Tuesday, July 16, 2024

ජනමාධ්‍ය නිදහස: 2015 ජනවාරිය, අද සහ හෙට – සුනන්ද දේශප්‍රිය

පින්තූරය:පොලීසියේ සහාය ඇතිව ජනමාධ්‍ය වැඩමුළුව කඩකප්පල් කිරීමට මීගමුවෙහි හෝටලයට කඩා වැදුණු රාජ්‍ය අනුග්‍රහය ලත් මැරවර පිරිස.

අද සිතීමටවත් නොහැකි එය සිදුවූයේ ජනවාරි පෙරළියට මාස හයකට කලිනි. එනම් 2014 ජූනි මාසයේ ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කීර්තිමත් අන්තර් ජාතික සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය එම ජූනි මාස‍යේදී  දෙමළ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මිගමුවෙහි පිහිටි ගොල්ඩ් සෑන්ඩ් හෝටලයේදී පුහුණූ වැඩමුළුවක් සංවිධානය කළේය. වැඩ මුළුව පැවැත්වීමට නියමිත දින මැරවැර පෙනුමින් යුතු කළහකාරී කණ්ඩායමක් හෝටලයට කඩා වැදී වැඩමුළුවට අවසර නොදිය යුතුයැයි කෑ කොස්සන් ගැසීමට පටන් ගත්තේය. හෝටල හිමිකරුවන් විසින් පොලීසිය කැඳවන ලද්දේ ආරක්ෂාව බලාපොරොත්තුවෙනි. වන්නාටය. පොලීසිය ද මැරවර කළහකාරීන්ගේ පාර්ශවය ගත් බව පෙනුණි. ඊට හේතුව වන්නට ඇත්තේ මැරවරයින් පසුපස තිබූ  බලවත් දේශපාලන හස්තයක් බව එදිනම පසුව ඇතිවූ සිදුවීම් වලින් පෙනී ගියේය. පොලීසිය කියා සිටියේ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුව සාමයට බාධාවක් විය හැකි බවත් ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැලසීමට තමන්ට නොහැකි බවත් නොකියා නිසා සිටියේ ය.

පැමිණ සිටි දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සලකා එදින ඔවුන් කොළඹ කොටුවෙහි ඉතාමත් ආරක්ෂාකාරී පරිසරයක පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක නතර කිරීමට ට්‍රාන්ස්පේරන්සි ආයතනය පියවර ගත්තේ ය. පුදුමයෙනුත් පුදුමය සිදුවූයේ එවිටය. ජනමාධ්‍යවේදී පිරිස රැය ගත කිරීම පිනිස කාමරවලට ගිය සැණින්ම වාගේ එකී හෝටලයේ කළමනාකරුට දුර කතනය මගින් දන්වන ලද්දේ එම පිරිස වහා පිටමං නොකළහොත් භයානක ප්‍රතිවිපාක ඇතිවනු බවය.

මතක තබා ගන්න. මේ දේශප්‍රෙමී ජනතා ව්‍යපාරය තුණ්ඩු මගින් රට පාලනය කළ 1989 භීෂණ සමය නොවේ. යුද්ධාවසානයෙන්ද වසර පහකට පසු පැවැති රාජපක්ෂ සමයයි.

එකී හෝටල කළමණාකරු කොපමණ බියපත්වීද යත් වහාම දෙමළ ජනමාධ්‍යවේදීන් හෝටලයෙන් බැහැර ගෙන යන සේ අදාළ ආයතනයෙන් ඉල්ලා සිටියේ ය. එවැනි හෝටලයක් බිය ගැන්වීමට හැකියාව තිබුණේ රාජපක්ෂ පාලනයේ හයිය තිබූ ඉහළම අයෙකුට පමණි. විඩාබර සහ තිගැස්මෙන් යුතු දිනක් අවසානයේ නින්දට සැරසුණු ජනමාධ්‍යවේදී කණ්ඩායමට යළි සිය ඇදුම් බෑග කිහිලි ගන්නා ගෙන මහ පාරට බසින්නට සිදුවිය. අවසානයේදී ඔවුන්ට සිදුවූයේ කොළඹ ජනමාධ්‍යවේදී කාර්යාලයක නිදි නැති රැයක් පහන් කර උදෑසන යළි යාපනය බලා පිටත්වීමට ය.

මෙම සිදුවීමෙහිදී හෝටල කළමණාකරුවන් බිය පත්වූ සැටි, දාමරික කළහකාරී පිරිස් නීතිය අතට ගත් සැටි, නීතියේ ආරක්ෂකයා වන පොලීසිය දාමරිකයින්ගේ අත කොළුවක් වූ සැටි, කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් මහ රැයෙහි ජනමාධ්‍යවේදී පිරිසක් මහ පාරට ඇද දැමූ සැටි අද නිකමටවත් මවා ගත හැකිද?

ඊටත් වඩා භයානක කාරණය වූයේ මෙකී ජනමාධ්‍යවේදීන් පිරිසකට එරෙහිව යොදවන ලද එකී තුච්ච බලහත්කාරීත්වය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය දක්වන ලද නිහඩතාවයයි.

එකළ හැමෝම හිටියේ බයේ ය.

ඒ වැඩි කාලයකට පෙර නොව ජනවාරි පෙරළියට හුදෙක් මාස හයකට පෙරය. මෙලෙසින්ම එකී දාමරික කළහකාරීහු එසමයේම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වීමට නියමිත වූ ජනමාධ්‍ය වැඩ මුළුවක්ද රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් කඩා කප්පල් කළහ. ඊට පෙර පොළොන්නරුව කවුඩුල්ල හෝටලයක පැවැති තවත් ජනමාධ්‍ය පුහුණු වැඩ මුළුවක් නතර කරන ලෙස හෝටල් කළමණාකාරීත්වයට බල කරන ලද්දේ නැගෙනහිර යුද හමුදා ප්‍රධානියෙකි.

රාජපක්ෂ සමයේ ජනමාධ්‍ය මර්ධනය උච්චස්ථානයට පත්ව තිබුණි

විසංවාදය මැඩළීම රාජපක්ෂ සමයේ නිසර්ග ලකුණ විය.

එදා දෙමළ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූවා වැනි තත්වයක් කවර හෝ සමාජ කණ්ඩායමකට අද මුහුණ දීමට සිදුවුවහොත් සමාජ ජාල මාධ්‍යයන්හි පමණක් නොව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන්හිද ශීර්ෂපාඨ පුවතක් බවට එය පත්වනු නිසැකය.

වෙනස එයයි. ලිවීමට කීමට සහ සිතීමට ඇති නිදහස ය.

ඒ කොතෙක්ද යත් අද හිටපු ජනාධිපති රාජපක්ෂ පවා ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පුවත්පත් ප්‍රකාශ නිකුත් කරයි. තමා බලයේ සිටි වසර 9 පුරා ලංඩනයේ සිට විසුරුවා හැරෙන බීබීසී සිංහල සේවයට එක් සම්මුඛ සාකච්ජාවක් හෝ නොදුන් හිටපු ජනාධිපති රාජපක්ෂ දැන් එයට පැන පැන සාකච්ජා දෙයි. ඔහුගේ සමයෙහි බීබීසී සිංහල සේවයට වාරණ පණවා තිබූ අතර එයට පිළිතුරු දීමටම වෙනම ගුවන් විදුලි වැඩ සටහනක් නිශ්පාදනය කෙරුණි. දැන් එම රාජපක්ෂටම එම මාධ්‍ය ආයතනයටම සම්මුඛ සාකච්ජා දීමට සිදුවීම දෛවයේ සරදමක් වැන්න.

රාජපක්ෂ සමයෙහි ඔහුගේ පාලනයට විරුද්ධව කටක් ඇර කතා කළ ගුවන් විදුලි නාලිකාවක් නොවූ තරම්ය. අද ගුවන් විදුලි නාලිකා සහ පුවත්පත් පමණක් නොව වත්මන් ආණ්ඩුව පෙරළීම අරමුණූ කර ප්‍රවෘත්ති සම්පාදනය කරන ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා තුනක්ම වෙයි.

අද විසංවාදයට දොර හැරී තිබේ. ඒ ගැන වාදයක් තිබිය නොහැකිය. එය නිසැක ජයකි.

එනමුත් නිසි ක්‍රියාපරිපාටියකින් තොරව රාජපක්ෂ පුත්‍රයින්ගේ සී.එස්.එන්. නාලිකාව වසා දැමීම, දෙරණ නාලිකාවට තර්ජනාත්මක ලිපි යැවීම, ජනමාධ්‍යවේදීන්ට ඇති වන බාධා සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම වැනි  ජනමාධ්‍ය නිදහසට එල්ල වන තර්ජනයන් ලුහු කිරීමට අපට කිසිදු අයිතියක් නැත. මන්ද යත් අද වෙනත් අයකුට එල්ල වන තර්ජනයට අප විරුද්ධ නොවුවහොත් හෙට එම තර්ජනය තවත් අයකුට එල්ල වීම වැළැක්විය නොහැකි නිසා ය.

රට ද ලෝකයා ද දුටු නාවික හමුදාපති මාරාවේශයෙන් ජනමාධ්‍යවේදියකුට පහරදීම සාධාරණ කරනු පිනිස බලධාරින් විසින් දරණ ලද තැත හානි කළමණාකරනය පිළිබඳව ආණ්ඩුවේ අනවබෝධයේ තරම මොනවට විදහා දැක්වූ මාධ්‍ය මර්දන අවස්ථාවක් විය.ඒ හා සමානවම පහර කෑමට ලක්වූ ජනමාධ්‍යවේදියා විසින් තමා ගුටිකෑම ගැන කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි කියා සිටීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රජාවෙහි ආත්මගරුත්වයේ පහළ මට්ටම පිළිබඳ කණගාටුදායක නිදසුනක් බවට පත්විය.

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉතාම දරුණු ලෙස කෙළෙසී ඇත්තේ රාජපක්ෂ සමයෙහි ඝාතනය වූ, පැහැර ගැනුණු, ප්‍රහාරයන්ට ගොදුරුවූ ජනමාධ්‍යවේදීන් සහ පහරදී සහ ගිනිතබා විනාශ කරන ලද ජනමාධ්‍ය ආයතනයන්ට යුක්තිය ඉටු කිරීමට පියවර නොගැනීම මගිනි. එලෙස ගොදුරු බවට පත් වූ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනයන්ට වන්දි ගෙවීම උදෙසා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරන ලද නමුත් ඉන් පසු ඊට අත්වූ ඉරණම අභිරහසකි. මේ සම්බන්ධයෙන් ජනවාරි පෙරළියේ ප්‍රථම දින සියය තුළ දෙන ලද පොරොන්දු දැන් වාෂ්ප වී ගොසිනි.

යුක්තිය සහ වගවීම ආණ්ඩුවේ ශබ්ද කෝෂයෙන් ඉවත් වී ගොස් තිරසාර සංවර්ධන ඉලක්ක වැනි වෙනත් න්‍යාය පත්‍ර පෙරමුණට පැමිණෙමින් තිබේ. එය මහත් කණගාටුවට කරුණකි. තිරසාර සංවර්ධන ඉලක්ක ළගා කර ගැනීම සඳහා මූලිකත්වයක් ලබා දීම අවැදගත් යැයි ඉන් අදහස් නොවේ.

රාජපක්ෂ සමයෙහි ගොදුරුබවට පත් ජනමාධ්‍යවේදින් සහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවීමේ ප්‍රධාන වගකීම ආණ්ඩුව සතු නමුත් ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය සංවිධාන වන අපට ද ඉන් ගැලවීමට නොහැක. අප එකී යුක්තිය සහ සාධාරණය ඉටු කරවා ගැනීම පිනිස එකදිගට අතනෑර අරගලයක් ගෙන ගොස් නැත. අපේම වූ දේශීය සහ අන්තර් ජාතික මාධ්‍ය සහභාගිත්වයෙන් යුතු ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පත් කර ආණ්ඩුවට අභියෝගයක් විය හැකි වාර්තා ඉදිරිපත් කිරීමට අපි අසමත්ව ඇත්තෙමු.

තමන්ගේම දේශපාලන සහ ජවාරම්කාර න්‍යාය පත්‍ර මගින් ජනයා අන්දවන රූපවාහිනී නාලිකා

මෙම සටහන ලියමින් සිටින ජනවාරි 02 දින මෙරට රාජ්‍ය මාධ්‍ය ද ඇතුළු රෑපවාහිනී නාලිකා ගණනාවකම රාත්‍රී පුවත් ඉතා අමාරුවෙන් වුවත් නැරඹූයෙමි. ඒ අද ඇති මාධ්‍ය නිදහසට සමානුපාතිව ඒවායේ සමාජ වගකීමද ඉහළ ගොස් ඇත්දැයි බැල්මක් හෙලීම පිනිසය. අදෝමැයි, නිදහස වල්බූරු නිදහසකට වැඩි යමක් නොවේදැයි සිතුණි.

එක් රාජ්‍ය පාලිත රෑපවාහිනී නාලිකාවක දැන් දින ගණනාවක් පුරා තෝරාගත් වොයිස් කට්ප්‍රචාරය කරමින් අපට කියන්නේ පළාත් සභා යනු ගන්නටම දෙයක් නැති සුදු අලි බවය. කිසිදු තත්කාලීන වැදගත්කමක් නැති මෙම ඊනියා ජනමත විමසීම් ඇරඹුණේ අගමැති වික්‍රමසිංහගේ සුපිරි ඇමැති පනත පළාත් සභා විසින් පරාජය කිරීමෙන් පසුය. දේශපාලන විසඳුමක් ලබා දෙන වස් පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළ යුතුව තිබියදී එම නාලිකාව දැන් ගෙන යන්නේ කෘතීමව ඇති කරනු ලබන පළාත් සභා විරෝධයකි. එම නාලිකාව උමා ඔය ව්‍යාපෘතිය නිසා ගිලා බසිමින් ඇති නිවෙස් පිළිබඳව වාර්තා කළේම නැත.

තවත් පුද්ගලික නාලිකාවක් රූපවාහිනී කතුවැකියක් කියෙව්වේ මෑත දිනකදීය. එය හුදු වැදි බණක් විය. එහි අරමුණ වී තිබුණේ තමන් විසින් නායකත්වය දෙන සිවිල් සමාජයක්නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා එම අපූරු කතුවැකිය රටෙහි අන් සියළු සිවිල් ජන ව්‍යාපාර හෙළා දුටුවේය. කොළඹ අධිකරණය ඉදිරිපිට දී හිටපු ඇමැතිවරයකුගෙන් මෙම ආණ්ඩුව පෙරළීමේ අවශ්‍යතාවය පිළිබඳ වොයිස් කට්එකක් ගත් එම නාලිකාවට ඔහු අධිකරණය ඉදිරිපිට සිටින හේතුව පුවතක් නොවීය. ඔහු එහි පැමිණ සිටියේ මිලියන ගණනාවක රාජ්‍ය අරමුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට පවරා ඇති නඩුවකට සහභාගිවීමටය.

පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ කමිටුවේ සභාපති අසෝක පීරිස් සහ අමාත්‍ය පයිසර් මුස්තාෆා අතර එදිනම ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් අසෝක පීරිස් මහතාට සාධාරණ ආවරණයක් ලබා දුන්නේ රාජ්‍ය පාලිත අනෙක් නාලිකාව මගින් පමණි. අනෙක් සියළු නාලිකා ඇමැති මතයට පමනක් තැන දුන්නේය. රූපවාහිනී පුවත් සම්බන්ධයෙන් කවර හෝ සාධනීය වෙනසක් ඇතොත් එය සිදුව ඇත්තේ එකී ජාතික රූපවාහිනියෙහි පමණි.

එසේ වෙතත් ජනවාරි පෙරළියේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා සමකිරීමට රාජ්‍ය පාලිත ජනමාධ්‍ය සහමුලින්ම අසමත් වී ඇති බව කිව යුතුය. ඊට හේතුව නම් සියළු රාජ්‍ය පාලිත ජනමාධ්‍ය පක්ෂ දේශපාලන දඩු අඩුවෙහි සිරවී තිබීමයි. එමගින් ඒවායේ ස්වාධීනත්වයද නිර්මානශීලීත්වයද යන දෙකම නැති වී ගොස් තිබේ. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය යනු මහජනයාට අයත් පොදු දේපලකි. පොදු දේපල දේශපාලන වශයෙන් අපහරණය කිරීම වරදකි.

මෙම ආණ්ඩුවද එම වරදට වරදකරුය.

හතරවැනි රාජ්‍ය යැයි කියැවෙන ජනමාධ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට කරනු ලබන දායකත්වය දෙවැනි වූයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පමණි. ස්වාධීන සහ යාවත්කාලීන වන අධිකරණයකින් තොරව යුක්තිය පසිඳළීම නිසි පරිදි ඉටු නොවේ. එනයින්ම ස්වාධීන සහ අර්ථවත් ජනමාධ්‍ය සංස්කෘතියකින් තොරව හතරවැනි රාජ්‍ය පද්ධතියේ කාර්ය භාරයද ඉටු නොවෙයි.

මුල් කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි ජනමාධ්‍ය අල්ලා ගෙන සිටි එකී හතරවැනි බල ව්‍යුහය නූතන සමාජයෙහි නියෝජන වෙන්නේ සිවිල් සමාජය මගිනි. අද ජනමාධ්‍ය ද සලකනු ලැබෙන්නේ පුළුල් සිවිල් සමාජයේ කොටසක් ලෙස ය. ලෝක ආණ්ඩුව ලෙස සැලකිය හැකි එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහයන් තුළ සිවිල් සමාජය මූලිකම තුලන සහ සංවරණ පද්ධතිය ලෙස ක්‍රියාත්මක වෙයි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලද සිවිල් සමාජයට එවැනි ස්ථානයක් තිබේ.

ජනවාරි පෙරළියේ ප්‍රතිපලයක් වශයෙන් මෙරටදී සිවිල් සමාජයට එම ස්ථානය ලබා දීමට දරන ලද ප්‍රමුඛ අවස්ථාව වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙහි බහුතරය සිවිල් පුරවැසියනට ලබාදීමට වූ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පරාජය කරන ලදී. එමෙන්ම එකී ව්‍යවස්ථා මණ්ඩලය යටතට ස්වාධීන මාධ්‍ය කොමිසමක් ඇතුලත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ නැත.

ජනමාධ්‍ය විසින් වාර්තා නොකළ රවිරාජ් ඝාතන නඩුව අවසානයේදී ‘රණවිරුවන්’ බේරා ගැනීමකින් කෙළෙවර විය.

පෙනෙන විදිහට රාජපක්ෂ සමයෙහි රාජ්‍ය බුද්ධි අංශ විසින් කරන ලද බවට කරුණු ඉදිරිපත්වෙමින් තිබෙන ඝාතන සහ පැහැර ගැනීම් පිළිබඳ නඩු විභාග වාර්තා කිරීම රාජ්‍ය පාලිත මාධ්‍ය ද ඇතුළු මෙරට ජනමාධ්‍ය විසින් ස්වයං වාරණයකට ලක් කොට තිබේ. එමගින් නැවත වරක් එකී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයෝ ඝාතනයට ලක්වෙති. එමෙන්ම රාජ්‍ය සන්නද්ධ හමුදා නීතියේ පාලනය යටතට ගැනෙනු වෙනුවට රණවිරු ලාංචනය යටතෙහි දුර්විපාක නොලැබීමට හිමිකරුවෝ බවට පත් වෙති.

ශ්‍රී ලංකාවෙහි ප්‍රවෘත්ති මාධ්‍යයෙහි ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව යම් තරමකට හෝ ඉටු කරමින් සිටින්නේ මුද්‍රිත මාධ්‍ය කිහිපයක් විසිනි. විද්‍යුත් මාධ්‍ය බොහෝ දුරටම ක්‍රියාත්මක වන්නේ පටු ව්‍යාපාරික සහ දේශපාලන න්‍යාය පත්‍ර උඩය. බොහෝ අන්තර් ජාල පුවත් වෙබ් අඩවි ජනමාධ්‍ය භාවිතයෙහි ප්‍රධානතම නියාමයන් වන මුලාශ්‍ර සහ කවදා කොතැනක කවරකු විසින් කුමක් කරන ලද්දේ ද යන්න වාර්තා කරනු වෙනුවට නිර්නාමිකත්වය අගතැන්හි තබා සිටියි. පෙනෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කළ රූපවාහිනී දේශපාලන සංවාද සඳහා තිබූ ඉල්ලුම බාල ටෙලි නාට්‍ය විසින් එන්න එන්නම ආක්‍රමණය කරමින් තිබේ.

තමන්ගේ පාලනය යටතේ වන මහජන දේපල වන දැවැන්ත ජනමාධ්‍ය ආයතන තිබියදීත් ආණ්ඩුවේ ප්‍රධානීහු අනෙක් ජනමාධ්‍යන්ට තර්ජන ගර්ජන කිරීම පුරුද්දක් වශයෙන් පවත්වා ගෙන යති. සෑම ඇමැතිවරයකුටම මාධ්‍ය ඒකකයක් තිබෙන අතර ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මාධ්‍ය ආයතන තරම් විශාල මාධ්‍ය ඒකක තිබේ. එනමුත් ආණ්ඩුවේ දුක්ගැනවිල්ල වන්නේ තම යහපත් ක්‍රියාවන්ට නිසි ප්‍රචාරයක් නොලැබෙන බවයි.

තමන්ගේ සාධනීය කටයුතු සඳහා නිසි ප්‍රචාරයක් ජනමාධ්‍ය මගින් නොලැබෙන්නේ ය යන යුගගීතය ගායනා කරනු වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ තමන්ගේම මාධ්‍ය ව්‍යුහයන් දෙස ආපසු හැරී බැලීමයි.

ජනවාරි පෙරලියෙහි දඅපේක්ෂාවක් වූප්‍රජාතන්ත්‍රවාදී සමාජයෙහි දැනුවත් පුරවැසියකු බිහිකිරීමේ මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායයක් ඇති කිරීමට නම් මෙරට ජනමාධ්‍ය සංස්කෘතියෙහි සුසමාදර්ශී වෙනසක් අවශ්‍ය බවට සැකයක් නැත. බහුතරය ජාවාරම්කාර වෙළදාමක් බවට පත්ව ඇති පුද්ගලික අංශයේ ජනමාධ්‍ය කෙරෙන් එවැනි වෙනසක් අපේක්ෂා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමකි.

ශ්‍රී ලංකාවෙහිදී එවැනි වෙනසක් අපේක්ෂා කළ හැක්කේ රාජ්‍ය මැදිහත්වීමක් ලෙස පමණය. මන්ද යත් එය සතුව ඇති දැවැන්ත ජනමාධ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රීය කිරීම මගින් ජාවාරම්කාර ජනමාධ්‍යන්ට අභියෝගයක් ද ආදර්ශයක්ද විය හැකි නිසාය. ස්වයං මාධ්‍ය නියාමනය අසාර්ථක වී ඇති බැවින් එම ක්ෂෙත්‍රෙයේ ද ආණ්ඩුවේ මූලික්වයක් දැන් අවශ්‍ය වී තිබේ.

මෙරට ජනමාධ්‍ය සංස්කෘතිය මහජන සේවාවක් බවට පත් කිරීමට නම් ගත යුතු ප්‍රථම පියවර රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය බවට පරිවර්ථනය කිරීමයි. පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ සේවා සහ පුද්ගලික රෝහල් පොහොසත් කිරීම පිනිස මිලියන ගණනින් වැය කිරීමට මුදල් ඇමැතිවරයාට හැකි නම්, මැති ඇමැතින්ට වරදාන පිනිස නැසුවිරූ මුදල් කන්දරා වැය කළ හැකි නම්, මහ බැංකුව සොරා කෑ හැකිනම් මහජන සේවා ජනමාධ්‍ය භාවිතයක් උදෙසා අරමුදල් සපයා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමට හේතුවක් නැත.

නූතන මධ්‍යගත රාජ්‍ය සම්ප්‍රදාය හේතු කොට සංනිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි සිදුව ඇති මහත් විපතක් නම් මෙරට ජනමාධ්‍ය සංස්කෘතිය අගනුවර සහ ප්‍රභූ කේන්ද්‍රීය වීමය. මෙම ප්‍රභූවාදී ජනමාධ්‍ය සංස්කෘතිය බිඳ දැමිය හැක්කේ ප්‍රජා ගුවන් විදුලි සේවා සහ කලාපීය පුවත් වෙබ් අඩවි මගිනි. වෙනසක් සඳහා ඇත්ත උවමනාවක් ඇතොත් ආණ්ඩුව ගත යුතු තවත් පියවරක් වන්නේ එයයි. මෙරට ප්‍රජා ගුවන් විදුලි සේවා ඇති කිරීම උදෙසා අමිල මෙහෙවරක් කළ තිලක් ජයරත්න විසින් සම්පාදනය කරන ලද පරිපූර්ණ වාර්තා මේ සඳහා ලෙහෙසියෙන්ම උපයෝගී කර ගත හැකිය.

ආණ්ඩුව විසින් සලකා බැලිය යුතු තවත් තෝරා ගැනීමක් වන්නේ මහජන සේවා මූලධර්ම යටතේම පුවත් නාලිකාවක් සහ එහිම දිගුවක් ලෙස පාඨකයා දිරි ගන්වන වෙබ් අඩවියක් ආරම්භ කිරීමයි. එවැනි පුවත් නාලිකාවක් හුදු සමාජ දේශපාලන පුවත් පමණක් නොව කලාසංස්කෘතික, ක්‍රීඩා, ආර්ථික යනාදී විවිධාංගීකරණය වූ එකක් විය යුතුය‍.

රාජ්‍ය මාධ්‍ය තම දේශපාලන අධිකාරය යටතේ තබා ගැනීම සාර්ථක විය හැකිව තිබුණේ පුද්ගලික අංශයේ විද්යුත් මාධ්‍ය නැති තත්වයකදී පමණි. අප හොදින්ම දන්නා පරිදි ජනාධිපති රාජපක්ෂ පරාජයට පත්වූයේ ඔහුගේ මැතිවරණ යාන්ත්‍රණයට රාජ්‍ය පාලිත මාධ්‍ය පමණක් නොව පුද්ගලික අංශයේ මාධ්‍ය ද කැමැත්තෙන්ම යටත් වී තිබියදී ය.

රාජපක්ෂ මහතාගේ පරාජයෙන් මෙම ආණ්ඩුව ඉගෙන ගත යුතු එක් පාඩමක් නම් හුදෙක් ජනමාධ්‍ය පාලනය මගින් ජනප්‍රියත්වය දිනා ගැනීමට හෝ මැතිවරණ ජයගැනීමට නොහැකි බවයි. 1956 දී බණ්ඩරනායක මහතා බලයට පැමිණියේ ඔහුට පක්ෂග්‍රාහී ජනමාධ්‍ය ආයතන තිබී නොවේ. අගමැතිනි සිරිමා බණ්ඩාරනායක විසින් 1972 දී ලේක්හවුසිය රජසතු කරන තුරු මෙරට ආණ්ඩුවට අයත් පුවත්පත් තිබුණේ නැත. අසල්වැසි ඉන්දියාවද ඇතුළු ලෝකයේ බොහෝ රටවල තත්වය තවමත් එසේය. 1972 දී ලේක්හවුසිය රජසතු කිරීමේ පනත හෝ ක්‍රියාත්මක කර එහි අයිතිය පුළුල් කිරිමට මේතාක් කිසිදු රජයක් පියවර ගෙන නැත.

අද රාජ්‍ය ජනමාධ්‍ය මෙන්ම මැතිඇමැති. අගමැතිජනපති මාධ්‍ය ඒකක යනු බොහෝ දුරටම රැකියා සපයන ස්ථාන මිස සැබෑ සන්නිවේදන කේන්ද්‍ර නොවේ. පුද්ගලික අංශයේ ජනප්‍රිය පුවත්පතක මා හොදින් දන්නා දේශපාලන ලියම්කරුවකු සිය සාපේක්ෂ ස්වාධීනත්වය පාවා දී  මෑතදී රාජ්‍ය මාධ්‍ය රැකියාවක් ලබා ගත්තේ හුදෙක්ම වැඩි වැටුපක් ලබා ගැනීමටය. දැන් ඔහුගේ දේශපාලන මාධ්‍ය විචාර නිදිගන්වා තිබේ.

මෙයට දෙවසරකට පෙර, මෙරට රාජ්‍ය නායකත්වය සිය උරුමයට ලියා ගෙන සිටි ප්‍රභූ පන්තියෙන් පිටත සිට පැමිණි, මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනයා විසින් ජනාධිපති තනතුරට ඔසවා තබන ලද්දේ මෙරට දේශපාලනයෙහි සැබෑ වෙනසක් අත්දකිනු පිනිසය.

මාධ්‍ය සමඟ අනවශ්‍ය සටනක පැටලුනු ඇය ..

එකී අපේක්ෂා සමකරමින් සිය ලකුණ මෙරට දේශපාලනයෙහි රැදවීමට නම් ඔහු විසින් කල් පවත්නා සහ මහජනයාට දැනෙන සාධනීය වෙනස්කම් ඉදිරි තෙවසර තුළ ඇති කළ යුතුය. අප දිවි බැදී පවත්නා ජනමාධ්‍ය ක්ෂෙත්‍රය ඉන් එකකි. එහි ඇතිවිය යුතු වෙනස්කම් ද බොහෝය.

1994 දී බලයට පත් වූ අලුත ජනාධිපතිනි කුමාරතුංග සතුටු සාමීචියකින් පසු මගෙන් මෙසේ ඇසුවේය: ‘ ඔබට පුද්ගලිකව කළ හැකි දෙයක් මට තිබේද?’ ඇය ඒ වන විටත් ජනමාධ්‍ය සමඟ විරසකයක් ඇති කර ගෙන තිබුණි . එබැවින් මම මෙසේ කීවෙමි. ‘ මාස හයක් ජනමාධ්‍යට සතුරු විවේචන නොකර ඉන්න‘.

අද එදා මෙන් අප දුක සැප විමසන නිරිදානන් මෙදා නැතත් එම පැනයට දිය යුතු පිළිතුර ඊට වඩා විස්තිර්ණය. මා ඉහත කටුගෑවේ එම පිළිතුරෙහි අසම්පූර්ණ සටහනකි. ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් සදහා ආණ්ඩුව විසින් දියත් කර ඇති උපදේශනයට වඩා සවිස්තර අදහසක් දැක්වීමට බලාපෙරොත්තු වෙමි.

 

 

Archive

Latest news

Related news