Friday, May 3, 2024

ආයතන සංග්‍රහය සංශෝධනය කර රාජ්‍ය සේවකයාගේ ප්‍රකාශණයේ අයිතිය තහවුරු කරනු!  – ලංකා ගුරු සංගමය

‘තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එමින් තොරතුරුවලට ඇති බාධක ඉවත් කළ බව ප‍්‍රකාශ කළද, රාජ්‍ය සේවකයින්ට ආයතන සංග‍්‍රහයේ ඉහත වගන්තිය මඟින් ඇති බාධකය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර නැති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය  අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ ඉල්ලීම් සිදුකළ ද එම වගන්ති සංශෝධනයට කිසිදු රජයක් කටයුතු කර නැති බවට චෝදනා කරයි.  එමෙන්ම මේ තාක් සිදුව ඇත්තේ සිදුවූයේ එම වගන්තිය දඩමීමා කරගෙන රාජ්‍ය සේවකයින් බිය ගැන්වීම හා දඬුවම් කිරීම බැවින් අවශ්‍ය සංසෝධන ගෙනැවිත් රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහතිකකරන ලෙස එම මංගමය ඉල්ලා සිටි.

මේ සම්න්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රකාශය පහත දැක්වේ:

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධාවන ආයතන සංග‍්‍රහයේ වගන්ති වහා සංශෝධනය කළ යුතුය.

තමන්ට පාසල තුළදී සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ කොළඹ මහානාම විදුහලේ ගුරුවරියක වන සමන්ති පැලකැටිය මහත්මියගේ වැඩතහනමට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2016.09.28 දින රාජ්‍ය සේවකයන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියට නව අර්ථකථනයන් සපයමින් ඉතා ප‍්‍රශස්ත තීන්දුවක් ලබාදුනි.

ආයතන සංග‍්‍රහයේ xxxi වැනි පරිච්ඡේයේ 3.2 වගන්තියට අනුව රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි කොට තිබුණි. ඒ යටතේ වැරදිකරුවන් වූ රාජ්‍ය සේවකයන්ට බොහෝ අවස්ථාවල දඬුවම් විඳීමට ද සිදුවිය.

ශ්‍රේෂ්ඨාධිකරණය 2016.09.28 දින SC/FR/76/2012 අංකයෙන් යුතු පෙත්සම සලකා බලා ලබා දුන් තීන්දුව මඟින් රාජ්‍ය සේවකයන්ට පැවති මෙම බාධකයට නව අර්ථකථනයක් සපයා ඇත.

එසේම රජය මේ වන විට තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එමින් තොරතුරුවලට ඇති බාධක ඉවත් කළ බව ප‍්‍රකාශ කළද, රාජ්‍ය සේවකයින්ට ආයතන සංග‍්‍රහයේ ඉහත වගන්තිය මඟින් ඇති බාධකය ඉවත් කිරීමට කටයුතු කර නැත. අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ ඉල්ලීම් සිදුකළ ද එම වගන්ති සංශෝධනයට කිසිදු රජයක් කටයුතු කර නැත. සිදුවූයේ එම වගන්තිය දඩමීමා කරගෙන රාජ්‍ය සේවකයින් බිය ගැන්වීම හා දඬුවම් කිරීමයි.

මේ වන විට අධිකරණය ලබාදුන් ඉහත තීන්දුව මඟින් මෙම වගන්තියට නව අර්ථකථනයක් ලැබී ඇති තත්වයක් තුළ ආයතන සංග‍්‍රහයෙන් රාජ්‍ය සේවකයින්ට ජනමාධ්‍යයට අදහස් දැක්වීමට ඇති බාධකය ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගෙන් මෙන්ම රජයෙන් ඉල්ලා සිටී.

(image form britishcouncil.in)

Archive

Latest news

Related news