ජායාරූපය: මව සහ පුතෙකුගේ වියොවින් දුකට පත් වව්නියාව ඕමන්තේ සින්නකුලම් ජනයා.
වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ විසිහය හැවිරිදි මවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව වයස අවුරුදු දෙකහමාරක සිය දරුවාද සමඟ සිය දිවි හානිකර ගැනීම ඇති කළ කම්පනය දැන් නිවී ගොස් ඇති අතර ඒ පිළිබදව ඇති වූ දේශපාලන කථිකාවතක ද සුපුරුදු පරිදිම අවසානයකට පැමිණ ඇත.
එම මව සිය පුත්‍රයාද සමඟ සිය දිවි තොර තර ගැනීම ගැන දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් සංදේශයට කියා සිටියේ යුද්ධයෙන් පසුව මූල්‍ය සමාගම් විසින් උතුරේ වැසියන්ට අධික පොලියට සුළු පරිමාණ ණය ලබා දෙනු ලැබීම නිසා ජනතාව ණය බරින් මිරිකී සිටින බවත් මෙම මරණයට හේතුව එය බවත් ය.
උතුරු නැගෙනහිර වාර්තාකාරුවන් සිටින ග්ලෝබල් ටැමිල් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ මුල්‍ය ආයතනයකින් ඇයගේ සැමියා විසින් අදාළ ණය මුදල ලබාගෙන ඇති බවත්, මීට දින කහිපයකට පමණ පෙර ඒ සම්බන්‍ධයෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක්ද සිදුව තිබූ බවත් ය.
බීබීසී සන්දේශය වාර්තා කළ අන්දමට දිවි හානි කරගත් නාගනාදන් සුගන්දිනී නැමති කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලීසියට පවසා ඇත්තේ එක්තරා මූල්‍ය සමාගමක් තම නිවසටම පැමිණ රුපියල් 25000ක ණය මුදලක් බිරිඳට ලබාදුන් බව යි. එම ණය වාරිකය ගෙවාගැනීමට නොහැකිව ඇය දුකසේ කල්ගතකර ඇති බවද ඔහු කියා තිබුණි.
දෙමසකට පෙර වනින් පෙදෙසෙහි ජනයා හමුවට ගිය අප කිහිප දෙනෙකුට එක් සමාජ ක්‍රියාකාරිකයකු මෙසේ කීවේ ය:
‘‘ළඟදි කිලිනොච්චියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් විවෘත කරා හයිඩ්‍රරාමනි සමාගමෙන්. එහි වැඩට එන තරුණ තරුණියනට මාසිකව රුපියල් 20, 000ක වැටුපක් ලබා දෙන බව ඔවුන් කලින්ම නිවේදනය කරළ තිබුණ. ඒ අනුව උසස්පෙළ හදාරමින් සිටි ළමයි පවා අධ්‍යාපනය අතහැර එහි වැඩට ගියා. වැටුප 20,000 ලැබුණ. එත් දවසම වැඩ කරන්න තිබුණ. එත් කමක් නෑ කියමුකො. පඩි දවසට වෙන්නෙ මොකක්ද කියළ දන්නවද? මුල්‍ය සමාගම් දොරටුව ළගට එනව. ඇවිල්ල අධික වියදම් සහිත ජංගම දුරකථන වගේ දේ නිකම්ම වගේ දෙනව, ලියැවලිවලට අත්සන් අරං පොලී එක්ක ගෙවනව කියළ. අන්තිමේ දි ළමයි පඩියට වඩා ණය කාරයො වෙලා!’’
ඇත්තට ම නම් පශ්චාත් යුද්ධ වන්නිය ජාවාරම්කාර මිනී කන්නන්ගේ දේශයක් බවට පත්ව තිබේ. වන්නියෙහි අප හමුවූ යුද්ධයෙන් විපතට පත් හැම අයෙකු ම වාගේ ගත් ණය ගෙවීමට බැරිව සිය හරකා බාන පවා විකුණා තවම ණය මෙන් දෙඟුණයක් තරම් ගෙවීමට නියමිතව සිටිති. යුද්ධයෙන් විපතට පත්වූ මේ ජනයාට සිය දිවි යළි ගොඩ නගා ගැනීමට ණය ගැනීම හැර වෙනත් මාවතක් තිබී හෝ ඇත්තේ හෝ නැත.
මෙම ණය උගුල ඔවුන්ට පහදා දීමට දේශපාලඥයින් හෝ ජනමාධ්‍ය හෝ උත්සාහ ගන්නා පාටක්ද නැත. මෙවැනි මරණයක් වූ විට ප්‍රකාශ ලබා දීම හැරුණ විට දේශපාලනඥයින් මැතිවරණ සමයේ හැරුණ විට මෙම ගම්මාන පැත්තේවත් නොඑන බවට අපට කීවේ එම ජනයා ම ය.
නාගනාදන් සුගන්දිනී තමබිළිදු දරුවාද සමග සිය දිවි තොරකර ගැනීමට සැබෑ හේතුව කවරදාක හෝ අපට දැන ගන්නට ලැබෙනු ඇතැයි සිතීම දුෂ්කර ය. ජනමාධ්‍යට එම මරණය එක් පුවතක් පමණි. ඔවුන් කල්පනා කරනු ඇත්තේ එවැනි කව්රුත් නොදන්නා දුප්පත් ගැහැනියක් ගැන කුමක් නිසා දිගටම වාර්තා කරන්නද කියාය. මන්ද යත් ඇය, මරණයෙන් දශකයකට පසුත් තවමත් මරණයේ සැබෑ හේතු සොයමින් සිටින ඩයනා කුමාරියක් නොවූ නිසා ය.
දෙමළ දේශපාලනය තීරණය කරන යාපනයට මෙවැනි ප්‍රශ්ණ බලපාන්නේ නැත. අවසාන යුද්ධය ඔවුන්ට බලපෑවේ නැති අතර විදේශගත දෙමළ ප්‍රජාවෙන් සියයට 80ක් තරම් පැමිණ සිටින්නේ යාපනය අර්ධද්විපයෙනි. එහි විදේශ මුදල් ආර්ථිකය සරු ය.
වන්නි ජනයා එල්ටිටීඊය යටතේත් යුද්ධයෙන් බැට කැවේ ය. යුද්ධාවසානයෙන් පසු ද දැවැන්ත යුද කරණය සහ පොලී කන්නන් නිසා බැට කන්නේද ඔවුන් ය. මේ වනාහී සමාජ සාධාරණ ව්‍යාපාරයන් විසින් පාලකයන්ට මඟ පෙන්වනු පිනිස ඉදිරියට ගත යුතු සාකච්ජාවකි.
අඩුම වශයෙන් එම මරණය පිටුපස වූ පොලීකාර මිනීකන්නන් විසින් කරගෙන යන යුද්ධය නිසා සේසතම නැතිවූ මෙම ජනයාගේ රුධිර පානය සාකච්ජාවට ගැනීම උතුරු දේශපාලනඥයින්ගේ සහ ජනමාධ්‍ය යේ කාර්යක් නොවිය යුතු ද?
නාගනාදන් සුගන්දිනී සහ ඇයගේ බිළිදු පුතුගේ මරණයේ දෝංකාරය අපට කියන්නේ යුද්ධයෙන් විපතට පත් වන්නි ජනයාගේ ඛේදවාචකය යි.