Tuesday, July 16, 2024

ජනපතිතුමනි, දූෂිත ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබන සතියේ සිට වැඩ!

දූෂිත ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය යටතේ ලබන සතියේ සිට යලි ඇරඹීමට නියමිතය මිලදී ගැනීම් නවතා දැමීම සදහා මැදිහත්වන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ මෙසේ සදහන් වෙයි:
නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු ගෙන්වීමේදී සිදුවී ඇති පාඩුව සහ 2017 වසරේදී රටට සිදුවිය හැකි රුපියල් බිලියන 3.9 ට වැඩි අතිවිශාල පාඩුව වලක්වා ගැනීම.

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී අනුගමනය කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලියේ දී බරපතල වැරදි සිදුවු බව මීට පෙර ද කැෆේ සංවිධානය ඔබතුමන් දැනුවත් කර ඇත.

2017-01-01 දින Sunday Times පුවත්පතේ පලවී ඇති ආකාරයට විගණකාධිපති වාර්ථාව අනුව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ දී (ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ කල සමාගමෙන්) රුපියල් බිලියන 3.9 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා කර ඇත. (අදාල පුවත්පත් වාර්ථාවේ පිටපතක් මේ සමග අමුණා ඇත)

ඉදිරියටත් මෙම සමාගමෙන් තවත් ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පමණ මිලදීගැනීම සඳහා 2016-11-02 දින කැබිනට් අනුමැතිය ලබාදී ඇත. කෙසේ නමුත් වත්මන් රජයේ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමන්ගේ (චම්පික රණවක මැතිතුමන්ගේ) සමයේ හදුන්වාදුන් ක්ෂනික මිලදීගැනීම් ක්‍රමය මගින් කිසිදු ගැටලුවකින් තොරව ඉතා ලාභදායිව ගල්අගුරු සපයාගනු ලබන බව අපගේ නිරීක්ෂණය යි.

එම මිලට සාපේක්ෂව 20016-11-02 නැවතත් කැබිනට් අනුමැතිය ලබාදුන් සමාගමෙන් (කැබිනට් මණ්ඩලය නොමගයවා අනුමැතිය ලබාගෙන ඇතිනිසා එම ගිවිසුම නීත්‍යනුකූල නොවන බව SCFR394/2015 නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති) මිලදී ගැනීමෙන් 2017 වසර වෙනුවෙන් ද විශාල මුදලක් රටට අහිමි වනු ඇත. රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට අති දැවැන්ත මුල්‍ය අපහරණයක් සදහා මාවත විවර කරන මෙම ගණුදෙනුව මෙයට වසර දෙකකට පෙර මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සදහා ඔබතුමන් විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දු සියල්ල නොතකා හැරීමකි. දැවැන්ත දුෂිත ක්‍රියාවලියකි.

ජනාධිපතිතුමනි, 2015 ජනවාරි 08 ජනවරම මහාපරිමාණ දූෂණ වංචා වැලැක්වීමේ අරමුණින් ජනතාව විසින් ඉමහත් බලාපොරොත්තු සහගත ලෙස ලබ දෙන ලද්දකි. සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය පුවත සදහා පාදක කොට ගත් විගණකාධිපති වාර්ථාව ඔබගේ කාරුණික අවධානය සදහා යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමි. ඒ අනුව, ‘මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 10 වන පරිච්ඡේදයේ පෙරොන්දු වූ පරිදි කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

මහා පරිමාණ ගල්අගුරු වංචාව මගින් මේ වන විට රටට රුපියල් බිලියන 3.9 ක් යහපාලන රජයට යටතේ අහිවී ඇත. රාජපක්ෂ රජය සමයේ මෙයට වැඩි අලාභයක් සිදු කළ නිසා මෙය නොතකා හැරිය යුතුය යන ස්ථාවරයේ ඔබගේ කැබිනට් මණ්ඩලය සිටින්නේ නම් එය ඉතා අවසනාවන්ත තත්වයකි. රටට ලාභදායී හා විනිවිදභාවයෙන් යුත් ක්ෂනික මිලදීගැනීම් ක්‍රමය යටතේ නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය සපයාගැනීමට හැකියාව තිබිය දී රටේ සම්පත් මංකොල්ල කෑමට රාජ්‍ය නිලධාරීන් පිරිසකට ඉඩදීම කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතු තත්වයකි. ගල්අගුරු මාෆියාව විසින් බොහෝ බොහෝ ප්‍රබල දේශපාලඥයින් හා රජයේ නිළධාරීන් ගිලගෙන ඇති බව විවෘත රහසකි.

තවද, මීට පෙර SCFR394/2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව කැබිනට් මන්ඩලය නොමග යවමින් මෙම ගල් අගුරු ටෙන්ඩරය පිරිනමා ඇති බව තීරණය වූ බව ද ඔබතුමන්ගේ කාරුණික අවධානය සදහා යොමු කරමි. අනෙක් අතට, මේ වන විට උක්තකරුණ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ (SCFR 349/2016) ද නඩුවක් විභාග වෙමින් පවතී.

ඉදිරි සතියේ ඇරඹීමට නියමිත ගල් අගුරු මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුලින් සිදුවන මුල්‍ය පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 4 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයේ වේ. මෙම ජාතික අපරාධය වැලැක්වීම සදහා සුදුසු පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි,
මෙයට-විශ්වාසී,

කීර්ති තෙන්නකොන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 ජනවාරි මස 02 වැනිදා සඳුදා

Archive

Latest news

Related news