Tuesday, April 23, 2024

අයිතීන් ඉල්ලා කළ හර්තාලයෙන් උතුර සහ නැගෙනහිර වැසේ!

ජායාරූපය: හර්තාලයෙන් පාලුවට ගිය යාපනය.

ඊයේ එනම් 27වන බ්‍රහස්පතින්දා උතුරු නැගෙනහිර දෙමළ ජනයා විසින් පවත්වන ලද හර්තාලයක් නිසා එම පෙදෙස්හි ජන ජීවිතය සහමුලින්ම වාගේ අඩාල විය. හර්තාලය කැඳවන ලද්දේ දෙමළ ජාතික සන්ධානයට පිටින් ක්‍රියාත්මක වන  සිවිල් සමාජ කණඩායම් විසිනි. ඊට යාපන සරසවි ශිෂ්‍ය සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති බොහෝ ගණනාවක් ද සහයෝගය ප්‍රකාශ කළේය.

පසුව එයට උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වන  දෙමළ පක්ෂ සියල්ළම වාගේ සහයෝගය ප්‍රකාශ කළේය.

හර්තාලයේ අරමුණ වන්නේ දින පණහට තරම් කාලයක් මුළුල්ලේ සිය ඉඩම් සහ අතුරුදහන්වූ දරුවන් පිළිබඳව උද්ඝෝෂණයන්හි යෙදී සිටින සිය ජනතාවට සහයෝගය දැක්වීම බව උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානියකු සහ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වන මාවෙයි සේනාධිරාජා හර්තාලයට සහයෝගය ප්‍රකාශ කරමින් කියා සිටියේ අතුරුදහන්වූවන්ගේ පිලිබඳව, හමදාව විසින් අල්ලාගෙන ඇති දෙමළ ජනතාවගේ ඉඩම් පිළිබඳව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඉතා දුර්වල බවයි. එමෙන්ම මෙම හර්තාලය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනාව ලංකාණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කිරීමක් බවද සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.

හර්තාලය සහමුලින්ම සාර්ථක වී තිිබුණි.

ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ ලේකම් මෙන්ම නැගෙහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ක්‍රිෂ්ණපිල්ලෙයි තුරෙයිරාජසිංගම් ප්‍රකාශ කර ඇත්තේ “අතුරුදහන්වූන්ගේ ඥාතීන්, අතුරුදහන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙස ඉල්ලා සිටිමින්, රැකියා විරහිත උපාධිධාරීන් තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්, හමුදාව විසින් අල්ලාගෙන ඇති තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් උතුරු නැගෙනහිර ජනතාව විසින් මාස දෙකක කාලයක සිට අඛණ්ඩව පවත්වාගෙන යන උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන, මෙම උද්ඝෝෂණවල යෙදි සිටින ජනතාවගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදිය යුතු” බවයි.

නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශයන්හි හැර උතුරු නැගෙනහිර සම්ස්තයක් වශයෙන් හර්තාලය සාර්ථක වී තිබු බව මාධ්‍ය වාර්තා පෙන්වයි.

හර්තාලය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය මංඩළ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ හර්තාලයෙන් ආණ්ඩුවට ප්‍රශ්ණයක් නැති බවත් ඔවුන් තව තවත් හර්තාල් පැවැත්විය යුතු බවත්ය.

Archive

Latest news

Related news