Saturday, April 27, 2024

ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් ගන්නා නීතිමය කි‍්‍රයා මාර්ගය සාධාරණ විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙසට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු කවීන්ද්‍රා නානායක්කාර මහත්මිය විසින් නොවැම්බර් 25 වැනිදා, අන්තර්ජාතික පොලීසියට නියෝගයක් නිකුත් කිරීම ආශ‍්‍රිතව පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙහි අවධානය යොමු වී තිබේ. මෙය ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියකුට එරෙහිව අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කළ පළමු අවස්ථාවය. සඳරුවන් සේනාධීර මහතා පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ අවස්ථා කිහිපයකදීම විවිධ තර්ජනවලට ලක්වූ අතර, එහි ප‍්‍රතිපලයක් ලෙස රට හැර ගිය මාධ්‍යවේදියෙකි.
ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වූ ප‍්‍රවෘත්ති කිහිපයක් මගින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාසයක් සිදු වී ඇති බව පවසමින් නීතිඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අතර රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුවට අදාළ කරුණක් පදනම් කරගෙන ගම්පහ මහේස්ත‍්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම ක‍්‍රියාදාමය පිළිබඳ විමසා බැලීමේදී අපගේ අවධානය යොමු වන කරුණු කිහිපයක් තිබේ. ඉහත නියෝගය නිකුත් කිරීමට පෙර, ඊ නිව්ස් කතුවරයාට එරෙහිව රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා කල්තියා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කර තිබිණි. එමෙන්ම පසුගිය සති කිහිපය තුළ ආණ්ඩුවේ ප‍්‍රධාන පෙළේ නායකයින් දිගින් දිගට ම ජනමාධ්‍ය දැඩි දෝෂදර්ශනයට ලක් කරන පිළිවෙතක් අනුගමනය කළේය. විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් විධිමත් ප‍්‍රතිපත්තියක් සකස් කිරීම මඟහරිමින්, තමන් කැමති පරිදි ඒවා පාලනය කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බව ද පෙනෙන්නට තිබේ. එයින් පැහැදිලි වන්නේ බියගැන්වීම මගින් මාධ්‍ය පාලනය කිරීමේ ප‍්‍රතිපත්තියකට ආණ්ඩුව යොමු වී සිටින බවයි.

මාධ්‍ය සම්බන්ධයෙන් රජයේ බලවතුන් විසින් පසුගිය කාලය තුළ දිගින් දිගට ම කරන ලද අනියම් ආකාරයේ හා සෘජු තර්ජනාත්මක ප‍්‍රකාශවල දිගුවක් ලෙසට ඊ නිවුස් කතුවරයා සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයා මාර්ගය සටහන් වන්නේ නම් එය ලෝකයට සන්නිවේදනය කරන්නේ යහපාලනය සම්බන්ධ පණිවුඩයක් නොවේ. ඔහුගේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නීතිමය ගැටලූවක් තිබේ නම්, ඒ අරභයා ගනු ලබන පියවර සාධාරණ හා විනිවිද පෙනෙනසුලූ විය යුතු බව අපි අවධාරණය කර සිටිමු.

එමෙන්ම ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් බරපතළ ආචාරධාර්මික ගැටලූ ගණනාවක් ඇති අතර, සේනාධීර මහතා කර්තෘත්වය දරන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ද එහිලා දැඩි දෝෂදර්ශනයට ලක් වන මාධ්‍ය ආයතනයකි. සමාජ වගකීමක් සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම උදෙසා, ආචාරධර්මානුකූල හා සදාචාරවත් මාධ්‍ය භාවිතයක් අත්‍යාවශ්‍ය වන බව නිරන්තරයෙන් අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ද සියලූ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටී.

සීතා රංජනී – කැඳවුම්කරු

සී. දොඩාවත්ත – ලේකම්
2016. 11. 27

Archive

Latest news

Related news