Sunday, April 28, 2024

යෝෂිතගේ ඩේසි ආච්චි වෙනුවට රවිගේ සරදියෙල් මීමුත්තා පැමිණීම

රවි කරුණානායකට මුදල් ඇමතිකම ලැබී ඉදිරිපත් කළ පළමු අය-වැයේ දී එක් අපූරු කතාවක් කීවේ ය. “මේක සරදියෙල්ගේ අය-වැයක්” යනුවෙන් ය. කතාව කී පසු සමාජයෙන් එල්ල වූ විවේචන හමුවේ ඔහු යළි එය නොකී ය. කතාව අපූරු වුව ද, එය ගොන් කතාවක් බව පසුව ඔහු තේරුම් ගන්නට ඇත. කෙසේ වෙතත්, දැන් ක්‍රියාත්මක කෙරෙන කටයුතු දෙස බලන විට පැහැදිලි වන කරුණක් තිබේ. “සරදියෙල්ගේ අය-වැයක්” යනුවෙන් ඔහු එදා කියා තිබෙන්නේ වෙනත් අර්ථයකින් බවයි. මහ දවල් ජනතාවගේ මුදල් මංකොල්ලකන්නට තමන් ඇතුළු පිරිසට ලැබී තිබෙන බලය පිළිබඳව එදා කියූ බව ය.

මහ බැංකු අධිපති වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් පත් කර සති තුනක්වත් ඉක්මවා යාමට පෙර මහ දවල් දුන්නු බැඳුම්කර මංකොල්ලයෙන් ඒ බව හෙළි වූයේ ය. මේ වනවිට ගණන් බලා ඇති ආකාරයට 2015 පෙබරවාරි මස 27 වැනි දින සිදු කළ මහජන මුදල් කොල්ලය රුපියල් කෝටි 5,500ක් පමණ වී තිබේ. රනිල් ඇතුළු නඩයක් එය ආරක්‍ෂා කළ පිළිකුල්සහගත ආකාරය ඉන් පසු ප‍්‍රදර්ශනය විය. මහ බැංකු බැඳුම්කර මංකොල්ලයෙන් පටන් ගත් ගමන ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු බොහෝ දෙනෙක් අනුගමනය කළෝ ය. කොයි කවුරු කොහොම කීවත් මහජන ධනය මහ දවල් මංකොල්ලකෑමේ අංක එක තවමත් බැඳුම්කරයට හිමි ය.

රොබින් නොව හොර හුඩ්
රොබින් නොව හොර හුඩ්

දෙවැනි තැනට සටන් වදින අය අතර පෙරමුණේ සිටින්නේ රවි බව පැහැදිලි ය. වාහන බදු වංචාවත්, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වංචාවත් ඇතුළු සරදියෙල් පන්නයේ මහ කොල්ලයන් රැසක් පිළිබඳව රවිගේ නම ඉහළින් ම කියැවේ. පසුගිය සතියේ ‘ලංකා’ මුල් පුවතින් හෙළි කළ ප‍්‍රවෘත්තිය විශේෂ වැදගත්කමකින් යුක්ත ය. රවි කරුණානායක පවුල් සමාගමට අයත් ‘ග්ලෝබල් ට‍්‍රාන්ස්පෝටේෂන් ලොජිස්ටික් ප‍්‍රයිවෙට් ලිමිටඩ්’ නම් පෞද්ගලික සමාගම විසින් පොදු කන්ටේනර් අංගනයක් පවත්වාගෙන යාම ය. පොදු කන්ටේනර් අංගන පවත්වාගෙන යාමේ හැකියාව ඇත්තේ ගුවන් තොටුපළ සේවා අධිකාරියට හා වරාය අධිකාරියට පමණි. එසේ තිබිය දී හොර තක්කඩි ආකාරයෙන් මෙම ගුදම පවත්වාගෙන යමින් සිටී. එය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කළ පසු රවි කර තිබුණේ, චන්ද්‍රිකා, මහින්ද සහ රනිල් යන තිදෙනා ම තමන්ගේ ජාවාරමට හවුල් බව ප‍්‍රකාශ කිරීම ය.

අය-වැය විවාදය තුළින් ජනතා අවධානය එතරම් යොමු නොවූ සැඟවුණු කරුණු වශයෙන් මෙවැනි තොරතුරු රාශියක් හෙළි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල් හඳුන්නෙත්ති විසින් රවි සහ පවුල් සමාගම් පිළිබඳව ප‍්‍රශ්න කරනු ලැබීමෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල මාරාවේශ වූවේ ය. ඔහුගේ මාරාවේශයට නිමිත්ත කරගෙන තිබුණේ පාර්ලිමේන්තු රීති ප‍්‍රශ්නයක් ය. තමන්ගේ ගජයා වන රවි කරුණානායකගේ ගුදම බේරා ගැනීමට රීති ප‍්‍රශ්න යොදා ගනු ලැබී ය. රටේ පොදු ජනතාවට එම මාරාවේශය සහ සංවාදය අග මුල සහිතව බලා ගත නොහැකි වූ බවට සැක නැත. රූපවාහිනියෙන් සජීවීව පාර්ලිමේන්තු විවාද විකාශය කළ ද, ඒ කෙරෙහි සැලැකිය යුතු අවධානයක් ජනතාව යොමු නොකරන නිසා ය.

කෙසේ වෙතත්, රවි කරුණානායක ඇතුළු නඩය මහජන මුදල් සහ සම්පත් සරදියෙල්ගේ ක‍්‍රමයට කොල්ලකමින් හිඳීම පිළිබඳ තොරතුරු රැසක් හෙළි කිරීමට තිබේ. ජේ. ආර්. නායකත්වය දෙමින්, විධායක ජනාධිපති ධුරය දැරූ සමයේ කෝටිපතියකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ පිහිටෙන් රවි කරුණානායක මේ රටේ දළකාරයකු වූ බව දන්නෝ දනිති. ලලිත් ඇතුලත්මුදලි මිය ගිය පසු දේපළ ප‍්‍රශ්නයක් බේරා ගැනීමට ශ්‍රීමනී ගිය අවස්ථාවක ශ‍්‍රීමනීව නැන්දම්මා කර ගැනීමේ උත්තරය දීමට තරම් රවි ධනයෙන් බලසම්පන්නව සිටියේ ය. සරදියෙල් පන්නයේ මංකොල්ලවලට රවි මුල පිරුවේ එසේ ය.

රවි බලවත් වීමේ තරම කොතෙක් දැයි ශ්‍රීමනීව නැන්දම්මා කර ගැනීමට යෝජනා කිරීමෙන් පමණක් නැවතුණේ නැත. විශේෂයෙන් 2002-2004 කාලයේ යළිත් ඔහු පණ ගසන්නේ ය. පොඩි පොඩි කකුල් මාට්ටු වශයෙන් නඩුහබවලට මුහුණ දීමට සිදු වුවත්, ඒ සියල්ලෙන් රිංගා යාමේ නූල්සූත්තර රවිලාට තිබේ. විදේශ විනිමය වංචාවක් සම්බන්ධයෙන් පැවරී තිබූ නඩුවෙන් නිදහස් වූයේ නූල්සූත්තර වැඩ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දැන් යළිත් රවිට උදා වී තිබෙන්නේ ඉහගෙන කෑමට හොඳ කාලයක්ය. සරදියෙල් පන්නයේ ක්‍රියාකාරකම්වලින් රවි ඉහගෙන කෑමට පටන් ගෙන තිබේ.

එය කර තිබෙන මූලික න්‍යාය වන්නේ බිරිඳ හා දුවගේ නමින් ‘ග්ලෝබල් ට‍්‍රාන්ස්පෝටේෂන් ලොජිස්ටික්’ සමාගම යොදා ගනිමින් තිබීම ය. දැන් හෙළි වන ආකාරයට රුපියල් මිලියන 30ක් හෝ ඊට වැඩි ගණනක් වටිනා නිවාස හතක් ගෙවී ගිය මාස දහඅටක් වැනි කාලයක් තුළ දී පවුලේ ළඟ ම ඥතීන් හත්දෙනෙකුගේ නමින් ලියැ වී තිබේ. මේ නම් සුපිරි ලෙස කරගෙන යන සරදියෙල් පන්නයේ ඇමතිකමක බලමහිමය වේ. පාර්ලිමේන්තුවේ දී රවි වෙනුවෙන් ලක්‍ෂ්මන් මාරාවේශ වෙන්නේ කවුරු කවුරුත් රැකෙන්නේ තම තමන්ගේ ආරක්‍ෂාව තම තමන් එක් එක්කෙනා මත පමණක් පැටවීමෙන් නොවන බව ඔවුහු දනිති. එදා ජේ. ආර්. තම තමන්ගේ ආරක්‍ෂාව තම තමන් සලසා ගත යුතු බව කීවේ හුදී ජනයාට ය. අර්ජුන් මහේන්ද්‍රන්, රවි, ලක්‍ෂ්මන් ඇතුළු සියලු දෙනාගේ ම අනාගතය රැඳී තිබෙන්නේ එකිනෙකා වෙනුවෙන් එකිනෙකා සටන් වැදුණහොත් පමණි. දෙසැම්බර් මස 10 වැනිදා මුදල් අමාත්‍යාංශ කාරක සභා විවාදයේ දී සිදු වූයේ එයයි.

මෙහි දී සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රබල අභියෝගයක් කළේ ය. මුදල් ඇමති රවිගේ පවුලේ සමාගම විසින් පොදු කන්ටේනර් ගුදමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එදින සභාව අවසන් කිරීමට පෙර අගමැතිවරයාට ප‍්‍රකාශයක් කරන ලෙස අභියෝග කර තිබුණේ ය. එසේ වුවත්, අගමැතිවරයා එම අභියෝගය භාරගෙන ප‍්‍රකාශයක් කළේ නැත.

අනෙක් පැත්තෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් එරාන් වික‍්‍රමරත්න නියෝජ්‍ය ඇමතිවරයාට ද මෙම ප‍්‍රශ්නය යොමු කර තිබිණි. “එරාන් වික‍්‍රමරත්න ඇමතිතුමා කියන්න, මේ බොන්ඩ් වෙයාර් එක පවත්වාගෙන යාම අනුමත කරනවා ද?” යනුවෙන් ප‍්‍රශ්න කළේ ය. බැඳියාවන් අතර ගැටුමක් මෙහි තිබෙන බවත්, රවි කරුණානායකට අයත් ග්ලෝබල් ට‍්‍රාන්ස්පෝටේෂන් සමාගම තම බිරිඳගේ නමට පවරා පොදු ගුදමක් පවත්වාගෙන යාම තුළින් ඇති වන බලපෑමත් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා හෙළි කළේ ය. රවි කරුණානායකගේ බිරිද සහ දියණිය සහ පවුලේ සමාගමට අයත් නීති විරෝධී පොදු ගුදමක් තිබේ. අනෙක් පැත්තෙන් එම ගුදම්වල ගබඩාකර තිබෙන භාණ්ඩවලට බදු අය කරන්නේ රවි කරුණානායක මුදල් ඇමති යටතේ තිබෙන ප‍්‍රධාන ම දෙපාර්තමේන්තුව ය. එය රේගු දෙපාර්තමේන්තුව ය.

රේගු දෙපාර්තමේන්තුව යනු රජයට වැඩි ම බදු ආදායම් ප‍්‍රමාණයක් උපයා දෙන දෙපාර්තමේන්තුව වේ. මෑත කාලයේ වාහන සම්බන්ධව රේගුවට මුදල් ඇමති විසින් කරන ලද බලපෑම් පිළිබඳව ‘ලංකා’ මෙයට පෙර හෙළි කර තිබිණි. එමඟින් රජයට රුපියල් කෝටි හත්සිය ගණනක බදු මුදලක් අහිමි වී ඇති බව පසුව හෙළි වී තිබිණි. එසේ වූ කල තමන්ගේ ම ගුදමක අනුන්ගේ බඩු ගබඩා කර තබා බදු අය කිරීමේ දී කවරාකාර බලපෑම් කරනු ඇද්දැයි අනුමාන කළ හැකි ය. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අතීත අත්දැකීමක් මත එයට අදාළ අනතුරු ඇඟවීමක් එම විවාදයේ දී කර තිබිණි. එය නම්, සීනි ආනයනය සම්බන්ධයෙනි. රුපියල් 30.00ක් වූ කිලෝවක් මත බදු මුදල එක් වර ම ශත 25ක් දක්වා අඩු කර එක්සත් ජාතික පක්‍ෂයේ සීනි ජාවාරම්කරුවකු වෙනුවෙන් මහජන මුදල් ගෙඟ් මුහුදේ දැමූ සිද්ධිය පිළිබඳව ය.

මුළු රටේ ම මූල්‍ය ආයතන පාලනය කරන මහ බැංකුවේ ලොක්කා වූ අර්ජුන් මහේන්ද්‍රන් තමන්ගේ බෑනාගේ සමාගමට රුපියල් කෝටි 5,500ක් තරම් ඉහළ මංකොල්ලයක් කිරීමට ඉඩ දෙන විට මුළු රටේ ම මුදල් ඇමති වූ තමා කරන්නේ කජ්ජක් දැයි රවි සහ පවුල් සමාගමේ කෙරුම් සම්බන්ධයෙන් ඔහුට ලැජ්ජා සිතෙන්නට ඇත. එම ලැජ්ජාව අඩුවෙන් මංකොල්ලකෑම පිළිබඳව ය. එහෙයින්, ලැජ්ජාව මඟහැර ගැනීමට දෝ අර්ජුන් ඇලෝසියස් විසින් රවි කරුණානායකට මසකට ඩොලර් 10,000ක් හෙවත්, රුපියල් ලක්‍ෂ 13ක් පමණ වියදම් කර නිවෙසක් කුලියට ගෙන දී තිබූ බව හෙළි කර තිබිණි. මසකට රුපියල් ලක්‍ෂ 13ක් වූ කුලී ගෙයක් යනු කවර ආකාරයේ සුර සැප දෙන්නක් දැයි හුදී ජනයාට සිතා ගත නොහැකි ය. සරදියෙල් පන්නයේ මුදල් ඇමති රවිගේ වැඩ එසේ ය.

අය-වැය තුළින් මතු වූ නෑසූ කතා ගැන සොයා යාමේ දී තවත් වැදගත් තොරතුරු සරදියෙල් මුදල් ඇමති ගැන හෙළි විය. පසුගිය මැතිවරණ සමයේ රාජපක්‍ෂ පිළේ හැකර කටකාරයකු කියූ කතාවක් මෙයට අදාළ ය. “උස්මුරුත්තා වීමට තරම් කා බී ඉන්න පිරිසකට අමුතුවෙන් කන්නට ඉඩක් නැති බව ය. එසේ වුවත්, බඩගින්නේ ඉන්න අයට අවස්ථාව ලැබුණහොත්, මුල සිට ම කන්නට පටන් ගන්නා බව ය.” රවි කරුණානායක වැනි සරදියෙල්කාරයන් දැන් කන්නට පටන්ගෙන තිබේ. රාජපක්‍ෂ කාලයේ සහ ඊට පෙර වරින්වර වේළි වේළී ඉඳීමට සිදු වීමේ පාඩුව පියවා ගැනීමේ අර්ථයෙන් කෑමට පටන්ගෙන තිබේ. ඔහු වේළී සිටීම කොතරම් දැයි හෙළි වන්නේ 2014දී තදබල ආර්ථික සුනාමියකට හසුව සිටීම තුළින් ය. එම වසරේ දී බත්තරමුල්ල ‘අයිකොනික්’ සුපිරි නිවාස සංකීර්ණයේ නිවාස තුනක් මිල දී ගැනීමට අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියනය බැගින් ගෙවා තිබී ඇත. පසුව අදාළ මුළු මුදල ගෙවා නිවාස අත්පත් කර ගැනීම ප‍්‍රමාද වී ඇත්තේ, ආර්ථික දුෂ්කරතා නිසා ය.

‘හැම දා නියං එකදා වැහි වලාවේ’ යන කියමන සරදියෙල්කාරයන්ට පොදු වේ. එක මංකොල්ලයකින් ආර්ථික නියඟය අවසන් කර ගත හැකි ය. හොර කල්ලියක් වූ රාජපක්‍ෂ කල්ලිය පරාජය කර පිහිට වූ දින සියයේ ආණ්ඩුව තුළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම රුපියල් කෝටි 5,500ක් තරම් අති විශාල මංකොල්ලයක් මහ දවල් කරන විට මුදල් ඇමති හැටියට කෙසේ ක්‍රියා කළ යුතු දැයි රවි කල්පනා කරන්නට ඇත. කල්පනා කර ලබා ගත් ප‍්‍රතිඵලය කොතරම් දැයි හෙළි නොවුවත්, ‘අයිකොනික්’ ගොඩනැඟිල්ලේ සුපිරි නිවාස තුන වෙනුවෙන් අත්තිකාරම් ගෙවා ඇත. ගෙවා ගත නොහැකි වූ ඉතිරි මුදල වෙනුවෙන් රුපියල් මිලියන 96ක් හෙවත්, රුපියල් නවකෝටි හැට ලක්‍ෂයක් දින සියයේ මුදල් ඇමති කෙනෙකු වශයෙන් ගෙවා ඇති බව හෙළි වේ. සරදියෙල් ආකාරයට මුදල් ඇමතිකම් කරන්නේ කෙසේ දැයි මේ මඟින් අනෙක් අයට පාඩම් කියා දී ඇත. බැඳියාවන් අතර ගැටීම් ගැන අගමැතිවරයා හඳුන්නෙත්තිගේ අභියෝගය පරිදි ප‍්‍රකාශයක් කරන්නේ කෙසේ දැයි මෙයින් පැහැදිලි වේ.

සරදියෙල් මුදල් ඇමතිකම ගැන තව දුරටත් හෙළි වන්නේ රුපියල් මිලියන 165ක් හෙවත් රුපියල් දහසය කෝටි පනස් ලක්‍ෂයක අධි සුඛෝපභෝගී නිවසක් රවිගේ පවුල් සමාගම විසින් මිල දීගෙන තිබෙන බව හෙළි වීමෙන් ය. එය ලබාගෙන තිබෙන්නේ කොළඹ ‘මොනාක්’ සුපිරි නිවාස සංකීර්ණයෙන් ය. යෝෂිත රාජපක්‍ෂගේ මාලිගා මිල දී ගැනීම සම්බන්ධයෙන් ඇපයට තැබීම සඳහා ඩේසි ෆොරස්ට් ආච්චි සිටින්නී ය. ආච්චිට නන්නාඳුනන පුද්ගලයකු මැණික් මලු දී ගිය විට එම මුදල් යොදවා ඉඩමේ සහ මාලිගා ලබා ගැනීමට ඩේසි ෆොරස්ට් ආච්චිට හැකි ය. රවි කරුණානායකගේ ගේම් හෙළි කරන දාක ඔහු කියනු ඇත්තේ කුමක් ද? සරදියෙල් ඉංග්‍රීසින්ගෙන් මංකොල්ලකන ලද මුදල්, රන්, රිදී, මුතු, මැණික් තමන්ට ලබා දුන් බව ය. සරදියෙල් ලලිත් ඇතුලත්මුදලි පවුලට සම්බන්ධ මීමුත්තෙක් බවත්, එනිසා ඇතුලත්මුදලි මිය යාමට පෙර සරදියෙල්ගේ වස්තු සඟවා තිබූ තැන ගැන රහසක් තමාට කියා තිබූ බවත් අනාගතයේ දී කියනු නොඅනුමාන ය. දැන් වැඩ සිදු කෙරෙමින් තිබෙන්නේ එලෙස ය.

එක පැත්තකින් ආනයනික සුඛෝපභෝගී වාහන තුළින් කරුණානායක පවුලට සල්ලි උනයි. අනෙක් පැත්තෙන් බෑනාගේ සමාගමේ අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස්ගේ බැඳුම්කර සල්ලිවලින් විසි කරන ඒවා ය. අනෙක් පැත්තෙන් නීති විරෝධී ගුදම් පවත්වාගෙන යාමෙන් ගලා එන සල්ලි ය. අනෙක් පැත්තෙන් රුපියල් මිලියන 165ක් වටිනා අධි සුඛෝපභෝගී නිවාස වාසනා පෑදෙන උල්පත් ය. අනෙක් පැත්තෙන් රුපියල් මිලියන 96ක නිවාස වාසනා පෑදෙන උල්පත් ය. සනුහරේ පවුල් හත අටකගේ නමට සින්නක්කර නිවාස ලැබෙන උල්පත් ය. මේ සියල්ල ලැබෙමින් තිබෙන්නේ සරදියෙල්ගේ මුදල් ඇමතිකමේ පිනට ය.

ඉදිරියේ ජනතා අධිකරණයක දී මේ පිළිබඳව විභාග කෙරෙන විට යෝෂිතගේ ඩේසි ආච්චි සේ ම රවිව ගලවා ගැනීමට කියැවෙන්නේ සරදියෙල්ගේ නම පමණක් නම් නොවේ ය. බලය දරමින්, මුදල් ඇමතිකම් දරමින් සිංහ සෙයියාවෙන් සිටින විට දී පවා පාර්ලිමේන්තුවේ දී චන්ද්‍රිකා, මහින්ද, රනිල් ආදී නම් කියන්නේ නම්, වත්මන් සිංහ හම අහිමි වී ජනතා අධිකරණය ඉදිරියේ සිටින විට කවුරුන් ගැන තවත් කියාවි දැයි දන්නේ රවීලා ම ය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

Archive

Latest news

Related news