Sunday, April 28, 2024

පොලිස් වධහිංසා ශ්‍රී ලංකාවේ පෟතූල බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට කියයි

එලඹෙන 15 සහ 16 දිනයන්හි ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදි පැවැත්වෙන වධහිංසා විරෝධී (එක්සත් ජාතින්ගේ) කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස් වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාවෙහි නොනැවත ලෙස සිදුවන බව කියා සිටී. එය කියා සිටින්නේ සැකකරුවන් අත් අඩංඟුවට ගනු ලබන්නේ කුමන වරදකටද යන්න නොසළකා මෙළෙස පුරුද්දක් වශයෙන් පොලීසිය වධහිංසා පමුණුවන බවයි. අත් අඩංඟුවට ගැනීමෙන් පසු පමනක් නොව අත්අඩංඟුවට ගැනිමේදී ද මෙළෙස වධහිංසා පමුණුවන බව එය කියයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් අනුව ඒ ඒ මානව හිමිකම් අරභයා මෙවැනි විමර්ශන කමිටු පිහිටුවා තිබේ. ළමා අයිතීන් පිළිබඳ කමිටුව සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ද එවැනි විමර්ශන කමිටු වෙති. සාමාන්‍යයෙන් සිව් වසරකට වරක් එම කමිටු රටවල එකී ප්‍රඥාප්තීන්ට අදාළව පවත්නා තත්වය විමර්ශණ සැසිවාර පවත්වා එක්සත් ජාතින්ගේ සංවිධානයට සිය වාර්තා ඉදිරිපත් කරති. එම විමර්ශණ සැසි වාර සඳහා ආණ්ඩුවට අනිවාර්යයෙන්ම වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර   සිවිල් සමාජ සංවිධානයන්ට ද වාර්තා ඉදිරිපත් කළ හැකිය.  එකි රටවල මානව හිමිකම් කොමිෂන් සභා පිහිටුවා ඇත්නම් ඒවා විසින් ද සිය ස්වාධීන වාර්තා ඉදිරිපත් කරනු ලැබේ. එමෙන්ම මෙම සැසි වාර්යන්හිදි සිවිල් සමාජ සංවිධානයන්ට අදහස් ඉදිරිපත් කළ නොහැකි නමුත් මානව හිමිකම් කොමිෂන් සභාවට අදහස් ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් වධහිංසා විරෝධී කමිටුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ වැදගත්කම එමගින් ඉහළ යයි.

සොරකම්, මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, පහරදීම්, නටබුන් හාරා වස්තු සෙවීම්. පවුලේ අඬදබර යනාදී සැක පිට අත් අඩංඟුවට ගත් පිරිස් මෙළෙස වධහිංසාවන්ට ගොදුරු වී තිබේ. මානව හිමිකම් කොමිසමට අනුව මෙරට දුර්විපාක නොලබා සිටීමට ඇති සංස්කෘතිය විසින් මෙම වධහිංසා පැමිණවීම් සදහා අනුබලදිමකි. වැරදි හදුණාගැනීම් මත අත් අඩංඟුවට පත් පුද්ගලයින්ට පවා පොලීසිය විසින් පහර දි ඇති අවස්ථා එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පොලීසිය තමන්ගේ පුද්ගලික තරහ පිරිමසා ගැනීම පිණිසද වධහිංසා පමුණුවන බව කියන වාර්තාව ඒ සඳහා ද උදාහරණ ද සපයයි.

ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් පමුණුවන වධහිංසා ක්‍රම කිහිපයක් වාර්තාව මෙසේ සඳහන් කරයි: සැකකරු නිරුවත් කර අතින්, පයින්, පොලුවලින්, වයර් වලින් සහ යකඩ පොලුවලින් පහර දීම; යටිපතුල් වලට පොලු පහර දීම; පහරදීමෙන් පසු බීමට වතුර නොදී සිටීම; නින්දා සහගත ක්‍රියාවන්හි යෙදීමට බල කිරීම; පාගා දැමිම සහ පා පහර දීම; ඇස්වලට. මුහුණට සහ ලිංගේන්ද්‍රියන්ට මිරිස් කුඩු/දියර දැමීම; දෙඅතින් එල්ලා සිරුර කරකවමින් යටි පතුල්වලට පහර දීම; නියපොතු ඇඹරීම; පැය ගණනාවක් ජනේලයකට හෝ කුටියේ දොරට මාංචු දමා තිබීම යනාදිය.

එම වාර්තාව තව දුරටත් කියන්නේ පොලිස් වධහිංසා පැමිණවීම් එන්න එන්නම වෛද්‍ය නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂමව කරන බවයි.

වධහිංසා පැමිණවීම්  සම්බන්ධයෙන් යවන ලද ලිපිවලට පොලීසියේ ඉහළම නිලධාරීන් පවා පිළිතුරු දි නැති බවද වාර්තාව ප්‍රකාශ කරයි.

මිට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ගණනාවක්ද සිය වාර්තා එළඹෙන සැසි වාරය සඳහා ඉදිරිපත් කර තිබේ. කණගාටුවට කරුණ වන්නේ මෙම වාර්තා සියල්ල ඉංග්‍රිසියෙන් පමණක් තිබිමය. පොලිස් වධහිංසාවන්ට නිතිපතා ගොදුරුවන්නේ සාමන්‍ය ජනයා වන අතර ඔවුන්ට මෙම වාර්තා කියැවිමට අවස්ථාවක් නොලැබෙයි. එපමණක්  නොව මේ තාක් එක් ඉංග්‍රිසි පුවත් පතක් හැරුණ විට අන් කිසිදු ජනමාධ්‍යක් වධහිංසා විරෝධී කමිටුවට ඉදිරිපත්ව ඇති වාර්තා ගැන කිසිදු සඳහනක් කර නැත.

ආණ්ඩුව අලුත් වුවත් එය විසින් ඉදිරිපත් කර ඇත්තේ රාජපක්ෂ සමයේදීම මෙන් ප්‍රතික්ෂේප කිරීමේ වාර්තාවකි. වධහිසා කමිටුවේ මෙම ශ්‍රී ලංකා සැසි වාරයේ වාර්තාව මේ මස අගදී නිකුත්විමට නියමිතය.

ඉංග්‍රිසි බසින් ඉදිරිපත් කරන ලද  වාර්තාව ස දහා මෙතැන කොටන්න

 

 

Archive

Latest news

Related news