Monday, May 20, 2024

උපාලි තෙන්නකෝන් ප්‍රහාරය: ප්‍රහාරකයා හඳුනා ගැනේ

මීට වසර කිහිපයකට ඉහතදී තමන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යළි ආරම්භවීම පිළිබඳව සතුටු වන නමුත් එයට වගකිවයුත්තන් කවුරුන් දැයි නොදන්නා බැවින් සිය ආරක්ෂාව පිළිබඳව තවමත් කිසියම් චකිතයක් පවතින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ගම්පහ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකු හඳුනාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

2009 වසරේ එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඔහු ආරක්ෂාව පතා විදේශගත විය.

දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයේ ඉල්ලීම ප්‍රකාර යළි සිය රට පැමිණ සිටියි.

ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ නිසි පරීක්ෂණයක් නොපැවැත්වුණු බව සඳහන් කළ උපාලි තෙන්නකෝන්, පරීක්ෂණ දැන් යළිත් අලුතින් ආරම්භ වී තිබීම පිළිබඳව සතුටු වන බව පැවසීය.

“මට සතුටුයි. ඒ නිසාම තමයි මම ආවේ. CID ඉල්ලීමක් කළා උදවු වෙන්න කියල. පොලිසිය කැපවීමෙන් කටයුතු කරද්දී උදවු කරන්නයි ආවේ,” ඔහු පැවසීය.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එක් සැකකරුවකු හඳුනාගත් නමුත්, තමන්ට පහරදුන් තවත් තිදෙනෙක් තවමත් නිදැල්ලේ සිටින බව පෙන්වා දෙන රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්, ඒ හැරුණු විට එම ප්‍රහාරය මෙහෙයවූයේ කවුරුන් දැයි තමන් තවමත් නොදන්නා බවත් පැවසීය.

“ගැහුවේ ඇයි? කවුද ගැහුවේ කියන එකයි මට ප්‍රශ්නය. මොනවටද ගැහුවේ කියන එක. එයාල නිදහසේ ඉන්නවා නම් මගේ ආරක්ෂාව ගැන මට සැකයක් තියෙනව.”

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව පාර්ශවයෙන් සිය ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බවත් ඔහු අවධාරණය කළේය.

z_p01-suspect-600x433

– BBC Sinhala

Archive

Latest news

Related news