Saturday, May 4, 2024

කන්දෙගෙදර පියවංශව දැක්කෙ නඩුවෙනුත් පස්සෙ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ පිළිතුරු දෙයි

නීතිඥයකු වන ජේ. සී. වැලිඅමුණ මහතා ජනවාරි 8 දේදුනු විප්ලවය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ අයෙකි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහි බරපතළ චෝදනාවකි. එසේ වූ කල නීතිඥ වැලිඅමුණ මහතා ලසන්ත ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි බවට එක්තරා වෙබ් අඩවියක් මඟින් චෝදනා කර තිබිණි. ඒ පිළිබඳව වැලිඅමුණ මහතාගෙන් සත්හඬ කළ විමසීමකි මේ.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන අයකු වෙනුවෙන් ඔබ පෙනී සිටි බවටත් මේ සම්බන්ධව ඔබගෙන් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ ඔබ පිළිතුරු දීම මඟහැරිය බවටත් එහි දී ඇසීමට බලාපොරොත්තු වූ ප‍්‍රශ්න ඇතුළත් ඊමේල් පණිවුඩයට පවා ඔබගෙන් පිළිතුරු නැති බවටත් එක්තරා වෙබ් පුවත්පතක් මඟින් ඔබට එරෙහිව චෝදනා නගා තිබෙනවා. ඔබ දැන් මාධ්‍ය මඟහරින්නේ ඇයි?

විශ්වසනීයත්වයෙන් යුතු  ඕනෑම මාධ්‍යයක් මගෙන් කරන විමසීම්වලට මා පිළිතුරු දෙනවා වගේම ප‍්‍රවෘත්ති සාකච්ඡා මා ලබා දී තිබෙනවා. ඉදිරියටත් ලබා දෙනවා. ඒ වගේම අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ද්වේශසහගත ලෙස මට පහර දෙන මාධ්‍ය හෝ මාධ්‍යකරුවන්ට මම උත්තර දෙන්නෙත් නැහැ, මාධ්‍ය සාකච්ඡා ලබා දෙන්නෙත් නැහැ.

ඔබ ජනවාරි 8 වූ වෙනසට කැපී පෙනෙන ලෙස දායක වූ අයෙක්. එහි දී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධව සැක කෙරෙන කන්දෙගෙදර පියවංශ නමැති අය වෙනුවෙන් ඔබ ගල්කිස්ස මහාධිකරණයේ දී පෙනී සිටි බවට එකී වෙබ් පුවත්පත චෝදනා නගා තිබෙනවා. ඔබ මඟහරින්නේ එකී කාරණාවයි. මේ ගැන කියන්නේ කුමක්ද?

මම අපරාධ නඩුවලට පෙනී සිටින නීතිඥවරයෙක් නොවෙයි. එය ප‍්‍රසිද්ධ කාරණාවක්. මම මහෙස්ත‍්‍රාත් අධිකරණ හෝ මහාධිකරණවල පෙනී නොසිටින බව ඔය ලියපු කට්ටිය පවා දන්නවා. ඒ නිසා මම මහෙස්ත‍්‍රාත් අධිකරණ හෝ මහාධිකරණවල පෙනී සිටියාය යන්න තනිකර බොරුවක්.කන්දෙගෙදර පියවංශ කියන පුද්ගලයා මාස 8-10 ක පමණ කාලයක් තිස්සේ හදිසි නීති රෙගුලාසි මඟින් රඳවාගෙන සිටිමින් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වෙනතක හැරවීමේ උපායක් තිබෙනවාය කියන පදනම මත ඔවුන්ගේ පවුලේ අය මූලික අයිතිවාසිකම් නඩුවක් සඳහා මගේ සේවය ලබා ගත්තා.

458/2010 යන එකී නඩුවේ දී මම එම පවුලේ අයගේ උපදෙස් මත පෙනී සිටියා. මම මුළු ඉතිහාසය පුරා වින්දිතයන් වෙනුවෙන්, ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති කට්ටිය වේවා මිලිටරි අත්අඩංගුවේ සිටින අයකු වෙනුවෙන් වේවා කවුද, මොකක්ද කියන එක මට අදාළ වන්නේ නැහැ, මගේ යුතුකමක් වශයෙන් අදාළ නඩුවකට මා පෙනී සිටිනවා.

මට මතක විදිහට මේ කියන කන්දෙගෙදර පියවංශ නමැත්තාගේ නඩුවේ ගොනු කිරීම් කළේ ගව්රි සංගරී තවරාසා මහත්මියයි.ඇයත් මේ නඩුවේ වියදම්වලට සෑහෙන්න අතින් වියදම් කළා. මේ නඩුව යන අතරතුර මට ඔහුව කවදාවත් හමුවෙලා නැහැ. මුලින් බූස්සේ රඳවලා හිටිය. මේ නඩුවට අදාළව තොරතුරු ගත්තේ නීතිඥවරුන් බන්ධනාගාරයට ගිහිල්ලයි.

ලසන්ත ඝාතන නඩුව නියමාකාරයෙන් විමර්ශනය විය යුතු තැනයි අපි කවුරුත් සිටියේ. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සම්බන්ධද යන්න හා එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා හා සම්බන්ධයක් තිබේද යන්න ගැන ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අය තමන්ගෙන් ප‍්‍රශ්න කළ බව මෙම නඩුවේ දී ඔහු කියනවා.

ඒ වගේම මේ නඩුව මානව හිමිකම් නඩුවක් මිස ඇප ලබා ගන්නා නඩුවක් නොවේ. හදිසි නීතිය යටතේ කෙනෙක් මේ ආකාරයට බන්ධනාගාරගත කරන්න පුළුවන්ද යන්න මේ නඩුවේ විෂය පථයයි. මේ සම්බන්ධ නඩුව අවස්ථාවේ සේවාදායකයගෙන් ලැබිච්ච උපදෙස් මඟින් පෙනී ගිය දේ තමයි පැහැදිලිවම මේ නඩුව විමර්ශනයකට භාජනය වන්නේ නැත යන්න. මේ දේට ඔහු සම්බන්ධයිද නැතිද කියා මට කියන්න බැහැ. ඒක නීතිඥවරයකු වශයෙන් මගේ කර්තව්‍යය නොවෙයි. මගේ නඩුවේ දී මෙය මූලික අයිතිවාසිකම් නඩුවක් පමණයි. ඒ නිසා මේ නඩුව ඇප ගන්න හෝ වෙනත් නඩුවක් නොවෙයි.

එහෙත් මෙයට අදාළ වෙබ් පුවත මඟින් ඔබ කන්දෙගෙදර පියවංශ නමැත්තාට ඇප ගැනීමට සමත් වූවාද යන්න විමසනවා.

නැහැ. තනිකර බොරුවක්. ඇප ගැනීමට මහෙස්ත‍්‍රාත් අධිකරණයට හෝ මහාධිකරණයට යා යුතුයි. 2010.11.10 වන දා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මඟින් ජේසුදාසන් හා පියවංශ යන දෙදෙනාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ නැතැයි කියා මහෙස්ත‍්‍රාත් අධිකරණයට කියලා එකී අධිකරණයේ දී ඔහු මුදාහැරීමේ නියෝගයක් ලබා දී තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙනී ගිහින් තිබෙනවා.

අනෙක් කාරණය මාධ්‍යවේදියකුට මේ නඩුව ගැන තොරතුරු දැනගන්නට  ඕන නම් මහෙස්ත‍්‍රාත් අධිකරණයට යා යුතුව තිබෙනවා. මොකද නීතිඥවරයා සහ සේවාදායකයා අතර ඇති සම්බන්ධතාව මත නීතිඥවරයකුට තවකෙකුට තොරතුරු දෙන්නට පුළු‍වන් කමක් නැහැ.

මෙය මානව හිමිකම් නඩුවක් නිසා එකී නඩුවේ සිද්ධ වූ දේ මට කිව හැකියි. එනිසා විශ්වසනීය මාධ්‍යවේදියකු කරන්නට  ඕනා නඩු ගොනුව සොයාගෙන යාමයි. අඩුම තරමින් නඩුවේ අංකය දන්නවා නම් ඊට පෙනී සිටියේ කවුද කියා සොයාගත හැකියි. ඒවා සොයන්නේ නැතිව මම කන්දෙගෙදර පියවංශට ඇප ගැනීමට පෙනී සිටියාය කියන එකේම තිබෙන්නේ ද්වේශයයි.

පියවංශ වෙනුවෙන් ඔබ පෙනී සිටි නඩුවට යුද හමුදාවෙන් යම්කිසි ගෙවීමක් ඔබට කළා නොවේද?

නැහැ. කිසිම ගෙවීමක් කළේ නැහැ. මම දන්නා විදිහට වියදම දැරුවෙ පියවංශගේ පවුලේ අය විසිනුයි. එහෙත් එම වියදම ප‍්‍රමාණවත් නොවුණු නිසා ගව්රි තවරාසා මහත්මිය වියදම් දරාගත්තේ.

ඒ කාලයේ මේ පුද්ගලයාව මම දන්නෙත් නැහැ. දැකලත් නැහැ. ඇත්තටම මම මේ පුද්ගලයාව ඇහැට දැක්කේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව ඉවර කිරීමෙන් පසු නිදහස්ව පැමිණි පසුවයි. ඔහුත් සමඟ මගේ ගනුදෙනුවක් නැහැ. එහෙත් සේවාදායකයකු ලෙස ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මා බැඳී සිටිනවා.

ඔබ කියන්නේ කන්දෙගෙදර පියවංශ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන අවස්ථාවට ඔබ සම්බන්ධ නැහැ. එය හරිද?

මම සම්බන්ධ නැහැ. එය කරන්නේ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන්. මූලික අයිතිවාසිකම් නඩුවේ විෂය පථය වන්නේ හදිසි නීති රෙගුලාසි යටතේ මේ ආකාරයට කෙනෙක් රඳවාගෙන ඉන්න පුළු‍වන්ද කියන එකයි. ඔහු චෝදනා නොලබා මාස 18 ක් හදිසි නීති රෙගුලාසි යටතේ රඳවාගෙන තිබුණා.

ඔබ කන්දෙගෙදර පියවංශ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියනේ. ඒ වන විට කන්දෙගෙදර පියවංශ එවකට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බුද්ධි අංශයකට අනුයුක්තව සිටි වග ඔබ දැන සිටියද?
නැහැ. මටත් කියන්නට පුළුවන් සීමාවක් තිබෙනවා. ඔහු කියූ දේවල් සියල්ල පෙත්සමේ තිබෙනවා. ඒ හැර කිසිම දෙයක් අපි දන්නේ නැහැ. මොකද මෙය සේවාදායකයා හමුවී සාකච්ඡා කිරීමට ලැබෙන අවස්ථාවක් නොවෙයි. මහෙස්ත‍්‍රාත් අධිකරණයට යන නීතිඥවරුන් තමයි ඔහු හමුවන්නේ.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසු කවර හෝ හමුදා නිලධාරියකු සම්බන්ධව ඔබ පෙනී සිටියාද?

එකී ඝාතනයෙන් නොවේ, ඊට පෙර සිටම හමුදා නිලධාරීන් රැසකගේ උසස් කිරීම් ප‍්‍රශ්න සම්බන්ධ නඩු, හමුදාවෙන් එළවීම් පිළිබඳ නඩු, ආබාධිත සොල්දාදුවන් පිළිබඳව නඩු, මං හිතන්නේ සෑහෙන ප‍්‍රමාණයක් මා කර තිබෙනවා. ඒ වගේම ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව හමුදා සෙබළුන් දැමූ නඩුවලින් අතිබහුතරයකට මා පෙනී සිටියා. ඒවා සියල්ල මූලික අයිතිවාසිකම් හා රිට් ආඥා පිළිබඳ නඩු.
එතැන දී වගඋත්තරකරු කවුරුන්ද යන්න මට අදාළ වන්නේ නැහැ. මා ප‍්‍රවීණතාව දක්වන ක්ෂේත‍්‍රය සම්බන්ධව සේවය ලබා නොදිය යුත්තේ යම් ආකාරයක ගැටලූසහගත ඒ කියන්නේ මම මුළුමනින්ම සම්බන්ධ සිද්ධියක, නැතිනම් ඥාති සම්බන්ධයක් තිබෙන, මේ ආකාරයේ යම් ගැටලූ‍වක් නිසා මට සදාචාරාත්මකව පෙනී සිටිය නොහැකි තත්ත්වයකදියි. එසේ නොවන අවස්ථාවක දී පෙනී සිටීමට මා බැඳී සිටිනවා.

ඔබ වත්මන් ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස කටයුතු කරනවාද?

මම කිසිම කෙනෙකුගේ උපදේශකයකු ලෙස වැඩ කරන්නේ නැහැ. මම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමඟ සම්බන්ධ වන්නේ සිවිල් සංවිධාන සමඟ ඇති සංවාදය ඔස්සේයි. ඊට අමතරව සොරකම් කළ විදේශ වත්කම් පිළිබඳ කාර්යසාධක බළකායේ සභාපතිවරයා ලෙස මම කටයුතු කරනවා. හැබැයි එය ගරු සේවයක්.

ඒ හැර මම රජයේ දේවල්වලට සම්බන්ධ වන්නේ මගේ වෘත්තීය මට්ටමින් ආරාධනයක් ලැබුණොත් පමණයි. උදාහරණයක් ලෙස මම තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පත සම්බන්ධව සම්බන්ධ වුණා
ප‍්‍රභාත් වීරරත්න
උපුටා ගැනිම සත්හඩ

Archive

Latest news

Related news