Wednesday, April 24, 2024

යුද හමුදාව තමන්ට බාර වූ පිරිස් ගැන අධිකරණය මුලා කරලා: විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි

(මුලතිව් අධිකරණය ඉදිරිපට යුද හමුදාව, ජායාරූපය සිලෝන් නිව්ස් වෙතිනි)

යුදහමුදාව විසින් මුලතිවු අධිකරණයට ඉදිරිපත් කරණ ලද ලිපි ලේඛන සාවද්‍ය බවට එල්ල වූ විරෝධයක් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසිය වෙත බාර කරණ මෙන් මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්.සහාබ්දීන් නියෝග කොට තිබේ.

දිසා විනිසුරුවරයා එසේ නියෝග කළේ මුලතිවු අධිකරණයේ ගොනු කොට තිබූ හබයාස්කෝපස් නඩු දහතුනක් එකවර විභාගයට ගත් අවස්ථාවේදීයි.

යුද සමයේ අවසන් දින කීපයේදී ජීවිත බේරා දෙන ලෙස ඉල්ලමින් ඥාතීන් විසින් යුද හමුදාවට බාර දුන් එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් ඇතුළුව දෙමළ වැසියන් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙණුවෙන් මෙම හබයාස්කෝපස් නඩු පවරා තිබේ.

පැමිණිලිකරුවන්ගේ අයිතිවාසිකම් වෙණුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.ඒ.රත්නවේල් කියා සිටියේ එම පිරිස හමුදාවට බාරදෙන ලද අවස්ථාවේ සාක්කි වශයෙන් කතෝලික පියතුමන්ලා දෙදෙනෙකුද සිටි බවට පැම්ණිලි කරුවන් සාක්කි ඉදිරිපත් කරණ බවයි.

නමුත් මේ වන විට එම කතෝලික පියතුමන්ලාද අතුරුදහන් වී ඇති බව කී නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් නඩුවක් වවුනියාව අධිකරණයේ ගොණු කොට ඇතැයිද පැවසීය.

මේ සම්බන්ධයෙන් වූ පසුගිය නඩුවාරයේදී යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු අධිකරණයට කරුණු දක්වමින් යුදහමුදා බාරයට ගත් පිරිසකගේ නාමලේඛනයක් හමුදාව සතුව ඇති බව පැවසුවද ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ රජය මගින් පුනරුත්ථාපනය කොට නිදහස් කළ එල්.ටී.ටී.ඊ.සාමාජික සාමාජිකාවන්ගේ නාමලේඛනයක් යැයි රත්නවේල් නීතිඥවරයා සදහන් කළේය.

මෙය හිතාමතාම කළ බරපතල වැරැද්දක් බවට තමන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට රහස් පොලීසියට නියෝග කළ බවද නීතිඥවරයා පැවසීය.

ලබන නොවැම්බර් මස විසිදෙවනි දිනට මෙම නඩුව කල් තැබූ මුලතිවු දිසා විනිසුරුවරයා එදිනට රහස් පොලිස් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස ද නියෝග කොට තිබේ.

-ලංකා ඊ නිව්ස් /දිනසේන රතුගමගේ

Archive

Latest news

Related news