Saturday, April 27, 2024

මැයි දිනය කාන්තාවන්ටත්! මේ ගැනත් හිතන්න.

ලක්බිමේ මව්වරු සහ දියණියෝ විසිනි.

සහෝදර සහෝදරයිනි!

අද මැයි දිනය. වැඩ කරන ජනයාගේ දවස.  අපේ රටේ වැඩිම වැඩ කැන ජනයා කාන්තාවෝ කිව්වොත් වැරදිද?  අප  රටේ වැඩිම අදායම් උපදවන වතු ආර්ථිකය, මැද පෙරදිග සංක්‍රමණික ආර්ථිකය සහ ඇඟළුම් කර්මාන්තය රඳා පවතින්නේ ස්ත්‍රී ශ්‍රමිකයින් මත, ඊට අමතරව ගුරු සේවයේ සහ හෙද සේවයේ අති බහුතරය වන්නේත් කාන්තාවන්. ඊට අමතරව සමස්තයක් වශයෙන් දරු මල්ලන් සහ ගේ දොර බලා කියා ගැනීමේ වගකීම බාරවන්නේත් ස්ත්‍රීන් වන අපට.

ඒ විදිහට බැලුවහම වැඩ කරන ජනයාගේ දිනය වන අද වගේ දවසක ස්ත්‍රී ශ්‍රමිකයින්ට වැදගත් තැනක් ඔවුන්ගේ ඉල්ලීම් වලට වැදගත් තැනක් හිමිවෙන්න ඕන නේද?

අද වගේ දවසක අඩුම වශයෙන් වැඩ කරන ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඩ නැගීමට වැඩ කරන ස්ත්‍රීන් කී දෙනෙකුට දේශපාලන පක්ෂ පවත්වන මැයි රැස්විම්වල අවස්ථාවක් ලැබෙනවාද? වැඩ කරන ස්ත්‍රීන්ට ස්විශේෂ වූ ප්‍රශ්ණ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කැරෙන්නේ මේ කුමන මැයි රැළියකද?

ස්ත්‍රී දේශපාලන සහභාගිත්වය පිළබඳ අලුත් උනන්දුවක් ඇතිව තිබෙන වර්ථමාන දේශපාලන තත්වය යටතේ අපි කැමැතියි අපේ පහත සඳහන් යෝජනාවලට ඔබේ අත හිත දෙන ලෙස ඉල්ලා සිටින්න.

දේශපාලනය තුළ කාන්තාවන් සඳහා වෙන් කරන ලද සියයට 25 කෝටාව නිසි පරිදි ක්‍රියාත්මක කරන්න ! ඒ සඳහා යෝග්‍ය ප්‍රචන්ඩත්වයෙන් තොර මැතිවරණ පරිසරයක් ඇති කරන්න!

තින්දු තීරණ ගැනීමේ මණ්ඩල වල වැඩ කරන කාන්තාවන්ගේ සහභාගිත්වය ඉහළ නැංවිමට ප්‍රායෝගික පියවර ගන්න ! වෘත්තිය සමිති තුළ කාන්තාවන්ට තීන්දු ගැනිමේ අයිතිය ලබා දෙන්න!

වැඩ කරන කාන්තාවන්ගේ සමාජ ගරුත්වය සහතික කිරීමට පියවර ගන්න !

වැඩ කරන කාන්තාවන්ට ප‍්‍රචණ්ඩත්වයෙන් හා ලිංගික හිංසනයෙන් තොරව රැකියාව කිරිමට සුදුසු පරිසරයක් ඇති කරන්න !

සියලුම වැඩ කරන කාන්තාවන්ට බලපාන පරිදි සය මසක මාතෘ නිවාඩු ලබා දෙන්න.

මැද පෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ජන්ද අයිතිය ලබා දෙන්න! නිදහස් වෙළඳ කලාප කම්කරු කාන්තාවන්ට ඡන්දය ප‍්‍රකාශ කිරිමේ දී තැපල් ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා දෙන්න!

නිදහස් වෙළඳ කලාප හා ඇඟලූම් කර්මාන්ත ශාලා තුළ මෑන් පවර් සේවයේ යෙදෙන කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න !

කම්කරු කාන්තාවන්ට සුරක්‍ෂිත වූ නේවාසික පරිසරයක් ඇති කරන්න !

නිදහස් වෙළඳ කලාප හා ඇඟලූම් කර්මාන්ත ශාලා තුළ මෑන් පවර් යෙදෙන දමිළ කම්කරු කාන්තාවන්ගේ ශ‍්‍රමය සූරා කෑම නවත්වන්න!

නිදහස් වෙළඳ කලාප හා ඇඟලූම් කර්මාන්ත ශාලා තුළ දමිළ කම්කරු කාන්තාවන් වෙනස් කොට සැළකීම වහාම නවත්වන්න! එහි සිංහල දෙමළ ද්වි භාෂා අයිතිය සහතික කරන්න!

වතු කම්කරුවන්ට වැඩි කරන ලද වැටුප් වහා ලබා දෙන්න!

ඇඟලූම් හා වතු කම්කරු කාන්තාවන්ට වෘත්තීය සෞඛ්‍යය අයිතීන් ලබා දෙනු  වතු කම්කරු කාන්තාවන්ගේ නිවාස අයිතිය වහා ලබා දෙන්න !

වැඩකරන ජනයාට ජයවේවා!

වැඩ කරන ස්ත්‍රීන්ට ජයවේවා!

– ලක්බිමේ මව්වරු සහ දියණියෝ

Archive

Latest news

Related news