Sunday, April 28, 2024

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් අත් අඩංගුවට ගන්නැයි නීති විරෝධී ජාත්‍යන්තර වරෙන්තුවක් – ඊ නිව්ස් කතු මඩුල්ලේ ප්‍රකාශය

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් අත් අඩංගුවට ගන්නැයි නීති විරෝධී ජාත්‍යන්තර වරෙන්තුවක් : කුමන්ත්‍රණයේ සුල මුල සහ විහිළුකාර නඩු ඇහිල්ල.

LeN කර්තෘ මණ්ඩල ප්‍රකාශය.

 ශ්‍රී ලංකාවේ අධිකරණය, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ තවත් කිහිප දෙනෙකුගේ වුවමනාව මත නීති විරෝධී සහ ක්‍රම විරෝධී නඩු තීන්දු ලබා දෙන බව මොනවට ඔප්පු කරමින් සතියකට පෙර අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී වහසි බස් දෙඩූ ලෙසින්ම ගම්පහ මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර විසින් ලංකා ඊ නිව්ස් කතුවරයා අධිකරණයට අපහාස කර ඇතැයි යන අපරාධ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් ඊයේ(25) නිකුත් කළාය. එම රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහායෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට නියෝග කොට ඇත.

ඒ සමගම ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක වරයාටද ඇය විසින් නියෝග නිකුත් කරන ලදී.

කවීන්ද්‍රා නානායක්කාර විසින් සඳරුවන් සේනාධීර අධිකරණයට අපහාස කර ඇති බවත් එම චෝදනාව යටතේ අභියාචනාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කළ අතර එලෙස තීන්දු කරන ලද්දේ රිවිර පුවත් පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවේ ප්‍රධාන සැකකරු ප්‍රේමානන්ද උදලාගම හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූපයක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කිරීම යන හේතුව ය.

මෙහි ඇති අපූරුව නම් රිවිර කර්තෘ තමාට පහර දුන් අය බවට හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම ඇප මත නිදහස් කරන විනිසුරු කවින්ද්‍රා ඔහුගේ සේයාරුව පළ කළ ඊ නිව්ස් කතුවරයා වෙත ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමයි. ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවා වීමද අමතක කළ නොහැකිය.

නීති විරෝධී සහ ක්‍රම විරෝධී නඩු ඇහිල්ල

ලංකාවේ අධිකරණ ක්‍රියාවලියම විහිළුවකට ලක් කෙරෙන කවින්ද්‍රා නානායක්කාර නමැති මහේස්ත්‍රාත්වරියගේ නඩු ඇහිල්ල නීති විරෝධී සහ ක්‍රම විරෝධී වන්නේ මෙසේය.

ප්‍රථමයෙන්ම මෙකී රිවිර කර්තෘට පහර දීමේ නඩුවට ඊට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති ලංකා ඊ නිව්ස් ඈඳා ගත්තේ ලංකා ඊ නිව්ස් විසින් ඊට පෙර ඇයව දැඩි ලෙස විවේචනය කිරීමේ වෛරය පිරිමසා ගැනීමට ය. අලි හොරා තිලින ගමගේ සම්බන්ධ නඩුවේදී නීතිපතිවරයා තිලින ගමගේට එරෙහිව ගත් ක්‍රියාමාර්ග විවේචනය කරමින් ඇය විසින් ඇයගේ මුහුණු පොතේ සටහන් යොදා තිබිණ. විනිසුරුවරියක ලෙස ඇය කර ඇත්තේ බරපතල වරදක් බව ලංකා ඊ නිව්ස් විසින් විවේචනය කළ අතර ඇයගේ මුහුණු පොතේ ඇය විසින් ඇයගේ විවිධ ඉරියව් වල පින්තූර පල කරමින් ඒවාට කොමෙන්ටු දමන අයට හායි, හූයි,  තැන්ක් යූ, ෆ්‍රොෆෙෂනල් කියුටි ආදී බහු බූත අදහස් පළ කිරීම විනිසුරු වරියකට නොව ‘විනිසුරු බඩුවකට‘ ගැලපෙන ක්‍රියා යැයි ලංකා ඊ නිව්ස් ඇයව විවේචනය කර තිබිණ. විනිසුරු ධූරය අවමානයට පත් කරන ඇයගේ ක්‍රියා පිලිවෙත ගැන ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති මගින් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරද සිටියේ ය. එබැවින් කවින්ද්‍රා ලංකා ඊ නිව්ස් කෙරෙහි සිටියේ වෛරයකිනි. ඒ අනුව ඇය කෙළේ රිවිර කර්තෘට පහර දුන් නඩුවේ දී සැකකරුවාගේ පින්තූරය පළ කළා යැයි කියමින් එම නඩුව ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩු විභාගයක් ලෙස වෙනතකට ගෙන යෑමයි. ඊට ඇය පාදක කරගත්තේ ඇයට නිර්නාමිකව ලැබුණු ලිපියකි.

පොලිස් නිලධාරියෙකුට පවා නිර්නාමිකව ලැබෙන පැමිණිලි ගැන විභාග කළ නොහැකි අතර මහේස්ත්‍රාත්වරියකටද නිර්නාමික ලිපියක් පිලිබඳව විභාග කළ නොහැකිය. එසේ නමුත් ඇය මාස කිහිපයක් තිස්සේ ලංකා ඊ නිව්ස් වෙත දැන්වීම් දෙන්නේ කව්ද? එම ආයතන ප්‍රධානීන් ප්‍රශ්න කළ යුතුය ආදී අදාල නොවන නියෝග සීඅයිඩිය වෙත දුන්නා ය.

එසේ තිබියදී ඊයේ (25) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හදිසියේ  නඩුවට මැදිහත් වූ හේමන්ත වර්ණකුලසූරියගේ ඉල්ලීම මත රිවිර කර්තෘට පහර දුන් සැකකරුගේ පින්තූරය හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර පළ කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි ඇය තීන්දු කර එය අභියාචනාධිකරණයට යොමු කළාය. ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කළාය. සීඅයිඩිය ලංකා ඊ නිව්ස් පසුපස හඹා නොගියා යැයි කියා සීඅයිඩියට ද දොස් පැවරුවා ය.

මෝසතරකාර කවීන්ද්‍රා නානායක්කකාගේ මුහුණු පොතෙ
මෝසතරකාර කවීන්ද්‍රා නානායක්කකාගේ මුහුණු පොතෙ

තුන් කට්ටුව අධිකරණය විහිළුවක් කළ හැටි

විජේදාස රාජපක්ෂ, හේමන්ත වර්ණකුලසූරිය, කවීන්ද්‍රා නානායක්කාර නඩය අධිකරණය විහිළුවක් කෙළේ මෙසේය

1. ලංකා ඊ නිව්ස් විසින් චෝදනා කර ඇති විනිසුරුවරියක් ලෙස ඇය අපට එරෙහිව ඇය විසින් නඩු ඇසීම මූළිකවම වැරදිය. තමන්ගේ නඩුව තමන්ම ඇසීම සිදු නොකළ යුත්තක් බව මූලික සිද්ධාන්තයකි. එ් අනුව අප ‘බරපතල යුක්තියේ අපගමනයකට‘ ලක්ව තිබේ.

2. උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරු ප්‍රේමානන්ද උදලාගමගේ ගේ සේයාරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර පළ කිරීම වැරදි යයි කියන්නේ උපාලි තෙන්නකෝන්ට සැකකරුවා හඳුනා ගැනීමට උපකාරී කළා වීම නම් අපට පෙර සැකකරුගේ රුවට සමාන රුවක් සිතුවම් කර ප්‍රසිද්ධ කළ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවද වැරදි විය යුතුය. අනෙක් අතට අප විසින් පළ කරන ලද සේයාරුව අපද උපුටා ගත්තේ අන්තර් ජාලයෙනි. එය ඊට පෙර ප්‍රසිද්ධ කර තිබුනේ ශ්‍රී ලංකාවේ රජය විසිනි. ඒ ඔහු ඊට පෙර සේවය කරන ලද තානාපති කාර්යාලයක උත්සවයක් අවස්ථාවේදී ගන්නා ලද්දක් ලෙස තානාපති කාර්යාලය විසිනි. එසේ නම් කවින්ද්‍රා අධිකරණයට අපහාස කළා යැයි නඩු දැමිය යුත්තේ අපට නොව රජයට ය. ලෝකයේ අපරාධ කරුවන් අල්ලා ගැනීමට අපරාධකරුවන්ගේ සේයාරූ පළ කරමින් මහජන සහාය ඉල්ලද්දී ලංකාවේ කවීන්ද්‍රා නමැති විහිළුකාරිය අපරාධකරුවෙකුගේ සේයාරුවක් පළ කිරීමෙන් ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කළා යයි වරෙන්තු නිකුත් කරයි. මේ  විනිසුරුවරියගේ තර්කය අනුව ලෝකයේ අපරාධකරුවන් කිසිදා සේයාරුවකට මුහුණ නොදුන් අය විය යුතුය.

3. තවත් ප්‍රධාන කරුනක් වන්නේ ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලා සිටීමේ නෛතික බලය ඇත්තේ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සීඅයිඩිය වෙත මිස අන් ආයතනයකට හෝ පුද්ගලයෙකුට නොවේ. ඒ යම් අපරාධයක් සම්බන්ධයෙන් සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වල ප්‍රගතියක් අනුව එකී සැකකරුවා එම අපරාධයට සම්බන්ධ බවට අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි අනුවය. ඒවා නීතිපතිගේ උපදෙස් මත සිදුවිය යුතුය. පරීක්ෂණ තව දුරටත් සිදුකරගෙන යන බැවින් සැකකරුවා අවශ්‍ය බව  කියමින් වරෙන්තු නිකුත් කරන්නැයි සීඅයිඩිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුය. මෙහිදී එවැනි කිසිදු ක්‍රියාවක් සිදුව නැත. සීඅයිඩිය ලංකා ඊ නිව්ස් ට එරෙහිව එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති අතර නීතිපති උපදෙස් සහිත කරුණු ඉදිරිපත් කිරීමක් ද කර නැත. කොටින්ම  සීඅයිඩිය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක් කවීන්ද්‍රාගෙන් ඉල්ලා නොමැති අතර ඉල්ලන්නේ අතරමැදදී ඊයේ නඩුවට සම්බන්ධ වන හේමන්ත වර්ණකුලසූරිය විසිනි. එවැනි තත්ත්වයක් තුල ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට කිසිදු නීතිමය අයිතියක් නැත. ඒ අනුව කවීන්ද්‍රා තම අධිකරණ බලතල අව භාවිතයේ යොදා ඇත. අධිකරණ සේවා කොමිසම ඇයට එරෙහිව මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතුය.

4. මෙහි ඇති තවත් අවනීතියක් නම් යමෙකුට විරුද්ධව ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමට පෙර සාමාන්‍ය වරෙන්තුවක් නිකුත් කර තිබිය යුතුය. එම වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි යයි පොලිසිය අධිකරණයට දන්වා තිබිය යුතුය. පුද්ගලයා අධිකරණය මගහැර සිටින්නේ යයි තහවුරු විය යුතුය. අපරාධකරුවාගේ සේයාරුව පළ කිරීම සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත කවීන්ද්‍රා නොතීසි නිකුත් කරාවි යයි බලාපොරොත්තුවෙන් අප සිටි අතර එසේ කෙළේ නම් රිවිර කර්තෘට පහර දීම සම්බන්ධ නඩුවට අපද ඉදිරිපත් වී අපගේ නිර්දෝෂීභාවය පෙන්වා සිටීමට ද සූදානමින් සිටියෙමු. නමුත් විජයදාස හේමන්ත කවීන්ද්‍රා කුමන්ත්‍රණකරුවන් විසින් යුක්තියේ සාධාරණත්වය අප වෙත ලබා නොදෙමින් ප්‍රථමයෙන්ම ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කර ඇත.

5. කවීන්ද්‍රාගේ නඩු ඇහිල්ලේ තවත් විහිළුවක් වන්නේ ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කළා යැයි අභියාචනාධිකරණයේ නඩු පවරන ලෙස නියෝග කළ කවීන්ද්‍රා ඉන්පසුව ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමයි. එයද සම්පූර්ණයෙන්ම වැරදිය. නඩුව අභියාචනාධිකරණයට තැබුවා නම් වරෙන්තුවද නිකුත් කළ යුත්තේ අභියාචනාධිකරණය විසින් මිස කවීන්ද්‍රා නොවේ.

මේ අවනීතිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් තීන්දුවක් ගත යුතු අතර සාධාරණ යුක්තිය පසිඳලීමකට මුහුණදීමේ අපට ඇති අයිතිය තහවුරු කළ යුතුය. 

ව්‍යාජ වරෙන්තු වලට ඉන්ටර්පොල් දඩ ගසනු ඇත.

ඉහත ප්‍රධාන කරුණු අනුව ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහි වරෙන්තුව නීත්‍යාණුකූල වරෙන්තුවක් නොවේ. රටේ අධිකරණ ඇමැතිවරයා පළමුවෙන් පාර්ලිමේන්තුවේ වහසි බස් දොඩා පසුව හෙංචයියන් විසින් එය ක්‍රියාත්මක කරන අධිකරණ ක්‍රියාවලියක් කිසිසේත්ම ස්වාධීන අධිකරණයක්ද නොවේ. එවැනි තත්ත්වයක් අනුව ප්‍රංශයේ පිහිටා ඇති ඉන්ටර්පොල් ආයතනය මෙවැනි අධිකරණ වලින් දේශපාලන වුවමනාවන් මත නිකුත් කරන ව්‍යාජ වරෙන්තු වලට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔවුන්ද ස්වාධීන සොයා බැලීමක් සිදුකරන අතර එහිදී මෙම වරෙන්තුව ව්‍යාජ වරෙන්තුවක් බවට ඔප්පු වුවහොත් ශ්‍රී ලංකාවේ රජයට විශාල වන්දි මුදලක් ගෙවීමට ද සිදුවනු ඇත.

අනෙක් අතට මෙතෙක් ඉන්ටර්පොල් ඉතිහාසයේ කිසිදු දිනෙක අධිකරණයට අපහාස කළා යැයි කවර නම් මාධ්‍යවේදියෙකුට හෝ එරෙහිව ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කර නැත. විශේෂයෙන් දේශපාලන රැකවරන මත සිටිනා මාධ්‍යවේදියෙකුට රැකවරණ ඉල්ලීමට හේතු කාරණා වූ රටෙන් නිකුත්  කරන වරෙන්තු සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කරද නැත.

දේශපාලන කුමන්ත්‍රණයේ හැඩ රුව

ඒ අනුව ලංකා ඊ නිව්ස් මෙය සලකන්නේ විජයදාස රාජපක්ෂ හේමන්ත වර්ණකුලසූරිය කවීන්ද්‍රා වැනි පහත් පෙළේ තක්කඩියන්ගේ උද්ධච්ඡ කුමන්ත්‍රණයක් ලෙසත් මොවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රචාරක මාධ්‍ය වාසියක් පමණක් බවය.

මෙහි දේශපාලන කුමන්ත්‍රණයක්ද තිබේ. යහපාලන ආන්ඩුව බලය ගෙන ඒමට වෙහෙස වූ, රාජපක්ෂ රෙජීමය යටතේද දැඩි මර්දනයකට ලක්වූ, ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍යයක් යහපාලන ආණ්ඩුව යටතේද මෙලෙස පෙරටත් වඩා නීච අසාධාරණ මර්දනයකට ලක් කිරීමෙන් ආණ්ඩුව යහපාලනප්‍රේමී ජනතාවගේ දැඩි වෛරයකට ලක් වී තිබේ. අඟේ ඉඳන් කණ කන විජයදාස වැන්නෙකුගේ කුමන්ත්‍රණය සාර්ථක වී ඇත. අනෙක් අතට මාධ්‍ය නිදහස දැන් තිබෙනවා යැයි උඩ දමමින් කියන වත්මන් ආණ්ඩුවට මින් මතු එවැන්නක් කිව නොහැකිය. මන්ද යත් මෙම විගඩම් මර්දනය මේ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රධාන පුවතක් ලෙස ප්‍රචාරය කර ඇති බැවිනි. තවත් අතෙකින් ‘සමාජ මාධ්‍ය වලින් අපිට ගහනවෝ‘ යයි බෑඟිරි ගසන ආණ්ඩුවේ සිටින අයද මෙයින් කිසියම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වනවා ඇත. එනම් ‘ඔන්න අපි ලංකා ඊ නිව්ස් එකටත් වැඩේ දුන්නා.. තොපිලත් බලා ගනිල්ලා‘ යන පණිවුඩය ලබා දෙමින් සමාජ මාධ්‍ය ජාලා වල සිටින සුවහසක් තරුණ තරුණියන්ගේ හිසට ඉහලින් දැන් මර්දනයේ අසිපත එල්ලා තිබීමය.

අඟේ ඉඳන් කණ කන විජයදාස රාජපක්ෂ වැනි අවස්ථාවාදියෙකු ඇටවූ බොරු වලේ වැටෙනවාද? නැතිද ? යන්න ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතුය. එසේ නොවුව හොත් මෙය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇති බවටත් නිසැකවම හැරුම් ලක්ෂයක් වනු ඇති බවටත් අපි අනතුරු අඟවා තබන්නෙමු..! 

ජනවාරි 8 වෙනිදා ජනතාව ඇවිලූ නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, නීතියේ ආධිපත්‍යයේ ගිනි සිළුව කුමන්ත්‍රණකරුවන් කිහිප දෙනෙකුගේ වුවමනාවට නිවා දැමීමට ඉඩ දීමට අප සූදානම් නැත. ඕනෑම පාලකයෙකු හෝ පාලක කල්ලියක් ජනමාධ්‍යය මර්දනය කරන්නේ ‘මෙන්න අපි ජනමාධ්‍ය මර්දනය කරනවෝ‘ කියමින් නොවේ. ඔවුන් ඒ සඳහා දේශප්‍රේමය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනයම් හෝ පැණි තොගයක් මර්දන බෝම්බය වටා තවරන අයුරු ඉතිහාසය පුරා අප දැක තිබේ. ඒ කිසිවකට ලංකා ඊ නිව්ස් යටත් නොවන අතර කෙතරම් අමිහිරි වුවද, කුමන මර්දනයක් ආවද ජනතාවට සත්‍ය කියා පෑම අප ඉතිහාසය පුරාම ඉටු කර තිබේ. සැක නොසිතන්න.., අපගේ වගකීම අපි ඉදිරියටද එලෙසම ඉටු කරන බවට ශපථ කරන්නෙමු. 
(ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ඉන්ටර්පොල් වරෙන්තු  පුවත ප්‍රචාරය වූ තැන් සිට පැය 14 ක් පමණ යන තුරු ලංකා ඊ නිව්ස් වෙත සහාය පළ කරමින් අප සතු සියළුම දුරකථන අවහිර වෙමින් එක දිගට ඇමැතුම් ගලා ආවේය. ඒ අතර අපගේ දැඩි විවේචනයන්ට ලක්වූවන්ද කීවේ මේ තීරණාත්මක අවස්ථාවේදී කොන්දේසි විරහිතව ඔවුන් ලංකා ඊ නිව්ස් වෙත සහයෝගය දක්වන බවයි. එකි නොකී සියලු සුධීමතුන්ට ලංකා ඊ නිව්ස්හි අප්‍රමාණ ස්තූතිය පිරිනමමු)

සඳරුවන් සේනාධීර ඇතුළු කර්තෘ මණ්ඩලය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, පෙ.ව‍‍‍‍‍‍.6.25)

Archive

Latest news

Related news