Tuesday, July 16, 2024

සිල් රෙදි බෙදුවේ මහින්ද කියපු නිසා – වටිනාපහ හිමියෝ කියති

පින්තූරය: වටිනාපහ සෝමානන්ද හිමි.

සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (09) විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වටිනාපහ සෝමානන්ද හිමියෝ ප්‍රකාශ කර තිබේ.

2014 වසරේ මුල් කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයක් මත ඔහුගේ උපදෙස් මත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් ක්‍රියා කළ බවද පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

තවද එවකට හිටපු ජනාධිපතිවරයාගේ බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ තමාද එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නඩුවේ විත්තිකරුවන්ගේ උපදෙස් මත කටයුතු කළ බවද ඒ හිමියෝ පවසා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආගමික උත්සව සංවිධානය හා විහාරස්ථානවල බෞද්ධ කටයුතුවලදී වැඩසටහන් සංවිධානය කිරීම තමන්හට පැවරී තිබූ බවත් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියෝ විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත.

2014 ඔක්තෝබර් මස 30 හා 2015 ජනවාරි මස 05 අතර කාලයේදී ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් විදුලිසංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ තැප්‍රොබෙන් ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැර කිරීමෙන් හෝ එසේ කිරීමට සැලැස්වීමෙන් මුදල් වංක ලෙස පරිහරණය ඇතුළු අධි චෝදනා 10ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

නඩුවෙන් අධිචෝදනා ලැබ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු නඩු විභාගය සඳහා 09දා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම නඩුවේ ලිඛිත දේශන  10 දින පැවැත්වේ.

– ලංකා ට්රුත්

 

Archive

Latest news

Related news