Tuesday, July 16, 2024

දිවුලපිටිය පස් ප්‍රශ්ණය: කියුබ් 500 ක බලපත්‍රයෙන් පස් කියුබ් 61,000 ක් කපලා

(පුස්තකාල ජායාරූපයකි)

සියළු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ පස් ජාවාරම්කරුවන්ගේ බලපත් තහනම් කළ යුතුයි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයට සම්බන්ධ ග්‍රීන් හාර්ට්ස් ව්‍යාපෘතිය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පස් කියුබ් 500 කට අඩු ‘බී’ ශ්‍රේණියේ කුඩා පරිමාන පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් යොදා ගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරුවන් පස් කියුබ් 61,000 ක් කපා ඉවත් කොට ඇතැයි අද දිවුලපිටියේ සංචාරය කළ පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් අනවරණය කොට ඇතැයි ද එම නිවේදනය වැඩි දුරටත් කියයි.

එහි තවදුරටත් මෙසේ සදහන් වේ.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව දිවුලපිටිය සහ කටාන පස් ජාවාරම සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැමිණි 38 ක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය, දිස්ත්‍රික් ලේකම්,  ප්‍රාදේශීය ලේකම් හා මධ්‍ය පරිසර අධිකාරය වෙත යොමු කොට ඇත.  ඒවා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුවී නොමැති අතර වසර ගණනක් එකම ස්ථානයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් මෙම පැමිණිලි බහුතරයක් යට ගසා ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසූවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පස්, වැලි, මැටි සහ බොරළු ජාවාරම හේතුවන් පුද්ගල ඝාතන 40 කට වැඩි සංඛාවක් සිදුව ඇති බවට සැක කරන බවයි.  බොරළු සමන්, බොරළු අජිත්, පස් රුවන්, වැලි සමන් මෙයට මාස 8කට පෙර ඝාතනය වූ ප්‍රියත්න දිවුලපිටිය-මිනුවන්ගොඩ-කටාන ආශ්‍රිත පස් ජාවාරමේ ප්‍රතිඑල වෙති.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වරින්වර සෘජු සම්බන්ධතා ඇති කර ගන්නා පිරිස් විසින් මෙම ජාවාරම සිදු කරති. මුතුරාජවෙල ගොඩකිරීම සදහා පස් සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවන් වී ඇත්තේ දිවුලපිටිය එජනිස දේශපාලනඥයෙකු සහ වත්තල එජාප අමාත්‍යවරයෙකු ගේ සමීපතම ඥාතීන් හා ආධාරකරුවන් පිරිසකි.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍ය පරිසර අධිකාරියේ නිලධාරීන් අද දිවුලපිටිය පස් කැපීමේ ස්ථානය නිරීක්ෂණය කළේය.  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ‘ග්‍රීන් හාර්ට්ස්’ වැඩසටහනේ අධ්‍යක්ෂ අරවින්ද රත්නායක පැවසුවේ සියළු පරිසර නීති උල්ංඝණය කරමින් සිදු කර ඇති මෙම පස් කැපීමේ ජාවාරම අද දිනයේ තහනම් නොකරන්නේ නම් සිකුරාදා දිනයේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරනු ලබයි.

Archive

Latest news

Related news