Tuesday, July 16, 2024

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමියි: “වියදම් අයකර ගන්න”

ජායාරූපය: ගීතා කුමාරසිංහ උග්‍ර රාජපක්ෂවාදිනියකි.

මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් වැය කරන ලද මුදල් අයකර ගැනීමට කටයුතු කරන මෙන් නීතිපතිට නියෝග.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.

ඒ අනුව ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නැතැයි තීන්දුවක් ලබාදෙන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් එයට විරෝධතා ඉදිරිපත් කළ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළහ.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකරන්නේ නම් ඇයගේ මන්ත්‍රී ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේ හිමි වේ

මෙය පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ එයට මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බව ඔවුන්ගේ තර්කය වී තිබුණි.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරුන්, පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු පිළිගන්නා බව තීන්දු කළහ.

එමෙන්ම මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් රජය විසින් වැය කරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය නීත්පතිවරයාට නියෝග කළේය.

ඒ අනුව මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද එයට ඇතුලත් වන්නේද යන්න පැහැදිලි නැත.

‘ඓතිහාසික තීන්දුවක්’
අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට හැකියාව තිබෙන නමුත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අධිකරණය හමුවේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළහ.

මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද එයට ඇතුලත්ද යන්න පැහැදිලි නැත

තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත.

පෙත්සම ඉදිරිපත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකු වන ඇන්ටන් කැමිලස් ගුණසේකර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙය ඉතිහාසගත නඩු තීන්දුවක් බවය.

ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන ගීතා කුමාරසිංහගෙන් හිස්වන මන්ත්‍රී ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේට හිමිවීමට නියමිතය.

ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වන්නෙකි.

– බීබීසී  සිංහල

Archive

Latest news

Related news