Monday, May 20, 2024

හම්බන්තොට වරායේ විරෝධතාවය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන්ට නාවික හමුදා ප්‍රහාර; ආණ්ඩුවෙන් පරීක්ෂණයක්

වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා  හම්බන්තොට වරායේ සේවකයන් විසින් දියත් කර තිබෙන විරෝධතාවය හා වැඩවර්ජනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අද (10) නාවික හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වේ.

හම්බන්තොට වරායේ සේවක පිරිස 482 ක් වන අතර ඔවුන් විසින් දින 4 ක් පුරාවට දියත් කර තිබූ වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස වරායේ නැංගූරම්ලා තිබූ චීනයේ සිට හා සිංගප්පුරුවේ සිට පැමිණි නෞකා පිටත්ව යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබුනි. එයට හේතු වී තිබුනේ වරාය විසින් අදාල නැව් සඳහා ලබා දිය යුතු සේවාවන් ලබා දීම වැඩ වර්ජනය නිසා ඇණහිට තිබීමයි.

අද (10)පෙරවරු 10 ට පමණ හම්බන්තොට වරායේ හිරවි ඇති  වාහන රැගත් නැව මුදා ගැනීමට නාවික හමුදාව 500 ක පමණ   විශාල  කණ්ඩායමක්  වරායේ නැගෙනහිර කොටසේ ‍තෙල් පර්යන්තය දෙසට ලඟා විය.
ඒ වනවිට වරායේ සේවකයින් වරායේ ජැටියේ, සහ වරාය ප්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ නියැලී සිටියහ. මෙහිදී ඉතා උණුසුම් තත්වයක් හට ගැණුනි. එහිදී නාවික හමුදා නිලධාරීන් තුවක්කුවලින් හා පොලුවලින් සේවකයන් හට පහර එල්ල කර තිබේ. එසේම එම සිදුවීම් වාර්තා කළ මාධ්‍ය වේදීන්ටද ප්‍රහාර එල්ල කර ඇත.

වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ  ගිණි අවිවලින් හා පොලුවලින් පහර පිට පහර දෙන්නට වූ බවද උමේෂ් මහතා කීය. ඇතැම් අය බිම පෙරලා දාගෙන බඩ පවා පාගෙන සිටි බවද පහර කැමට ලක් වූවෝ කියති. පහර කෑමට ලක් වූ පස් දෙනෙකු   හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බවද උමේෂ් මහතා සඳහන් කලේය. නාවික හමුදා නිළධාරින් ඩෝරා යාත්‍රා මගින් වරාය ජැටිය වෙ ලඟා වූයේ වරායේ ජැටියේ රැඳී සිටි සේවකයින්ට වෙඩි පහර එල්ල කරමින් බව වරාය සේවක සංගමයේ ප්‍රචාරක නිළධාරි අයි.එච් උමේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට
LNW

 

රැකියාවේ සුරක්ෂිත භාවය සහතික කරගනු පිණිස අරගලයක යෙදී සිටින හම්බන්තොට වරාය සේවකයන් තම භාරයට ගෙන සිටි විදේශීය නෞකා දෙකක් මුදා ගැනීමේ සන්නද්ධ මෙහෙයුමක යෙදුනු නාවික හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් උද්ඝෝෂකයන් හත් දෙනෙක් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙක් තුවාල ලබා සිටිති.

 තුවාල ලැබු එක් මාධ්‍යවේදියකු සුරියවැව රෝහලට ඇතුලත් කර ඇත.

ඊයේ දිනට (10) යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයෙදී මෙම ප්‍රහාරය සිදුවීම සුවිශේෂ වේ.

හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය විය.

ශ්‍රී ලංකා මිරර්

 

හම්බන්තොට මාධ්‍යවේදියකුට ‘පහර දීම’ ගැන පරීක්ෂණයක්

සෙනසුරාදා හම්බන්තොට වරාය තුළ හටගත් උණුසුම් වාතාවරණය අතරවාරයේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දුන් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හම්බන්තොට වරායේ විරෝධතාවයක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණේය.

ඒ අවස්ථාවේ එහි පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැණ වැදෙන ආකාරය සහ මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස තමන් පොලිසියට දන්වා ඇති බවය.

විරෝධතාවේ යෙදී සිටි සේවකයන් විසුරුවා හැරීමේදී නාවික හමුදාපතිවරයා සහ නාවික හමුදා භට කණ්ඩායම කටයුතු කළ ආකාරය වැරදි නොවන බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිවරයාට ද දන්වා ඇති බව ද සඳහන් කළේය.

“සිද්ධියක කෑල්ලක් පමණක් අල්ලගෙන කතාකිරීම තමයි මෙහි ඇති අඩුපාඩුව. ඒ සේවකයන් නීතිය කඩ කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබෙනව. නැව් අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කළා. ඒ සියල්ල ගෙන සමස්තයක් වශයෙන් මේ දෙස බැලිය යුතුයි,” ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

“මාධ්‍යයටත් අපි කිව්වා මෙතැනින් පොඩ්ඩක් අයින් වෙන්න කියලා,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි නමුත් ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හරිනු ලැබ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කරයි.
bbc sinhala

Archive

Latest news

Related news