Monday, May 20, 2024

සම්පූර්ණ වාර්තාව දැන් සිංහල බසින්: ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා

වාර්තාවෙහි පෙරවදන පහත පළවේ. සම්පූර්ණ වාර්තාව පීඩිඑෆ් ගොනුවක් ලෙස පහත අමුණා ඇත.

ජනමාධ්‍ය කර්මාන්තය පසුගිය දශක කීපය තුළදී වේගවත් ප‍්‍රබල වෙනස්කම්වලට ලක් විය. මෙම වෙනස්කම් විසින් මාධ්‍ය කර්මාන්තයටත්, මාධ්‍ය පරිහරණය කරන ජනතාවටත් ඍජු බලපෑම් කරනු ලැබේ. එමඟින් පුද්ගල ජීවිත, ආකල්ප, සිතුවිලි, ප‍්‍රාර්ථනා, විශ්වාස හා මතවාද රාමුගත කරමින් ජනමාධ්‍ය විසින් සමාජයේ දේශපාලන, සංස්කෘතික හා ආර්ථික දිශානතිය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරනු ලැබේ.

එබැවින් මෙම අතුරු මුහුණත බැරූරුම් අධ්‍යයනයට හා විචාරයට ලක් විය යුතු ය.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඓන්ද්‍රියව පරිණාමය වී තිබෙන්නේ බොහෝ විට අවිධිමත් ආකාරයකටයි. ජාතික සංවර්ධනයෙහිදී හා ජාතික ඒකාබද්ධකරණයේ දී මාධ්‍යවලට කළ හැකි භූමිකාව පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව රජය හා සමාගම් අයිතිකරුවන් ඇතුළු වෙනත් පාර්ශ්ව විසින් මාධ්‍ය පාලනය කිරීමට උත්සාහ කරනු ලැබේ. පැහැදිලි මාධ්‍ය ප‍්‍රතිපත්ති පරිණාමය වීම හා මාධ්‍යවල ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා රටෙහි දියත් වී ඇති දේශපාලන ප‍්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමෙහි ලා අත්‍යවශ්‍ය ය.

මාධ්‍ය කර්මාන්තයේ, මාධ්‍ය වෘත්තිකයන්ගේ හා මාධ්‍ය පාරිභෝගිකයන්ගේ අදහස්, ප‍්‍රතිචාර, උපදෙස් ලබා ගැනීමේ පුළුල් ක‍්‍රියාවලියක් මත පදනම්ව, මෙම වාර්තාව විසින් ප‍්‍රයෝජනවත් අවස්ථා විශ්ලේෂණයක් සපයනු ලැබේ. ඒ හා සම`ග ම ප‍්‍රතිපත්ති මග පෙන්වීම් හා නිර්දේශ ද ලබාදි ඇත. අපගේ බලාපොරොත්තුව වන්නේ රජය, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම්, ශාස්ත‍්‍රඥයින් හා මාධ්‍ය කර්මාන්තය අප විසින් සිතියම්ගත කර තිබෙන මෙම මග අනුගමනය කිරීම සඳහා අත්වැල් අල්ලා ගනු ඇති බවයි.

ආචාර්ය ප‍්‍රදීප් එන්. වීරසිංහ

සභාපති හා තේමාත්මක ප‍්‍රධානී
ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ලේකම් කාර්යාල

සම්පූර්ණ වාර්තාව පිඩිෆ් ගොනුවක් ලෙස කියවන්න report-in-sinhala

වාර්තාව අන්තර් ජාලයෙහිද මෙහිදී කියවිය හැක.

Archive

Latest news

Related news