Thursday, March 28, 2024

අපේ කාලයේ පුරෝගාමියකු වූ පෝල් කැස්පර්ස් පියතුමා අවසන් ගමන් යයි.

ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරයේ ආරම්භකයා වූ පෝල් කැසපර්ස් පියතුමා පසුගිය 25දා අභිවප්‍රප්ත විය. එතුමාගේ අවසන් කටයුතු 28වන සිකුරාදා සවස 05ට නුවර ලේවැල්ලේ පතීමා රිට්රීට් හවුස් හි දී සිදුකෙරේ.

මෙරට ඇවිලෙමින් තිබූ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස 1979 වසරෙහිදී ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ  ව්‍යාපාරය (මර්ජ්) ගොඩනැගීමෙහිලා පුරෝගාමිත්වය ගත් පෝල් කැස්පර්ස් දීරඝ කාලයක් එහි සභාපතිවරයා වශයෙන් මෙරට යුක්තිය සහ සාමය ඇති කරනු පිනිස මහත් දායකත්වයක් සැපයීය.

මර්ජ් ව්‍යාපාරය බිහිවුයේ විවිධ පුද්ගලයින්ගේ සහ සංවිධානයන්හි එකමුතුවක් ලෙසය. එකල මෙරට පාලකයා වූ ජේ.ආර්. ජයවර්ධන යකඩින් සහ ලෙයින් දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලිම් මර්දනය කරමින් සිටි අතර ඊට එරෙහිව නැගි සිටි සිවිල් ව්‍යාපාරය වූයේ මර්ජ් සංවිධානයයි. පෝල් කැස්පර්ස් එම ව්‍යාපාරයට නොබියව නායකත්වය දුන්නේය. ඔහු සමඟ රෙජී සිරිවර්ධන. බාලා තම්පෝ, ජෝ සෙනවිරත්න, වැනි පිරිස් ද එම සිවිල් ව්‍යාපාරයට නායකත්වය දුන්හ.

එකළ වහාම විරෝධතාවක් දැක්විය හැකි ක්‍රමය වූයේ විදුලි පණිවිඩ නොහොත් ටෙලිග්‍රෑම් යැවීමයි. උතුරෙහි හෝ නැගෙනහිරෙහි කවර හෝ නිශ්චිත මානව හිමිකම් කෙළෙසීමක් වාර්තා වූ වහාම පෝල් කැස්පර්ස් ජනාධිපති ජයවර්ධනට විදුලි පණිවිඩ මගින් විරෝධතා දක්වන ලදී. ඔහු විසින් එළෙස යවන ලද විදුලි පණිවිඩ සිය ගණනාවක් විය යුතුය.

1979 වසරෙහිදී යාපනයේ හදිසි නීතිය පැනවීමෙන් පසු රෙජී සිරිවර්ධනගේ නායකත්වයෙන් එහි ගිය මර්ජ් දූත පිරිස විසින් සකස් කරන ද වාර්තාව යාපනයේ හදිසි නිතිය 1979 නමින් පසුව පළ කරන ලදී. එය මර්ජ් ව්‍යාපාරයේ වැදගත් ආරම්භක ලියවිලි වලින් එකකි.

මර්ජ් ව්‍යාපාරයට වවුනියාවේද යාපනයේදී ක්‍රියාකාරී ශාඛා දෙකක් තිබුණි. එම ශාඛා තරමක ස්වාධීනත්වයකින් යුතුව කටයුතු කළේය.

උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් අරගල කිරීම හරුණ විට පෝල් කැස්පර්ස්ගේ අනෙක් කැපවීම වූයේ කඳුරට දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමයි.

පෝල් කැස්පර්ස් 1970 ගණන් අගභාගයෙහි මෙරට සිවිල් දේශපාලනයෙහි වෙනසක් ඇති කළ පුරෝගාමී මානව හිමිකම් ක්‍රියාධරයෙකි. ඔහු අපේ කාලයේ වීරයෙකි.

Archive

Latest news

Related news