Saturday, April 27, 2024

දෙවරක්ම කුරුමානම වැරදුනු සුමන්තිරන් ඝාතන සැලැස්මේ සුලමුල – ඩීබීඑස් ජෙයරාජ්

ජායාරූඵය: එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරා පිරිස් පිරිස් පැ ගමනක.

නල්ලවන් (සැබෑ නම නොවේ) උතුරේ ගම්මානයක ජීවත් වන දෙමළ තරුණයෙකි. 2009 මැයි මාසයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් පරාජය කැරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු වන ඔහු කාලයක් තිස්සේ නිවාස අඩස්සියේ සිට පුනරුත්ථාපනය කිරීමෙන් පසු නිදහස ලැබූ අයෙකි. නල්ලවන් හට පශ්චාත් යුද සමයේ උතුරේ ජීවත්වීම අතිශයින් දුෂ්කර වූයේ හොද ආදායමක් ලබාගත හැකි රැකියාවක් ඔහුට ලබාගත නොහැකි වූ නිසාය. විදෙස් ගත වීමට ඔහු අත මුදල් නොතිබිණ. වයස්ගත නැන්දනියක සමග ඇයගේ නිවසේ වාසය කළ නල්ලවන් තම දිරිසරි කරගත්තේ එදිනෙදා කුලී වැඩක නිරතවය.

මාස්ටර් යැයි තමාම හදුන්වාගන්නා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු නල්ලවන් සොයා පැමිණෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේදීය.

නොවැම්බර් 26 වැනිදා කිලිනොච්චිය අවට ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ ධජය ප්‍රදර්ශනය කරන ලෙස ඔහු නල්ලවන්ගෙන් ඉල්ලා සිටී. පසුදා, එනම් නොවැම්බර් මස 27 වැනිදා යනු එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු දිනයයි. නල්ලවන්ගේ සහය සදහා රුපියල් 5000 ක මුදලක් ලබාදීමට මාස්ටර් පොරොන්දු දෙන්නේය. අතමිට හිගකමින් පීඩා විදින නල්ලවන් මාස්ටර් පවසන අයුරින් කටයුතු කිරීමට කැමැති වෙයි. කාරිය අවසන් වූ පසු පොරොන්දු වූ පරිදිම නල්ලවන් හට මුදල් ලබාදීමට මාස්ටර් කටයුතු කරන්නේය.

දින කිහිපයකට පසු මාස්ටර් නැවත වරක් නල්ලවන් සොයා පැමිණියේය. මෙවර ඔහු සමග අතක් විකෘතව ගොස් තිබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්ද විය. නල්ලවන් වෙත ඔවුන් රැගෙන විත් තිබුණේ යෝජනාවකි. තමන් හා නව මෙහෙයුමකට එක්වන ලෙස නල්ලවන්ට ආරාධනා කළ ඔවුහු වැදගත් දෙමළ දේශපාලනඥයකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් තිබෙන බව කීවෝය. මේ සදහා නල්ලවන් වෙත රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාදෙන බවද ඔවුහු පැවසූහ. ගැටලුවක් වුවහොත් ඉන්දියාව වෙත පැන යෑම සදහා මාර්ගයක්ද, අවශ්‍ය වුවහොත් එතැන සිට අග්නිදිග ආසියාතික රටක් ඔස්සේ යුරෝපය වෙත යෑමටද පහසුකම් සළසා දෙන බවට ඔවුහු පොරොන්දු වූහ. විදෙස් ගතව සිටින කොටි නායකයන්ට මෙම මෙහෙයුම දියත් කිරීමට අවශ්‍ය බවත්, නල්ලවන්ට ගෙවීම් සිදුකිරීම සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන් සහතික කරන බවත්, දෙදෙනා වැඩිදුරටත් පැවසූහ. මෙහිදී කතා කළ නල්ලවන්, තමාට අවසන් තීරණයකට එළැඹිය හැක්කේ ඝාතනය කළ යුතුව තිබෙන්නේ කවුරුන්දැයි දැනගත් පසුව බව කීවේය. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික දෙපළ එම නම හෙළි කළ විට නල්ලවන් තැතිගත්තේය.

නල්ලවන් ඝාතනය කළ යුතු වූයේ දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිතියාපාරනම් ඒබ්‍රහම් සුමන්තිරන්ය. ඔහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. සුමන්තිරන්ගේ දේශපාලන ගමන පිළිබද මෑතක සිට විමසිල්ලෙන් සිටින බව බවත්, දෙමළ ජාතිකයන්ටද ශ්‍රී ලංකාවේ සම අයිතිවාසිකම් දිනා දීමට ඔහු ඉටුකරන මෙහෙය ප්‍රශංසනීය බවත් නල්ලවන් කීවේය. සුමන්තිරන්, සම්බන්ධන් හා සේනාතිරාජා, ප්‍රජාතාන්ත්‍රිකව දෙමළ ජාතිකයන්ට නැතිවී තිබෙන අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසුවේය. අනෙක් අතට, නීතිඥයකු ලෙස, සුමන්තිරන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් රැසකගේ ගැටලු විසදාදීමට ඉදිරිපත්ව සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි පුද්ගලයකුට අත තැබීම හමුවේ දැනට හුයකින් රැදී පවත්නා සාමය ගිලිහී යනු ඇති බවත්, ඉතා ප්‍රචණ්ඩ මර්දනයකට මුහුණදීමට දෙමළ ජාතිකයන්ට සිදුවනු ඇති බවත්, නල්ලවන් කීවේය.

අනෙක් දෙදෙනා ඊට එකඟ නොවූහ.සුමන්තිරන් යනු ද්‍රෝහියකු බවත්, ඔහු මරණයට පත්විය යුතු බවත් ඔවුහු කීවෝය. එහෙත් නල්ලවන් තම මතයේ ස්ථාවරව රැදී සිටිමින්, කිසිදු මනුෂ්‍යයකුගේ ජීවිතය විනාශ කිරීම වරදක් බවත්, මෙතැනදී සුමන්තිරන් මරණයට පත්කිරීම හා එහි වෙනසක් නැති බවත් පැවසුවේය. නල්ලවන්ගේ දැඩි ස්ථාවරය දුටු අනෙක් දෙදෙන හරි අපි මේ අදහස අත්හරිනවා යැයි පැවසූහ. කතාව අවසන් බව නල්ලවන්ට කියා සිටි ඔවුහු මේ සිදුවූ සියල්ල අමතක කර දමන ලෙස පැවසූහ.

සුමන්තිරන්: එල්ටීටීඊ හිතවාදී පිරිස් ඔහුට සළකකන්නේ ද්‍රෝහියකු ලෙසය.

කාලයක් ගතවුවද කිසිදු දෙයක් නොඇසුණු තැන නල්ලවන් සිත සනසා ගත්තේ සැළැස්ම අත්හැර දමන්නට ඇතිය සිතාය. එහෙත් සති කිහිපයකට පසු ඔහුට අහම්බයෙන් මෙන් මාස්ටර් හමුවිය. නල්ලවන් ඔහු අමතමින්, කොහොමද වැඩ? යැයි විමසුවේය. මොනවා වුණත් වැඩ ටික වෙනවා, ඔහුට ලැබුණු පිළිතුර විය. මේ හමුවේ නල්ලවන් කලබලයට පත්විය.ඔවුන් සුමන්තිරන් ඝාතනය කිරීමේ සැළැස්ම ක්‍රියාත්මක කරනවාවත්ද? ඔහු කරදර විය.
දින කිහිපයක් මේ ගැන සිතා සිත වෙහෙසට පත් කිරීමෙන් අනතුරුව නල්ලවන් තීරණයක් ගත්තේය. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කිරීම සුදුසු බව ඔහුගේ තීරණය විය. තමා බරපතළ අවදානමක් ගන්නා බව නල්ලවන් දැන සිටියේය. එහෙත් මේ බව දැනුම්දීම තම යුතුකම වන බව ඔහු සිතුවේය. පොලිසිය හා සබදතා ඇති දුරින් ඥාතියකු වන පුද්ගලයකු හමුවීමට ගිය නල්ලවන් සියල්ල ඔහු හමුවේ අනාවරණය කළේය. නල්ලවන්ගේ කතාව අසා කලබලයට පත්වූ ඔහු අප මෙය වහාම පොලිසියට දැනුම්දිය යුතුයැයි කීවේය. එහි ප්‍රතිඵලයක් ලෙස නල්ලවන් හා ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ වවුනියාව බාර නිලධරයන් හා හමුවක් සංවිධානය කැරිණ. එහිදී සියල්ල අනාවරණය කළ නල්ලවන් තම සිතේ ඇති සැක සංකාද පවසා සිටියේය. මෙය සිදුවූයේ 2016 දෙසැම්බර් 23 වැනිදාය.

මුලදී නල්ලවන්ගේ කතාව ගැන සැක ඉපිදවූවද ප්‍රශ්න කිරීම් මගින් ඔහු පවසන දෙය සත්‍ය බව තහවුරු කරගැනීමට ත්‍රස්ත විමර්ශන නිලධරයෝ සමත්වූහ. ඔවුහු වහාම කොළඹ ත්‍රස්ත විමර්ශන මූලස්ථානය අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් හට ජීවිත අවදානමක් ඇති බව දැනුම් දුන්හ. මේ ආකාරයට ජනාධිපති ලේකම් කාර්යාලයද දැනුම්වත් කැරිණ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ශාන්ත බණ්ඩාර දෙසැම්බර් 24 වැනිදා සුමන්තිරන් දුරකතනය ඔස්සේ අමතන විට, ඔහු සිටියේ කරවෙඞ්ඩි හි පැවැත්වෙන සංස්කෘතික උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සදහා ලැබුණ ඇරියුම පිළිගෙන යාපනය බලා යමින්ය. ඝාතනය කිරීමේ අවදානමක් පවතින හෙයින් නැවත හැරී කොළඹ බලා පැමිණෙන ලෙස ශාන්ත බණ්ඩාර, සුමන්තිරන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඒ වන විට වවුනියාවද පසුකර සිටි හෙයින් අවදානම ගණනකට නොගෙන සැළසුම් කරගෙන සිටි අයුරින් යාපනය බලා යෑමට සුමන්තිරන් තීරණය කළේය.

යාපනය වෙත පැමිණි සුමන්තිරන් කරවෙඞ්ඩි බලා ගියේය. ආරක්ෂාව තර කර තිබෙන බවත්, බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ ප්‍රදේශය සියුම් ලෙස පරික්ෂාවට ලක් කර තිබෙන බවත් ඔහුට දැනගත හැකිවිය. එදින සාමාන්‍ය පරිදි ගෙවී ගියේය. නත්තල ගත කිරීමට කොළඹ පැමිණි සුමන්තිරන් අනතුරුව නිවාඩුව ගත කිරීම සදහා තම පවුලේ සාමාජිකයන් සමග දකුණු ආසියාතික රටක් බලා ගියේය. මෙම සංචාරය සැළසුම් කර තිබුණේ සුමන්තිරන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල වීමට බොහෝ කලකට පෙරය. දෙමළ ජාතික සන්ධානයේ නිල ප්‍රකාශකයා සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන උපදේශකයා වන සුමන්තිරන්, තම පවුලේ සාමාජිකයන්ද සමග නව වසරේ පළමු සතියේ නැවත දිවයිනට පැමිණියේය.

මේ අතර ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව නල්ලවන්ට උපදෙස් දෙමින්, නිහඩව සිටින ලෙසත්, සුපුරුදු පරිදි කාලය ගතකරන ලෙසත් කීවෝය. නල්ලවන් හමුවට පැමිණි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙපළ හදුනාගැනීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු නිලධරයන්ට හැකිව තිබූ අතර ඔවුන්ගේ කටයුතු ඒ වන විටත් පැවතියේ රහසිගතව විමර්ශනය කැරෙමින්ය. පොලිසියේ සහ හමුදාවේ බුද්ධි අංශ එක්ව උතුරු හා නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි ඔත්තුකරුවන්ගේ, තොරතුරු සපයන්නන්ගේ සහ නිලධාරීන්ගෙන් සැදුම් ලත් බුද්ධි ජාලයක් ස්ථාපිත කර තිබිණ. නල්ලවන් හමුවට පැමිණි සාමාජිකයන් දෙදෙන අවධානයෙන් සිටිය යුතු පුද්ගලයින් ලෙස හදුන්වාදී තිබූ අතර ඔවුන්ගේ කටයුතු දිවා රෑ වෙනසක් නොමැතිව අධීක්ෂණය කැරිණ. ජනවාරි 12 හා 13 දෙදින, මේ දෙපළගේ හැසිරීම සැකසහිත විය. අවසරයක් ලබා නොදී වහාම පියවර ගැනීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව තීරණය කළේය. නිල ඇදුමින් සැරසුනු දෙදෙනෙකුගෙන්, සිවිල් ඇදුමින් සැරසුණු එක් අයෙකුගෙන්, සමන්විත වුණු තිදෙනෙකුගේ පොලිස් කණ්ඩායමක් ජනවාරි 14 සහ 15 රාත්‍රියේ කිළිනොච්චියේ, තිරුවයියාරුහි විල්සන් වීදියේ පිහිටි නිවසක් බලා ගියෝය. තමන් වව්නියාව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස හදුන්වාදුන් ඔවුන් නිවසේ සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වූ 32 හැවිරිදි මුරුගයියා තවේන්තන් අත්අඩංගුවට ගත්තේය. 2009 මැයි 18 වැනිදා ඕමන්තේ හිදී හමුදාවට යටත්ව තිබෙන තවේන්තන් පුනරුත්ථාපනය ලැබීමෙන් අනතුරුව නිදහස ලබා ඇත්තේ 2010 මාර්තු මස 7 වැනිදාය. වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා ඔහු වව්නියාවට ගෙන යනු ලැබීය.

2017 ජනවාරි මස 16 වැනිදා කිළිනොච්චි නගරයේ වෙළද ආයතනයක් වෙත ගිය ත්‍රස්ත විමර්ශන ඒකක කණ්ඩායමක් එහි සේවය කරමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වූ 37 හැවිරිදි කරලාසිංහම් කුලේන්ද්‍රන් හෙවත් මාස්ටර් අත්අඩංගුවට ගත්තේය. ඔහුද කිළිනොච්චියේ තිරුවයියාරු හි පදිංචිකරුවක් විය. ඔහුද වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා වව්නියාව බලා ගෙන යනු ලැබීය.

32 හැවිරිදි මුරුගයියා තවේන්ද්‍රන් සහ 37 හැවිරිදි කරලාසිංහම් කුලේන්ද්‍රන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධරයන්ට හැකිවිය. එම තොරතුරු අනුව කිළිනොච්චියේ, ඌටෲපුලම් හි පිහිටි කුලේන්ද්‍රන් හෙවත් මාස්ටර්ගේ ඥාතියකුට අයත් නිවසක් වැටලූ ඔවුහු එහි තිබී ක්ලේමෝ වර්ගයේ බෝම්බ දෙකක් සොයා ගත්හ. එම එක් බෝම්බයක් වඩාත් බලසම්පන්න විය. ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වූ තොරතුරු ප්‍රකාරව ත්‍රිකුණාමලයේදී සහ තලායඩියේදී තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමටද ත්‍රස්ත විමර්ශන දෙපාර්තමෙන්තුවේ නිලධරයෝ කටයුතු කළෝය.

චන්ද්‍රසේකරම් වාසුදේවන් හෙවන් මාතන් ත්‍රිකුණාමලය අලස් ගාඞ්න් හි නිවසක සිටියදී අත්අඩංගුවට ගැනිණ.කිලෝ දෙකක බරින් යුතු වූ කේරළ ගංජා පාර්සල් දෙකක්ද මෙහිදී සොයාගත හැකිවිය. නිවසේ සිටි අඹුසැමි යුවළක්ද අත්අඩංගුවට ගැනුණු අතර මත්කුඩු ළග තබාගැනීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව පැමිණිලි ගොනු කැරිණ. වාසුදේවන් හෙවත් මාතන් ද පුනරුත්ථාපනය කැරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වූ අතර ඔහු රදවාගත් ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධරයෝ ඔහුගෙන්ද ප්‍රශ්න කිරීමට ගත්තෝය.

සතරවැන්නා අත්අඩංගුවට ගැනුණේ යාපනය අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරයේ මුරුතන්කර්නි ප්‍රදේශයේ සිටියදීය. පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන ඔහුගේ නම මාරියනායගම් ලුවිස් අජන්තන් විය. ත්‍රීරෝද රථ රියදුරකු ලෙස ඔහු තම ජීවිකාව සරිකරගමින් සිටියේය. ජානා යන ආදර නමින්ද ඔහු හැඳින්විය. එල්.ටී.ටී.ඊ සාමාජිකයකුව සිටියදී ඔහුට ලබාදී තිබූ නම වූයේ කඩලවන්ය. අජන්තන්ගේ නිවසේ තිබී පිපිරුම් ද්‍රව්‍ය හයක් සහ තවත් උපකරණ සොයාගැනීමට පොලිසියට හැකිවිය. කේරළ ගංජා කිලෝ අටක – දහයක ප්‍රමාණයක්ද එහිදී සොයාගැනීමට හැකිවීම විශේෂ විය.

තිරුවයියාරු පදිංචිකරුවන් වීම නිසාම තවේන්දන් හා කුලේන්ද්‍රන් දෙදෙනා නිතර එකිනෙකා හමුවූහ. වාසුදේවන්ද නිතර කිළිනොච්චියට පැමිණ තිබෙන අතර ඇතැම් අවස්ථා වල සති කිහිපයක් එකදිගට නැවතී සිට ඇත. ගෙවුණු තයිපොංගල් උත්සව සමයේද ඔහු සිට ඇත්තේ කිළිනොච්චියේය. කිළිනොච්චියට පැමිණි අවස්ථාවලදී වාසුදේවන් නවාතැන් ගෙන ඇත්තේ ක්ලේමෝ බෝම්බ හමුවූ ඔට්රුපුලම් හි පිහිටි නිවසේය. විමර්ෂකයින්ට පැහැදිලි වූ ආකාරයට අත්අඩංගුවට ගැනුණු සිව්දෙන ඉන්දියාවේ සිට තාල්යාඩි වෙරළ කරා ගෙන එන කේරළ ගංජා ත්‍රිකුණාමලයට ගෙනවිත් බෙදා හරින ජාවාරමකද නියැළී සිට ඇත. වාසුදේවන් යනු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති තැනැන්තා බවද හදුනාගත හැකිවිය.

සම්පූර්ණ ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව වාසුදේවන්, තවෙන්න්තන්, කුලේන්ද්‍රන් සහ අජන්තන්, ජනවාරි මස 20 වැනිදා කිළිනොච්චි දිස්ත්‍රික් විනිසුරු ඒ.ඒ. ආනන්දාර්ජාන් මහතා හමුවට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිළධරයෝ කටයුතු කළෝය. ත්‍රස්ත විරෝධී පණත ප්‍රකාරව ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුව නොතිබීම මෙහිදී විශේෂ විය. ඒ වෙනුවට, පුපුරණ ද්‍රව්‍ය හා මත්කුඩු ළග තබා ගත්තේයැයි ඔවුන්ට චෝදනා නගා තිබිණ. සුමන්තිරන් ඝාතන තැතක නියැළී ඇතැයි චෝදනා නැගී නොතිබූ අතර, ඒ වෙනුවට දේශපාලනයේ අතිශයින් වැදගත් පුද්ගලයකුට පහර දීමට සැළසුම් කර ඇතැයි සදහනක් විය. සිව්දෙනාම පිස්කල් බාරයට පත් කැරනු අතර, දැනට ඔවුන් රදවා සිටිනුයේ අනුරාධපුර බන්ධනාගාරයේය.

ත්‍රස්ත විරෝධී පනත ප්‍රකාරව චෝදනා ගොනු නොකෙරුණේ මන්දැයි යන්න තවමත් පැහැදිලි නැත. තවත් අපහැදිලි කරුණක් වන්නේ සුමන්තිරන් ඝාතන තැතක් සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අනාවරණයව තිබියදී, ඒ වෙනුවට අතිශයින් වැදගත් දේශපාලනඥයකු ගැන සදහන් කිරීමය. ත්‍රස්ත විරෝධී පනත ප්‍රකාරව කටයුතු නොකිරීමට හේතුව විය හැක්කේ දැනට පැරණි යැයි සැලකෙන එම පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් හදුන්වාදීමේ සැළැස්මක් රජයට තිබීමය. අනෙක් කරුණ විය හැක්කේ විදෙස්ගතව වාසය කරන එල්.ටී.ටී.ඊ නායකයන්ගේ සබදතාද මනාව අනාවරණය කැරෙන, පුළුල් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවට අවශ්‍ය වීමය.

මෙහි තවත් අරමුණක් තිබෙන්නට පිළිවන. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂය වත්මන් රජයට එල්ල කරන ප්‍රබල චෝදනාවක් වන්නේ පනත් බලාත්මක කිරීම් නිසා, බෙදුම්වාදී කණ්ඩායම් වලට හිස එසවීමටත්, ඒ හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වීමටත් රජය දොරටු විවර කර ඇතැයි නගන චෝදනාවය. මේ හමුවේ සුමන්තිරන් ඝාතන තැත දඩමිීමා කරගනිමින් එල්.ටී.ටී.ඊ ය නැවත හිස ඔසවා ඇතැයි කියමින් රජයට ප්‍රබලව පහර ගැසීමට විපක්ෂයට අවස්ථාව ලැබෙන්නට තිබිණ. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසිය අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ තාර්කික ස්වභාවය කුමක් වුවත්, බත් පිගානක සම්පූර්ණ වට්ටක්කා ගෙඩියක් සැගවීමට උත්සාහ කිරීමේ නිරර්ථක වෑයම ගැන කියන පිරුළ මේ අවස්ථාවේ සිහි කළ යුතුය.

ආරක්ෂක කටයුතු හා සම්බන්ධ ආරංචි මාර්ග වලින් පැවැත්වෙමින් තිබෙන විමර්ශන කටයුතු හා අදාළ තොරතුරු කිහිපයක් ලබාගැනීමට මට හැකිවිය. මෙම සිව්දෙනාගේ කණ්ඩායම පවසා තිබෙන ආකාරයට ඔවුන්ට තොරතුරු, මුදල් හා උපදෙස් ලබාදෙමින් ඔවුන් මෙහෙයවා ඇත්තේ විදේශයන්හි වෙසෙන කොටි සාමාජිකයන් තිදෙනෙකි. ඔවුහු නමින් වෙට්රි, මාරන් සහ අමුතන්ය. ඔවුන් තිදෙන නෝර්වේ රාජ්‍යය පදනම්ව ක්‍රියාත්මක වන පෙරින්බනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් යටතේ වන එල්.ටී.ටී.ඊ කණ්ඩායමේ සාමාජිකයන් බවට සැක කෙරේ. මාරන් ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන අතර, වෙට්රි ක්‍රියාත්මක වන්නේ ඕස්ටේ්‍රලියාවේ සිටය. වාර්තාවන ආකාරයට අමුතන් වාසය කරන්නේ මලයාසියාවේය. ශ්‍රී ලංකා රහස් පරික්ෂකයන් සැක කරන ආකාරයට අමුතන් යනු අන් කිසිවෙක් නොව හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය බුද්ධි අංශ නායක චිරන්ජීනවී මාස්ටර්ය. ඔහුගේ නියම නම වන්නේ ජීවරත්නම් ජීවකුමාර්ය.

අත්අඩංගුවට ගත් සිව්දෙනා ලබාදුන් ප්‍රකාශ වල අන්තර්ගතය හා තොරතුරු අඩු වැඩි වශයෙන් එකිනෙකට සමානය. සිව්දෙනම ප්‍රශ්න කැරුණේ වෙන් වෙන් වශයෙන්ය. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ.සුමන්තිරන් ඝාතන තැතක් ඔවුන් හෙළි කළ තොරතුරු වලින් අනාවරණය විය. විදේශයන්හි වාසය කරන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සමග මෙම සිව්දෙන සබදතා පවත්වා ඇති බවද පැහැදිලිව පෙනී ගියේය. එහෙත් රහස් පරික්ෂකයන් මවිතයට පත් කළේ එය නොව සුමන්තිරන් ඝාතන සැළැස්ම දියත් කිරීමට හැකියාව තිබියදී එය අදිසි බලවේගයක් නිසාවෙන් හෝ දෛවයේ හදිසි වෙනසකින් හෝ, ව්‍යර්ථ වීමය. මෙය දකින ආකාරය එකිනෙකාට වෙනස් විය හැකිය.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස එම්.ඒ. සුමන්තිරන්ගේ අධීක්ෂණයට යටත් වන්නේ උඩුප්පිඩි සහ පේදුරු තුඩුව යන ඡන්ද කොට්ඨාසයය. මෙම ඡන්ද කොට්ඨාස ද්විත්වයෙන් සැදුම් ලබන තනි ප්‍රදේශය යාපනයේ වඩමාරච්චි කලාපය ලෙස හැදින්වේ. උඩුප්පිඩි සහ පේදුරු තුඩුව ඡන්ද කොට්ඨාස යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන තුනකි. ඒවා නම් මාරුතන්කර්නි, කරවෙඞ්ඩි සහ පේදුරු තුඩුවය. වඩමාරච්චි නැගෙනහිර වෙරළ තීරයේ වෙරළාසන්න ගම්මාන බොහෝමයක් පිහිටා ඇත්තේ මාරුතන්කර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. යාපනයේ අනෙක් වෙරළාසන්න ගම්මාන හා සාපේක්ෂව මෙම ප්‍රදේශය පවතින්නේ ඌන සංවර්ධිත මට්ටමකය. මේ නිසා සුමන්තිරන් තම කාලයෙන් වැඩි කොටසක් සහ තම ශ්‍රමයෙන් වැඩි කොටසක් වැය කරනුයේ මෙහි වාසය කරන ජනතාවගේ අවශ්‍යතා සපුරා දීම වෙනුවෙනි. එනිසාවෙන්ම උතුරේ සිටින අවස්ථා වල මාරුතන්කර්නි වෙත ඔහු නිතරම පැමිණේ.

මාරුතන්කර්නි කොළඹ සිට කිලෝමිීටර 306 ක දුරකිනුත්, යාපනය නගරයේ සිට කිලෝමිීටර 43 ක දුරකිනුත්, පේදුරු තුඩුව නගරයේ සිට කිලෝමිීටර 28 ක දුරකිනුත් පිහිටා ඇත. බී වර්ගයට අයත් මාර්ග දෙකකින් මාරුතකර්නි වෙත ළගාවිය හැකිය. ඉන් එකක් වන්නේ බී 371 ක නම් වන කිලෝමිීටර 28.96 කින් යුතු වන පේදුරු තුඩුව – මාරුතකර්නි මාර්ගයයි. අනෙක වන්නේ කිලෝමිීටර 7.48 කින් යුතු වන බී 402 නම් සෝරන්පට්රු – තාල්යාඩි මාර්ගයයි. ඒ 09 අධිවේගී මාර්ගය ලෙස හැදින්වෙන යාපනය – නුවර මාර්ගයේ පුදුකුට්ටු චන්දි නැතිනම් පුදුකාඩු හන්දියෙන් නැගෙනහිර දෙසට දිවෙන මාර්ගය වන්නේ මෙම සෝරන්පට්රු – තාල්යාඩි මාර්ගයයි. පොල් වතු, ළදු කැළෑ, තෘණ බිම් සහ කුඹුරු මැදින් දිවෙන මෙම මාර්ගය අවට ප්‍රදේශයේ ජනගහණය ඉතාම අවමය. පුදුකාඩු හන්දියේ සිට නැගෙනහිර දක්වා දිවෙන මෙම මාර්ගයේ තාල්යාඩිය දක්වා ගමන් කිරීමෙන් මාරුතන්කර්නි හන්දිය වෙත පැමිණිය හැකිය. මාරුතන්කර්නි ඇත්තේ තාල්යාඩියට යාබදවය. යාපනයේ සිට මාරුතන්කර්නි වෙත පැමිණෙන බොහෝ දෙනෙක් ඒ සදහා බී 371 මාර්ගයට වඩා මෙම බී 402 මාර්ගය භාවිතා කිරීමට පෙළඹිී සිටිති. මාරුතන්කර්නි වෙත පැමිණීමට සුමන්තිරන් භාවිතා කරන්නේද මෙම මාර්ගය ය.

ආරක්ෂක අංශ හා සමිීප ආරංචි මාර්ග ලබාදුන් තොරතුරු වලට අනුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිව්දෙනාගේ කණ්ඩායම සුමන්තිරන් ඝාතනය කිරීමට සැළසුම් කර ඇත්තේ ඔහු මෙම මාර්ගය ඔස්සේ මාරුතන්කර්නි බලා යමින් සහ එමින් සිටින අවස්ථාවකය. ජන ශුන්‍ය ප්‍රදේශයක් හරහා තනි කෙළින් දිවෙන මාර්ගයත්, දෙපස ඇති ඝණ වන ආවරණයත් වාහනයක් ඉලක්ක කර බිම් බෝම්බයක් පුපුරුවා හැරීමට ඉතාම සුදුසුය. ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර සුමන්තිරන් ඝාතනය කිරීමට මෙහෙයුම් දෙකක් සැළසුම් කර තිබී ඇත. මෙම මෙහෙයුම් දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක කිරීමට ඔවුනට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ පාලනයෙන් පරිබාහිර හේතු නිසාවෙනි.

පළමු අවස්ථාවේදී නැගෙනහිර වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2016 දෙසැම්බර් 12 වැනිදා මාරුතන්කර්නි හි සංවිධානය කර තිබූ සංස්කෘතික උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව සිට ඇත්තේ සුමන්තිරන්ය. උත්සවය ආරම්භ වීමට නියමිතව තිබී ඇත්තේ පස්වරු හතරටය. ඝාතකයෝ ඔහු එන තෙක් සෝරන්පට්රු – තාල්යාඩි මාර්ගයේ මගරැක සිට ඇත. එහෙත් සුමන්තිරන් රැගත් වාහනය එදින මාර්ගයේ ගමන් කර නොමැත. ඒ හමුවෙ ඔවුන් විශ්වාස කර ඇත්තේ සැළසුම් කර තිබුණද, සුමන්තිරන් එදින උත්සවයට සහභාගී නොවන බවය. එසේවුවත් ඔවුන් අතිශයින් විමතියට පත්ව ඇත්තේ සුමන්තිරන් උත්සව භූමියට පැමිණ, සැළසුම් කර තිබූ අයුරින්ම උත්සවයට සහභාගීව ඇති බව දැනගැනීමට හැකිවීමත් සමගය.

දෙවැනි අවස්ථාව සනිටුහන්ව ඇත්තේ 2017 ජනවාරි මස 17 වැනිදාය. තාල්යාඩි වෙරළ තීරයේ මුහුදු ජලය පිරිසුදු කිරීමේ කර්මාන්තශාලාවක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා යෝජනාවක් ඉදිරිපත්ව ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇත්තේ මිශ්‍ර අදහස් වන අතර, ඇතැම්හු එයට සහය දක්වන විට ඇතැමුන් එයට විරෝධය දක්වමින් සිටින්නෝය. අනෙක් අතට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන තොරතුරු ගැටලුකාරීය. එනිසාවෙන්ම මේ පිළිබදව සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණයක්, ජන හමුවක් ජනවාරි 13 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ. ක්ෂේත්‍රය පිළිබද දැනුමැති බොහෝ දෙනකු මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබූ අතර, හමුවේ ප්‍රධානීත්වය හිමිව තිබූයේ සුමන්තිරන්ටය. මෙය දැනගත් ඝාතකයෝ සූදානමින් සිට ඇත්තේ බී 402 මාර්ගයේ සුමන්තිනර්ගේ රිය ගමන් කරන විට එය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැර දෙමළ සන්ධාන යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීමටය. එහෙත් මෙවරද ඔවුන් අපේක්ෂාවෙන් සිටි පරිද්දෙන් සුමන්තිරන් සෝරන්පට්රු – තාල්යාඩි මාර්ගයේ පැමිණියේ නැත. සුමන්තිරන් තම යාපන සංචාරය හදිසියේම අවලංගු කර තිබිණ.

අනපේක්ෂිත වෙනස් කිරීම් නිසා නොවන්නට මෙම අවස්ථා දෙකෙන් කවර අවස්ථාවකදී හෝ සුමන්තිරන් ඝාතනය වන්නට හොදින්ම ඉඩ තිබුණු බව ඉතාම පැහැදිලිය. සුමන්තිරන් ඉලක්ක කර කවර අන්දමේ ප්‍රහාරයක් එල්ල වනු ඇතිදැයි ඔහු හෝ රජයේ ආරක්ෂක බලධරයින් හෝ දැන සිටියේ නැත. එසේනම් ඔහු තම දිවි ගලවාගත්තේ කෙසේද? 2016 දෙසැම්බර් 12 වැනිදා සහ 2017 ජනවාරි 13 වැනිදා මරු කටින් ඔහු ගැලවුණේ කෙසේද? මේ සම්බන්ධයෙන් විමසීමට මම සුමන්තිරන් හා දුරකතනයෙන් සම්බන්ධ වීමි. තමා ඝාතනය කිරීමේ තැතක් ඇති බව පොලිසිය මෙන්ම රජයේ ඉහළ පුද්ගලයන්ද තමාට දැනුම්දී තිබූ බව සුමන්තිරන් එහිදී පැවසුවේය. කෙසේවුවත් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමෙන් වැළකී සිටි ඔහු සැළසුමේ තවත් තොරතුරු අනාවරණය වන තෙක් සිටිය යුතු වන බව පෙන්වා දුන්නේය. එසේනම් මරුවාගෙන් දෙවරක්ම දිවි ගලවාගත්තේ කෙසේදැයි මම ඔහුගෙන් විමසා සිටියෙමි. ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙලෙසය.

මම සාමාන්‍යයෙන් කොළඹ ඉදලා උතුරට යන්න පාවිච්චි කරන වාහනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ තිබුණේ නැහැ. ඒ නිසා මම වාහනයක් කුලියට ගත්තා. දෙසැම්බර් 12 වැනිදා මම නල්ලූර් කෝවිලේ පැවැත්වුණු නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වුණු සම්මන්ත්‍රණයකට සහභාගී වෙලා හිටියේ. ඒක ඉවර වෙනකොට මධ්‍යහ්නයට ආසන්නයි. දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා අමාත්‍ය සහ මගේ මිතුරු නීතිඥවරයෙක් වන කේසවන් සයන්තනුත් මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා හිටියා. සම්මන්ත්‍රණය අවසන් වුණාට පස්සේ ඔහුට වුවමනා වුණා යම් යම් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මා සමග සාකච්ඡා කරන්න. ඔහු මට කිව්වා මාරුතකර්නි වල පැවැත්වෙන සංස්කෘතික උත්සවයට ඔහුත් සහභාගී වෙනවා ඒ නිසා අපි දෙන්නා එකට ගියොත් මේ කරුණු ගැනත් සාකච්ඡා කරමින්ම යන්න පුලුවන් කියලා. ඉතින් මම තීරණය කළා සයන්තන් සමග ඔහුගේ වාහනයේම යන්න. මගේ වාහනයයි ආරක්ෂක පරිවරයි පස්සෙන් ආවා. අපි ඒ නවය පාර දිගේ ගිහිල්ලා, පුදුකාඩු හන්දියෙන් වමට හරවලා තාල්යාඩි පාර දිගේ ඇවිල්ලා මාරුතන්කර්නියට ආවා. ඒ එන ගමන් අපි හොද සංවාදයක නියැලුණා, සැක කටයුතු මොකවත් හරි කිසිවෙක් හරි අපට දැකගන්නට පුළුවන් වුණේ නැහැ. පස්සේ සයන්තන් මාරුතන්කර්නියෙන් වේලාසනින්ම පිටවුණා. ඒත් මම ටික වෙලාවක් එහිම රැදුණා. එතැනින් පස්සේ මම මගේ වාහනයේ යාපනයට ආවා.

මගේ ජීවිතය බේරුණේ කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ. විමර්ශකයන් මේ සිදුවීම ගැන සම්පූර්ණයෙන් අනාවරණය කරගන්නකන් නිශ්චිත වශයෙන් දෙයක් කියන්න මට හැකියාවක් නැහැ. එහෙත් මට දැනගන්න ලැබිලා තියෙන විදිහට ඔවුන් අපේක්ෂාවෙන් ඉදලා තියෙන්නේ මගේ සාමාන්‍ය වාහනයේ මම ඒවි කියලා. ඒ නිසා මම සයන්තන්ගේ වාහනයේ යනකොට ඔවුන්ට මාව මගහැරෙන්නට ඇති. මම ආපසු යාපනයට එන විටත් ඔවුන් මාර්ගයේ රැදී සිටියාද කියන එක මට පැහැදිලි නැහැ. ඔවුන් එහෙම හිටියානම්, එවෙලෙත් ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මගේ සාමාන්‍ය වාහනය. ඒක යාපනයේ කවුරුත් හොදින් දන්නා හදුනන වාහනයක්. ඒත් මම වෙනස් වාහනයක් පාවිච්චි කළ නිසා, ඔවුන්ට මාව නැවත වතාවක් මගහැරෙන්නට ඇති.

අනතුරුව මම ජනවාරි 13 වැනිදාට යෙදී තිබූ යාපන සංචාරය ගැන ඔහුගෙන් විමසුවෙමි. හදිසියේම එය අවලංගු කිරීමට කටයුතු කළේ රජය නිකුත් කර තිබූ අනතුරු ඇගවීම සැළකිල්ලට ගෙනදැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

නැහැ, නැහැ. මම ඒ සංචාරය අවලංගු කළේ ආරක්ෂක හේතූන් නිසා නොවෙයි. ඇත්ත, මට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දුන්නා ජීවිත අවදානමක් ඇති නිසා නැවත හැරී එන්නය කියා. ඒත් ඒ වෙනකොටත් මම භාගයක් දුර ගිහිල්ලා. ආයෙත් හැරිලා එන්න වුවමනාවක් මට තිබුණේ නැහැ. දෙසැම්බර් අන්තිම සතියේ ඉදන් ජනවාරි මුල් සතිය වෙනකන් මම දිවයිනේ හිටියෙත් නැහැ. ආපසු ආවට පස්සෙයි මම සාමාන්‍ය රාජකාරි පටන් ගත්තේ.
වුණේ මේකයි. මුහුදු ජලය පිරිසුදු කරන ව්‍යාපෘතියේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න මම සැලසුම් කරලා තිබුණා. ඒ ජනවාරි 13 වැනිදාට. මගේ බිරිදත් මා සමගම යාපනයට පැමිණෙන්න නියමිතව සිටියා. ඒත් ජනවාරි 11 වැනිදා නොහිතපු ගැටලුවක් මතුවුණු නිසාමට කොළඹ ඉන්න සිදුවුණා. මේ ඇවිල්ලා මම නීතිඥයකු හැටියට කටයුතු කරන නීතිමය ගැටලු වගයක්. ඒවා එක්ක කිසිම දේශපාලනමය සබදතාවක් නැහැ. මම ඇත්තෙන්ම ලොකු වුවමනාවකින් හිටියේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. ඒත් මට බැරි වුණා. ඉතින් මට සිදුවුණා එතැන නිලධාරීන්ට දැනුම් දෙන්න මට පැමිණීමට නොහැකි බව. මෙම මේ දැනුම්දීම සිදුකළේ ජනවාරි 12 වැනිදා. මට ඇහුණු විදිහට නම් ඔවුන් එදා ඉදලා තියෙනවා මට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒත් අන්තිම මොහොතේ මම සැළසුම වෙනස් කරපු නිසා, අදහස් කරගෙන හිටපු හැටියට කටයුතු කරන්න ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා.

ආරක්ෂාව තර කිරීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් මා විමසූ විට එයට පිළිතුරු දුන් සුමන්තිරන් පවසා සිටියේ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා තමන් සමග සම්බන්ධවෙමින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගැනෙමින් පවතින බව දැනුම් දුන් බවයි. ඒ අනුව නව ආරක්ෂක විධිවිධාන ක්‍රමයෙන් ඇති කෙරෙමින් පවතින බවද සුමන්තිරන් පැවසුවේය. අමුතුවෙන් කිව යුතු නොවන හේතූන් නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමට මම කටයුතු නොකළෙමි.

ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද තමා අමතමින් තොරතුරු විමසා සිටි බව සුමන්තිරන් කීවේය. අගමැතිවරයා අදහස් දක්වමින් ජනවාරි 13 යාපන සංචාරය අවලංගු කළේ නැතිනම් ඔබ අද ජීවතුන් අතර නැහැ යැයි පවසා සිටි බව සුමන්තිරන් පැවසුවේය. ජනපතිවරයා ඔහුගේ ජීවිතය අවදානම් මට්ටමක පැවැති කාලය සිහිකරමින් තමන් හා සංවාදයක නියැලුනු බව ඔහු කීවේය. මොනවා වුණත් ඔබ දිගින් දිගටම යාපනය වෙත ගිහිල්ලා, ඔබේ රාජකාරි ඉටු කළ යුතුයි. යැයි ජනපති සිරිසේන සුමන්තිරන් වෙත උපදෙස් දී තිබේ.

පෙර මෙන් උතුරට යනවාදැයි මම සුමන්තිරන්ගෙන් විමසුවෙමි. ඔහු ඊට දුන්නේ පැහැදිලි, සෘජු පිළිතුරකි. ඔව් මම දිගටම උතුරට යනවා. ජනතාව සමග දිගටම සෘජුව සම්බන්ධ වෙනවා. එදා සහ අද කියලා එහි වෙනසක් වෙන්නේ නැහැ. අනතුරුව මම අත්අඩංගුවට ගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිළිබදව ඔහුගෙන් විමසුවෙමි. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීමක් පෙනී යන්නේද, ඩයස්පෝරාවේ සිටින කොටි සාමාජිකයන් ඔවුන්ගේ උත්සාහය අතහැර නොමැති බවක් පෙනී යන්නේද, යැයි මම ඔහුගෙන් ඇසීමි. සුමන්තිරන් එම පැනයන්ට පිළිතුරු දුන්නේ පරිස්සමිනි. එල්.ටී.ටී.ඊ ය නැවත නැගිට ඇතිදැයි නිශ්චිත වශයෙන් කීමට නොහැකි මෙවැනි අවස්ථාවක, උපකල්පනයන්ට එළැඹිීම සුදුසු නොවන බව ඔහුගේ අදහස විය.

දිවයිනේ ජීවත් වෙන අයාලේ ගොස් සිටින ඇතැම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මුදලට නම්මාගෙන ඔවුන් ලවා මේ පොළව තම නොයෙක් කඩාකප්පල්කාරී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්න විදේශ වල සිටින ඇතැම් බලවේගයන් උත්සාහ කරමින් සිටින බව නම් පැහැදිලිව පෙනෙනවා. මේ අවස්ථාවේ අපිට කියන්න බැහැ මාව ඉලක්ක කරන්න උත්සාහ කළේ තනි පුද්ගලයෙක්ද එහෙමත් නැතිනම් ඒක කරන්න හැදුවේ එල්.ටී.ටී.ඊ ය නැවත නගා සිටුවන්න සකස් කරපු සැළැස්මක එක පියවරක් හැටියටද යන්න. ආරක්ෂක අංශ මේ ගැන සොයා බලා, නිශ්චිත උපකල්පන වලට එළැඹෙනු ඇති බවට මට විශ්වාසයි.

පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් පවසන ලෙසට ඇත්තෙන්ම දැන් තියාම උපකල්පන වලට එළැඹිීමට හැකියාවක් නොමැත. එල්.ටී.ටී.ඊ යේ මෙවැනි උත්සාහයන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මෙම තීරු ලිපි වලින්ම තොරතුරු අනාවරණය කැරිණ. සුමන්තිරන් සැළකීමේදී අවධානයට ගත යුතු කරුණ වන්නේ ඔහු නිරන්තරයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ වාග් ප්‍රහාරයන්ට, නින්දා හා අපහාසයන්ට, හසුවන පුද්ගලයකු වීමය. පුද්ගලයකු ඝාතනය කිරීමට පෙර හා ඝාතනය කිරීමෙන් පසු ඔහු ද්‍රෝහියකු ලෙස හංවඩු ගැසීමද, ඔහුගේ චරිතය ඝාතනය කිරීමද, එල්.ටී.ටී.ඊ යේ සාමාන්‍ය පිළිවෙතය. ආචාර්ය නීලන් තිරුචෙල්වම්ගේ ඝාතනයේදී මෙය හොදින්ම දැකගත හැකිවිය.

ප්‍රජාතාන්ත්‍රිකව දෙමළ ජාතීන්ගේ අයිතීන් දිනා ගැනීම සදහා ක්‍රියා කරන දේශපාලනඥයන් අතර සුමන්තිරන් පෙරමුණෙහි ලා සැළකිය හැකි පුද්ගලයෙකි. වර්තමානයේ ඔහු ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සක්‍රීයව සම්බන්ධව සිටී. ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ දෙමළ ජාතික සන්ධාන සාමාජිකයා වන්නේ ඔහුය. නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා සමග ව්‍යවස්ථා සභා ලේකම් කාර්යාලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපතීත්වය දරන්නේද ඔහුය. සැබෑ යුක්තිය, සාධාරණත්වය, සහ ජාතික සංහිදියාව ආරක්ෂා කැරෙන නව්‍යතාවයෙන් යුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම අත්‍යාවශයය. මේ හමුවේ ජාතිවාදී බෙදීමේ දෙපිළ නියෝජනය කරන, ව්‍යවස්ථා සකස් කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට එක්වී සිටිනු හදුනාගත හැකිය.
විදේශයන්හි සහ මෙරට වාසය කරන එල්.ටී.ටී.ඊ හිතවාදී පිරිස් වල ඒකායන අරමුණ සුමන්තිරන් දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම බව අවිවාදිතය. 2015 මැතිවරණයේදී සුමන්තිරන් පරාජය කිරීමට දෙමළ ඩස්පෝරාවේ කොටි සාමාජිකයෝ මුදල් පොම්ප කළහ. එහෙත් ජනතාවගේ සහය සුමන්තිරන් කෙරේ විය. කොටි සහය ලැබූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි අපේක්ෂකයෝ ජනතාව හමුවේ ප්‍රතික්ෂේප වූහ. එයින් අනතුරුව කොටි සාමාජිකයෝ සුමන්තිරන් ප්‍රසිද්ධියේ අපහසුතාවට පත්කරනු වස් මඩ ව්‍යාපාරයක් යාපනයේ සහ ඕස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍යය සහ ස්විට්සර්ලන්තය වැනි බටහිර රටවල ක්‍රියාත්මක කළහ. එහි අරමුණ වූයේ සුමන්තිරන් පීඩාවට පත් කර, ගැලවීමට ඇති එකම මාර්ගය දේශපාලනයෙන් ඉවත් වීම බව ඔහුට පෙන්වා දීමය. එහෙත් එයින්ද ඵලක් වූයේ නැත.

වත්මන් තත්ත්වය සැළකිල්ලට ගැනීමේදී එල්.ටී.ටී.ඊ ය සුමන්තිරන් ඝාතනය කිරීම එහි අවසන් විකල්පය ලෙස තෝරාගෙන ඇති බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරි විමර්ශන කටයුතු වලින් අනාවරණය වනු ඇත. දැනට පැහැදිලි වන ආකාරයට සුමන්තිරන් ඝාතනය කිරීමට ගත් උත්සාහයන්, ඔහුගේ වාසනාව නිසා හෝ, දෙවියන්ගේ මැදිහත් වීමක් නිසා හෝ, අනපේක්ෂිතව ගත් තීරණ නිසා හෝ, ව්‍යර්ථව ගොස් ඇත.
එමෙන්ම තම ජීවිතයට එල්ල විය හැකි අවදානම නොතකා සුමන්තිරන් ඝාතන සැළැස්ම සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ඒ දෙමළ ජාතිකයාත් අගය කළ යුතුය. ඔහු හොද මිනිසෙකි. ලෝකය යහපත් වන්නේ ඔහු වැනි හොද මිනිසුන් නිසාය. ආරක්ෂක හේතූන් මත ඔහුගේ නියම නම හෙළි කිරීමට නොහැකිය. නල්ලවන් යැයි නමක් ඔහු වෙනුවෙන් පබැදීමට මා කටයුතු කළේ ඒ නිසාය. එයට හේතුවක් ඇත. එනම්, දෙමළ භාෂාවෙන් නල්ලවන් යැයි අර්ථ දැක්වෙන්නේ හොද මිනිසෙකි.

ඩීබීඑස් ජෙයරාජ් විසිනි. පරිවර්තනය කෝවිද ගුණසේකර/ Lankadeepa

Archive

Latest news

Related news