන් හිතාමතාම දුෂ්ට ‍ෙච්තනාවෙන් හා අපහාසාත්මකව කතා කළ බවද පෙත්සමෙහි දැක්වේ.

ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අභියාචනාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය මහතාට පියවර ගන්නා ලෙසයි. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මේ නඩුව අවසන් වන තෙක් අභියාචනාධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ කිරීම, ලිපි ලිවීම තහනම් කරමින් වෛද්‍ය ප‍ාදෙණිය මහතාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

– දිනමිණ

Archive

Latest news

Related news