Monday, May 20, 2024

‘ඊ නිව්ස් කර්තෘට රතු වරෙන්තු නිකුත් කරන්න බෑ” ඉන්ටර්පොල් කී බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙයි

ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට චෝදනා ගොනු කර නැති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් නිකුත් කළ නොහැකි යයි ඉන්ටපොල් පොලිසිය දන්වා ඇතැයි රහස් පොලිසිය අද ගම්පහ අධිකරණයට දැන්වීය.

ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව ජාත්‍යන්තර පොලීසිය දැනුම් දී ඇතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ ය.

රිවිර පුවත් පතේ හිටපු කර්තෘ  උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් පුද්ගලයා  ලෙස තෙන්නකෝන් මහතා හඳුනා ගත් ප්‍රේමානන්ද උදලාගමගේ ඡායාරූපයක් එම හඳුනා ගැනීමේ පෙරට්ටුවට පෙර ලංකා ඊ නිව්ස් හි පළ කළැයි අසත්‍ය චෝදනා නගමින් ඒ අනුව අධිකරණයට අපහාසයක් වූ බව ද කියමින්  සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නැයි පසුගියදා වරෙන්තු නිකුත් කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර එය ඉන්ටර්පොල් පොලිසිය හරහා ක්‍රියාත්මක කරන්නැයිද  සඳරුවන් සේනාධීර ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත් අඩංගුවට ගන්නැයි ආගමන විගමන පාලකටද නියෝග කළාය.

එදා එකී නීති විරෝධී නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය කාවින්ද්‍රා නානායක්කාර අද මෙම නඩුව විමසීමට නොපැමිණ අධිකරණය මග හැර නිවාඩු ලබා ගොස් සිටි අතර එදා නඩුවට අතර මැදින් පැන ඉන්ටර්පොල් වරෙන්තු ඉල්ලා සිටි හේමන්ත වර්ණකුලසූරිය ද අධිකරණයට පැමිණ සිටියේ නැත. අද නඩුව විමසුවේ වැඩ බලන මහේස්ත්‍රාත් චන්දිමා ජයදේවි අමරසිංහ මහත්මියයි. ලබන සතියේ අධිකරණය වර්ෂාවසාන නිවාඩුව සඳහා මසකට ආසන්න කාලයක් වසා තැබෙන අතර යලි විවෘත වෙද්දී කවින්ද්‍රා නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පූගොඩ අධිකරණයට මාරු කර තිබේ. ඒ අනුව ඇය යලි මෙකී නඩු විභාගයට සම්බන්ධ නොවනු ඇත.

අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ සමූහ අපරාධ අංශය විසින් අද ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ජයදේවි අමරසිංහ මහත්මියට වැඩි දුරටත් දැනුම් දුන්නේ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවේ සඳහන් ලිපිනයේ සඳරුවන් සේනාධීර නොමැති බව යි.

උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් රහස් පොලිසිය ඉල්ලා සිටි අතර නඩුව යලි අප්‍රේල් හත් වැනි දාට කල් තැබිණි.

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.09)

Archive

Latest news

Related news