Sunday, April 28, 2024

එෆ්.අයි.සි.ඩී. ය යටතේ මහා පරිමාණ දූෂණ විමර්ශන නැවතිලා; තාජුඩීන් විමර්ශනය යට ගහලා – ජනාධිපති සිරිසේන

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් බේරා ගැනිමට විමර්ශන පමා කරන්නේද යන ප්‍රශ්ණය ජනාධිපති සිරිසේනගේ හෙළිදරව්වේ යටි අරුතයි; ජායාරූපය Ishara-Kodikara.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකය (එෆ්.අයි.සි.ඩී. ) ගොඩ නගන ලද්දේ මහා පරිමාණ දූෂන විමර්ශනය කර නඩු පැවැරීමට වුවත් දැන් එය කරන්නේ වාහන අනිසි පාවිචිචිය, කොඩි කණු මිලට ගැනීම, කැරම් බෝඩ් බෙදා හැරීම වැනි සුළු පරිමාණ සිදුවීම් යැයි ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව කියා ඇත්තේ අද සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි පළවී ඇති සාකච්ජාවකදීය. එෆ්.අයි.සි.ඩී.ය පවතින්නේ ඍජුවම අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ බැවින් මෙම චෝදනාව අනියමින් එල්ල වන්නේද ඔහුටය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ ජනාධිපති සිරිසේන පවත්වන ලද සම්මුඛ සාකච්ජාවෙන් උපුටා ගත් අදාල කොටසේ සිංහල අනුවාදය පහත පළවේ.

‘‘එෆ්.අයි.සි.ඩී.ය හැදුවේ මහා පරිමාණ වංචා සහ දූෂණ ගැන සොයන්න. එයට සීමාවක් ද පණවා තිබුණා. එෆ්.අයි.සි.ඩී.ය හැදුවේ පුද්ගලික ආරවුල් හෝ සමාගම්හි කළමනාකරණ අර්බූද, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රශ්ණ, සමාගම්වල මුල්‍ය අර්බූද යනාදිය විමර්ශණය කරන්න නොවෙයි. මා හිතන්නේ එයට දැන් සිදුවිම් 400ක් විතර සොයන්න තියෙනවා කියළයි. අපට අවශ්‍ය වුණේ රාජ්‍ය අරමුදල් සහ දේපල අනිසි පරිහරණය පිළිබඳ විමර්ශනයන්ට මූලිකත්වය දීමටයි. එය තමයි එහි නිලධාරීන් කළ යුත්තෙ.

‘‘ නුමත් අපේ අරමුණ ඉටුවුණේ නැත්තේ එය වෙනත් දේ ගැන අවධානය යොමු කල නිසයි. අනෙක් ආයතනත් ඒ වාගේමයි. අල්ලස් සහ දූෂන විමර්ශණ කොමිසම ගන්න. කොමසාරිස්වරු හොඳ අය. ඔවුන් තමන්ගේ කාර්යය අවංකව ඉටු කරනවා. නමුත් එහි කාර්ය මණ්ඩලය මෙය තේරුම් ගත යුතුයි. ඔවුන් ද අවංකව සහ අපක්ෂපාතව කටයුතු කළ යුතුයි. එයයි මගේ විවේචනය. පසුගිය අවුරුද්ද පුරාම මා මේ ප්‍රශ්ණය ගැන  ආණ්ඩුව ඇතුලේ කතා කර තියෙනවා. පහළ මට්ටමේ නිලධාරීන් කටයුතු කළ යුත්තේ එහෙමයි. එයින් කියවෙන්නේ නැහැ කොමසාරිස්වරුන්ට බලපෑම්  හෝ විමර්ශන නතර කරන්නය කියා. මා අදත් කියන්නේ මහා පරිමාණ දූෂණ සහ වංචා විමර්ශණයන් ඉක්මන් කළ යුතු බවයි.

‘‘ ඩුබායි බැංකුවක මුදල් තැන්පත් කිරීම පිළිබඳ විමර්ශනය දැන් නැවතිලා.දැන් අවුරුද්දක් පුරා ඇවන්ට් ගාඩ් නැව ගාලු වරායේ ආණ්ඩුව බාරයේ තියෙනවා. එහි තිබූ ආයුදවල අංක මකා තිබුණු බව මට දැනගන්න ලැබුණා. නමුත් දැන් ඊට එරෙහිව නඩුවක් නැහැ, අපි නැව බලා ගන්නවා විතරයි! වසීම් තාජුඩීන් මරණය ගැන පරීක්ෂණය යට ගහලා. මිග් 27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ පරීක්ෂණයත් එහෙමමයි. මට තවත් උදාහරණ දෙන්න පුළුවන්. මහජනයාට අවශ්‍ය මෙවැනි දේ ගැන දැනගන්න.

‘‘ මහජනයාගේ දැන ගැනීම පිනිස මා මේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන. විමර්ශණ ආයතනයන්ට බලපෑම් කරන්න අපට අවශ්‍ය නැහැ. අප තමයි ඒවා හැදුවේ. අප අපේක්ෂා කරන්නේ ඔවුන් අපක්ෂපාතීව වැඩ කරනු ඇතැයි කියළයි.”

.

 

Archive

Latest news

Related news