Thursday, May 2, 2024

දේශපේ‍්‍රමි අමුඩය සහ සාටකයේ දේශවාත්සල්‍යය – සුනිල් ජයසේකර

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මේ රටේ ජනතාව ඉතා පැහැදිළි ලෙසම කොටස් දෙකකට වර්ග කරන ලදී. ඒ දේශපේ‍්‍රමීන් හා දේශද්‍රෝහීන් යනුවෙනි. ඔහු මේ වර්ගීකරණය සිදුකළේ 2009 වසරේ උතුරේ පැවති අවසන් යුද ගැටුමේදී වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු ලද ජයග‍්‍රහණය ජාතිය හමුවේ ප‍්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිදුකළ විශේෂ කතාවේදීය. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එම බෙදා දැක්වීමට අර්ථ නිරූපණයක් ද ලබාදෙන ලදී. එනම් මින් ඉදිරියට රට තුළ සිටිනු ඇත්තේ දේශයට ආදරය කරන පුද්ගලයින් හා දේශයට ආදරය නොකරන පුද්ගලයන් පමණක් ය යන්නය.

දේශපේ‍්‍රමීයා යනු විශේෂයෙන්ම ඒ දිනවල ඉතා බහුල ලෙස සමාජය තුළ භාවිතයට ලක්වූ වචනයක් විය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ මිලේච්ඡු ක‍්‍රියාකාරීත්වයන් පරාජය කිරීම සඳහා දිවි නොතකා සටනට පිවිස අභීත සංග‍්‍රාමයක නිරත වූ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන් සැලකුම් ලැබුවේද දේශපේ‍්‍රමීත්වය පෙරටු කොටගත් උදාර අරමුණක නියැලි පිරිසක් ලෙසය. මේ රට ත‍්‍රස්තවාදයෙන් මුදාගැනීම සඳහා ඔවුන් සිදුකළ පරිත්‍යාගයන් කැපකිරීම් හා දක්වන ලද නිර්භීත භාවය හමුවේ සත්‍ය වශයෙන්ම ඔවුන් වෙතින් ප‍්‍රදර්ශනය වූයේ දේශපේ‍්‍රමීත්වයයි. ඒ ගැන කිසිදු සැකයක් නැත.

එහෙත් අවාසනාවකට මෙන් මේ රටේ සැබෑ රණවිරුවන් සිදුකළ කැපවීම් හා පරිත්‍යාගයන් හි අස්වැන්න පසුකලෙක නෙලාගැනීමට උත්සාහ කරන ලද්දේ මේ රටේ දේශපාලකයන්ය. ඒ තමන්ගේ බලය වෙනුවෙනි. තමන්ගේ පරපුරේ අනාගත පැවැත්ම වෙනුවෙනි. එහිදී ඔවුන්ට අනුගත පිරිස දේශපේ‍්‍රමීන් ලෙසද දේශපාලනික වශයෙන් ඔවුනට එකඟත්වයක් නොදක්වන අන් සියලූ දෙනාම දේශද්‍රෝහීන් ලෙසද වර්ග කිරීමට උත්සාහ කළේ ඒ අනුවය.
සිංහල භාෂාව පිළිබඳ මහා විශාරදයෙකු මෙන්ම මහා සිංහල භූමිපුත‍්‍ර පක්ෂයේ නිර්මාතෘවරයා ද වන ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ මහා සිංහල ශබ්ද කෝෂයට අනුව දේශපේ‍්‍රමියා යනු තමන්ගේ රටට ඇල්මක් ඇති පුද්ගලයා ය. දේශමාමකයා යනු රට මගේ යන හැඟීමක් ඇති කෙනාය. දේශවාත්සල්‍යය යනු රට ගැන ඇති ඇල්මය. ඒ අනුව මෙම අරුත් සලකා බැලීමේදී මතුවන ප‍්‍රශ්නයක් වන්නේ එම අරුත් මුල්කරගනිමින් මේ රටේ ජනතාව වර්ග කිරීමට උත්සාහ කළ අය එසේ කර ඇත්තේ ඊට අදාළ ගුණාංගයන්ගෙන් යුත් එම හැඟිම් තුළ කටයුතු කළ නිසාද එසේ නැතහොත් පටු බලකාමය තුළ එම වචන සමාජ ගතකර මේ රටේ ජනසමාජය බෙදන්නට උත්සාහ කළ පිරිසක් ද යන්න සලකා බැලීමේදීය.

ඔවුන්ගේ කියුම් කෙරුම් හා සමාජ ගත කරන්නට උත්සාහ කළ ලේබල් පිළිබඳව කල්පනා කිරීමට හේතු වන ප‍්‍රකාශයක් පසුගියදා එක් දේශපාලනඥයෙකු විසින් සිදුකර තිබුණි. ඒ පසුගිය සතියේදී පාර්ලිමේන්තුව තුළදී ය. ඒ මේ රටේ විපක්ෂ නායක වන ආර්. සම්බන්ධන් මහතා විසිනි. සම්බන්ධන් මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසන් වීමත් සමග අත්අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් එකළොස්දහසක් පමණ පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කටයුතු කළ ද මෛත‍්‍රී රනිල් ආණ්ඩුවට මාස දහඅටක් ගත වී ඇතත් ඉතිරි වී සිටින එල්.ටී.ටී.ඊ රැු`දවියන් නිදහස් කිරීමට කටයුතු කර නැති බවය.

ආර්. සම්බන්ධන් මහතා සිදුකර ඇති ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම නිවැරදිය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අවසන් වසර පහක කාලය තුළ නිදහස් කරන ලද එල්.ටී.ටී.ඊ සමාජිකයන්ගේ ප‍්‍රමාණය එකලොස්දහසක් වූ බව සත්‍යයකි. ඔවුන්ගෙන් අති බහුතරයකට චෝදනා පත‍්‍රයක් පවා ඉදිරිපත් කර නොතිබිණි. එහෙත් සම්බන්ධන් මහතා කියන දැනට රදවාගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සීමිත පිරිසගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයකට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නිදහස පිළිබඳව තීන්දු කළයුතුව ඇත්තේ මේ රටේ අධිකරණය විසිනි. එමෙන්ම චෝදනා ඉදිරිපත් කර නැති අනෙක් පිරිස අතරින් චෝදනා ගොණු කිරීමට තරම් සාක්ෂි නැති පිරිස මුදාහැරිය යුතුව ඇති බවද පිළිගත යුතුය. ඒ යුක්තියේ නාමයෙනි. එහෙත් පසුගිය කාලවකවානුවේ ඒ සඳහා උත්සාහ කළ අවස්ථා දෙක තුනකදීම ආණ්ඩුවට එරෙහිව දේශද්‍රෝහී ලේබලය ඇලවීමට උත්සාහ කළ පිරිසක්ද මේ රටේ සිටියහ. ඒ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් එකළොස්දහසක් නිදහස් කිරීමට කටයුතු කළ තමන් දේශපේ‍්‍රමීන් ලෙස හදුන්වා ගන්නා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ අනුගාමිකයන්ය.

එහෙත් රටක් ලෙස නිවැරදි තීන්දු ගැනීමේදී අවස්ථාවාදීන්ගේ පටු ලේබල් වලට කිසිවෙකු බිය විය යුතු නැත. විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දී ඇත්තේ ඉතා සංවේදී ප‍්‍රශ්නයකි. ඔවුන් වෙතද යුක්තිය ඉටුවිය යුතුය. තමාගේ රටට ආදරයක් ඇති, රට මගේය යන හැඟීමක් සහිත, රට ගැන ඇල්මකින් යුත් කිසිදු නායකයෙක් හෝ ආණ්ඩුවක් තම රටේ පුරවැසි කණ්ඩායමකට අගතියක්, අයුක්තියක් හෝ අසාධාරණයක් සිදුවීමට ඉඩක් තැබිය යුතු නොවේ. දේශපේ‍්‍රමීත්වය කියන්නේ ඒකටය. දේශමාමක, දේශවාත්සල්‍යයයෙන් යුතු කිසිවෙකු විසින් එවන් අගතියක් කිසිවෙකුට සිදුනොකරනු ඇත.

– සුනිල් ජයසේකර

Archive

Latest news

Related news