Monday, May 20, 2024

මගීන්ට ගුටි කෑමට අවශ්‍ය නම් ඉල්ලා සිටිය යුතු අයිතීන් රැසක්

පොදු ප්‍රවාහණ සේවා සපයන බස් රථ තුල මගීන්ට හිමිවිය යුතු අයිතීන් සමබිම වෙබ් අඩවිය සඳහන් කර තිබේ. මෙම අයිතීන් ඔබ බස් රියදුරන්ගෙන් හෝ සහායකගෙන් ඉල්ලා සිටිය හොත් ගුටි කෑමට හෝ ගුටි බැණුම් ඇසීමට හෝ සිදුවන බව සහියේ තබා ගන්න.

1. ගමන ආරම්භ කිරීමේදී බස් නැවතුම්පළින් බස් රථය පිටත්වීමට පෙර ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමට ඔබට අයිතිවාසිකමක් ඇත.

2. බස් රථයකට නැගුණු ස්ථානය හා බැස යන ස්ථානය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශපත්‍රයක් ඔබට ලබා ගත හැකි විය යුතුය.

3. ගෙවනු ලැබූ ගාස්තුවට අදාළ ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් ගැනීමට හැකි විය යුතුය.

4. විධිමත් ඇඳුමකින් සැරසුණු විනීත හා ආචාරශීලී ඇවතුම් හා පැවතුම්වලින් යුතු රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවය ඔබට ලබා ගත හැකි විය යුතුය.

5. සාමාන්‍ය සේවා බස් රථයක නම් වයස අවුරුදු 3 ට වැඩි 12 ට අඩු දරුවන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් (භාග ටිකට්පතක්) ගෙවා බස් රථයේ ගමන් ගැනීමට හැකි වේ.

6. සුඛෝපභෝගී බස් රථයක් නම්, ප්‍රමාණවත් වායු සමීකරණ තත්ත්වයක් ලැබීමට හා අනුමත ආසන ගණනට වැඩි නොවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන පහසුවෙන් ගමන් කළ හැකි සේවාවක් ලැබීමට ඔබට හැකි වේ.

7. පොදු ප්‍රවාහන සේවා බස් රථය නීත්‍යනුකූලවම දුම්බීම තහනම් කලාපයක් වන බැවින් දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමට මගීන්ට අයිතියක් ඇත.

8. බස් රථය අධික වේගයෙන් හා නොසැලකිලිමත් ලෙස හෝ අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. බස් රථය ධාවනය කරවන විටදී රියදුරු ජංගම දුරකථනයෙන් සංවාදවල යෙදෙන්නේ නම් එයට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.

9. ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරනු ලබන බස් සේවාවක් ලැබීමට මෙන්ම ගුවන් විදුලි යන්ත්‍රය වුවද ශබ්දය (උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80) අවහිරයක් නොවන ලෙස පාවිච්චි කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට මගී ඔබට අයිතියක් ඇත.

10. අවසර පත්‍රයේ අධිකාරිය යටතේ ධාවනය කරන බස් රථයේ දොරවල් බස් රථය ධාවනය කෙරෙන අතරතුර වසා තිබෙන බවට ඔබට තහවුරු විය යුතුය.

11. ගාස්තු ගෙවන මගියා බස් රථයේ වැදගත්ම පුද්ගලයා වන බැවින් ඒ සඳහා වන ගෞරවය හා සැලකිල්ල ලැබීමට හැකි විය යුතුය.

12. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බස් සේවක කණ්ඩායම්වල සේවය ඔබට ලබා ගත හැකි විය යුතුය.

13. අර්ධ සුඛෝපභෝගී බස් රථවල අනුමත ආසන ගණනට වැඩි නොවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන බවට ඔබට තහවුරු කර ගත හැකි වේ.

14. බස් රථය නියමිත වේලාවට ගමන් ඇරඹීමට හා ගමන් නියමිත වේලාවට නිම කරනු ලබන බවට ඔබට තහවුරු විය යුතුය. ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන නිම කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබේ.

අන්තර් පළාත් ධාවනය සඳහා අවසර ලත් බස් රථ විසින් මඟීන් වෙත සැපයීමට එකඟ වී ඇති කොන්දේසි

1. බස් රථය විසින් ඒ තුළ ගමන් ගන්නා මගීන් සහ තුන්වන පාර්ශ්වය (පදිකයන්, අනෙකුත් වාහන හා දේපළ) සඳහා අසීමිත වගකීමක් යටතේ රක්ෂණ සහතිකයක් ලබා ගෙන තිබිය යුතුය.

2. බස් රථය තුළ ගිනි නිවීමේ උපකරණයක් තිබිය යුතුය.

3. මගීන් සහිතව සේවාවේ ධාවනය කරමින් පවතින අතරතුරදී අතරමග ඉන්ධන පිරවුම්හල්වලින් බස් රථයට ඉන්ධන යෙදීම නොකළ යුතුය.

4. බස් සේවක කණ්ඩායම වැදගත් හැසිරීමකින් මෙන්ම විධිමත් ඇඳුමකින් සැරසී සේවයේ යෙදිය යුතු අතර ඔහු හෝ ඇය තමාගේ සේවය පිළිබඳව මනා පුහුණුවක් ලැබූ අයෙකු මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වූ අයෙකු බවට නිකුත් කරනු ලැබූ හැඳුනුම්පත්‍ර සේවයේ යෙදී සිටින විට පැළඳ සිටිය යුතුය.

5. බස් රථය ගමනාරම්භයේදීම බස් නැවතුම්පොළින් පිටත් වීමට පෙර බස් රථයේ සිටින සියලුම මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කළ යුතු අතර අතරමගදී බස් රථයට ඇතුළු වන සියලුම මගීන්ට ඒ අවස්ථාවේදීම ප්‍රවේශපත්‍ර නිකුත් කළ යුතුය. ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ විද්‍යුත් යන්ත්‍ර භාවිතා කළ යුතුය.

6. අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී සේවා බස් රථවල ආසනගත මගීන් පමණක් ප්‍රවාහනය කළ යුතු අතර සිටගෙන මගීන් ගෙන යාම තහනම් වේ.

7. බස් රථයේ ගමන් ගන්නා මගීන්ට දැන ගැනීම පිණිස බස් ගාස්තු සටහන, බස් රථය ගමන් ආරම්භ කරන වේලාව, ගමනාන්තයට ළඟා වන වේලාව, රියදුරු සහ කොන්දොස්තරගේ ලියාපදිංචි අංක, බස් රථයේ අංකය බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය.

8. බස්රථය තුළ ක්‍රියාත්මක වන ඔරලෝසුවක් තිබිය යුතුය.

9. බස් රථය ඇතුළත විදුලි පරිපථ මගින් කෙරෙන සැරසිලි හා වෙනත් සැරසිලි ද නොකළ යුතුය.

Archive

Latest news

Related news