Friday, May 3, 2024

ධර්මරත්නම් සිවරාම් ඝාතන පරීක්ෂණ යටගැසූ නිළධාරියා හෙළිවේ

2005 වසරේ අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මිතුරන් දෙදෙනෙකු සමග සිටියදී, පැහැරගෙන ගොස් මරා දැමූ, දමිළ ජාතික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ ඉහළ නියෝගයක් පිට යටගැසූ පොලිස් නිළධාරියා මේ වනවිට හෙළි වී තිබේ.

ධර්මරත්නම් සිවරාම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවක පරීක්ෂණ පවත්වන ලද්දේ කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසිනි. එම අවධියේ කොළඹ අපරාධ කොට්ඨාශය භාර අධ්‍යක්ෂක වශයෙන් ක්‍රියාකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් ලූගොඩ මහතාය. එ් මහතා මේ වනවිට විශ්‍රාම ගොස් සිටී. මෙම ඝාතන පරීක්ෂණය වහාම නවතා දමන ලෙස ලූගොඩ මහතාට ඉහළින් නියෝගයක් ලැබුණාද ? නොඑසේ නම්, ඔහු විසින් ස්වෙච්ඡාවෙන් එකී පරීක්ෂණ නවතා දැමුවේද යන්න මේ වනවිට විමර්ශනයට බඳුන්වෙමින් පවතී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 2005 වසරේ ජුනි මස 13 වන දින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුන ද පසුව ඉහළින් ආ නියෝගයක් මත, ‘ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ විය හැකි බව කියමින් CCDය විසින් ඔවුන් දෙදෙනා නිදහස් කර තිබේ. මොවුන් දෙදෙනා නිදහස් කරන ලෙස ලූගොඩ මහතාට අණකළේ කවුරුන්දැයි තවමත් පැහැදිලි නැත.

තවද සිවරාම් මහතා පැහැර ගැනීමට යොදාගත්තේ යැයි කියන WP HT-6276 අංකය සහිත, ඉන්දියාවේ නිෂ්පාදිත SCORPIO වර්ගයේ ජීප් රථය කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර එම ජීප් රථයේ තිබී සිවරාම් මහතාට අයත් ජංගම දුරකතනයේ සිම් කාඩ්පත සොයාගැනීමට හැකිවී තිබේ. මෙම සිම් කාඩ්පත ඩයලොග් GSM සමාගමේ සහාය මත ‘ත්‍රිකෝණ තාක්ෂණය (Triangular Technology)’ ඔස්සේ ලුහුබැඳ ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඉහත කී WP HT-6276 අංකය දරන ජීප් රථයේ ලියාපදිංචි හිමිකරුවා වන්නේ PLOTE සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්ය. එහි ලියාපදිංචි ලිපිනය ලෙස සඳහන් වන්නේ කොළඹ 07, වෝඩ් පෙදෙසේ, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයයි.

පීටර් කියන්නේ සිද්ධාර්ථන්ගේ රියදුරා

අප මුල් පුවතේ විස්තර කළ පීටර් යන තැනැත්තාගේ සෑබෑ නාමය ආරුමුගම් ශ්‍රී ස්කන්ධරාජාය. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිවරාම්ගේ ජංගම දුරකතනයේ සිම් කාඩ්පත සොයාගෙන තිබෙන්නේ මොහුගේ සන්තකයේ තිබියදීය. මෙම පීටර් නැමැත්තා 1988 වසරේ මාලදිවයින් රජය පෙරළා දැමීමට සිදුකරන ලද අසාර්ථක කැරැල්ලේ නායකයාය. එමෙන්ම ඔහු PLOTE සංවිධානයේ සන්නද්ධ නායකයා ද වේ. මොහු නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවයද ලබාගත් අයෙකි. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය නුදුරේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම පීටර් නැමැත්තාව සිවරාම් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තද විමර්ශන අතරමග නතර කර දමා නිදහස් කොට යවා තිබේ. මේ සම්බන්ධයෙන් PLOTE නායක ඩී. සිද්ධාර්ථන්ව කිසිදු දිනෙක අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුකර නොමැත.

එමෙන්ම සිවරාම් මහතා පැහැර ගන්නා ලද අවස්ථාවේ ඔහු සමග සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා හෝ මේ වනවිට විදේශගතව සිටින සිනමාවේදී ප්‍රසන්න රත්නායක මහතා කිසිම අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අවම වශයෙන් කටඋත්තරයක් ලබාගැනීමට හෝ කැඳවා නැත. කුසල් පෙරේරා මහතා එකළ මාධ්‍ය වෙත පවසා තිබුනේ අදාල ජීප් රථය තමාට නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවය. එම ජීප් රථයේ පිටුපස අතිරේක රෝදයක් සවිකර තිබූ බව මාධ්‍යවේදී කුසල් පෙරේරා සඳහන් කර තිබිණි.

2005 අවධිය වනවිට PLOTE සංවිධානය අතුරු හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග උරෙනුර ගැටී මෙහෙයුම් කළබව ප්‍රසිද්ධ කරුණකි.

පළමු අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ විට පීටර් හෙවත් ආරුමුගම් ශ්‍රී ස්කන්ධරාජා කොළඹ අපරාධ කොට්ඨාශයට පාපොච්ඡාරණය කර ඇත්තේ සිද්ධාර්ථන්ගේ ජීප් රථය තමා රාජු නැමැත්තෙකුට දින කිහිපයකට පාවිච්චියට දුන් බවයි. ඔහු සිටින තැන් පිළිබඳව පීටර් කරුණු හෙළි කළද CCDය කිසිදිනෙක ඔහු අත්අඩංගුවට ගැනීම හිතාමතාම පැහැර හැර තිබේ. එකී රාජු නැමැත්තාට සිත්සේ පැනයාමට CCDය සති දෙකක කාලයක් ලබාදී ඇත.

මේ අනුව ධර්මරත්නම් සිවරාම් ඝාතනයේ පරීක්ෂණ යටගැසූ නිළධාරියා ලෙස රහස් පොලීසිය මේ වනවිට හඳුනාගෙන ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතාය. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායම් ඉදිරියේදී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත වේ.

– ලංකා නිව්ස් වෙබ්

Archive

Latest news

Related news