Saturday, May 4, 2024

එළියේ 18යි, ඇතුළේ 23යි !. ජීවිතය සිරගෙට සින්න වුණු සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන්

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය විසින් පසුගියදා පැවැත් වූ විරෝධතා උද්ඝෝෂන වලින් අනතුරුව නැවතත් දේශපාලන සිරකරුවන් පිළිබඳව කතාබහ කරළියට පැමිණ ඇත. එහෙත් විසල් උස් තාප්ප වලින් බාහිර ලෝකයෙන් වෙන්කරන ලද මිනිස් ජීවිත පිළිබඳව කතාව වෙනුවට බොහෝ තැන්හි ඉස්මතු වන්නේ දශක තුනක වෛරයේ තත් සුසර කෙරෙන හඬමය. නිලලත් බලධාරීන් ලොවට පවසන දෙය මිස කූඩුකරන ලද මිනිසුන්ගේ සැබෑ කතාවන් සමාජයට විවර නොවීමද මීට හේතුවකි. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දකුණේ සමාජයට වීරයෙකු වූ යුගයක් තිබිණි. අදටද ඔහු නිදහසේ සිටියි. එහෙත් එකී කරුණා අම්මාන් විසින් පුහුණු කරනු ලදුව, අණ දෙනු ලදුව ළමා සොල්දාදුවෙකු ලෙසින් එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ වී වයස 18න් සිර ගතව, දැනට වසර 23ක්; එනම් සිය ජීවිත කාලයෙන් නිදහසේ ගත කළ කාලයට වඩා වැඩි කාලයක් සිරගතව ගත කරන මිනිසෙකු පිළිබඳව කතාවයි මේ. වයස අවුරුදු 20ක යොවුන් වියේදීම වසර 70ක සිර දඬුවමක් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ජීවිතය සහමුලින් උදුරා ගැණුනු තරුණයෙකුගේ කතාවයි මේ.

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ, බේකාස් පාරේ පදිංචිකරුවෙකි. රැකියාව ලෙස රා මැදීම කර ඇත. විවාහකව දරුවෙක්ද සිටින බව කියතත් දැනට කිසිදු පවුල් සම්බන්ධකමක් ඔහු සතුව නැත. ඔහුව බැලීමට හෝ බන්ධනාගාරයට කිසිවෙක් එන්නේද නැත. දැනට 41 හැවිරිදි ඔහුගේ දිවිය ගෙවෙන්නේ කොළඹ, මැගසින් බන්ධගාරයේය.

1993.09.27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුධ හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත් අඩංගුවට පත්ව ඇත. සැකපිට අත් අඩංගුවට ගත් ඔහුව කොම්මාන්තුරයි හමුදා කඳවුරටද එතැනින් මඩකලපු බන්ධනාගරයටද ගෙන ගොස් රදවා තබාගෙන ඇත. එවකට මඩකලපු බන්ධනාගාරයද තිබී ඇත්තේ හමුදා භාරයේය. ඔහු හමුදා භාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID ) පැමිණ සිය සුපුරුදු ක්‍රියාදාමයට අනුව ඔහුට පහරදී වධහිංසාවට ලක්කර ඔහුගෙන් ප්‍රකාශයන්ට අත්සන් ලබාගෙන තිබේ. එදා තබා වසර 23ක් සිංහල සිරකරුවන් සමඟ ගෙවන බන්ධනාගාර දිවියෙන් අනතුරුව අදටද ඔහුට සිංහල භාෂාව හරිහැටි භාවිතා කිරීමට බැරිය. ඔහුගෙන් එදා අත්සන් ලබාගෙන තිබුණේ ඔහු කොහෙත්ම නොදත් සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රකාශ ලේඛන වලටය. එම පාපොච්චාරණ නම් වූ ලියවිලි මත පමණක් පදනම් වෙමින් කොළඹ මහාධිකරණයෙහි HC/6894/94 දරණ නඩු අංකය යටතේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන අන්දමකින් බිඳහෙළිමට තැත් කිරීම සහ හමුදා කඳවුරුවලටත් පොලිසි වලටත් පහර දුන් එල්. ටී. ටී. ඊ. මෙහෙයුම් වලට දායක වීම යන චෝදනා මත නඩු පවරනු ලදුව 1995.07.24 වැනි දින ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ තවත් වසර 70ක සිර දඬුවමක් නියම වී ඇත.

සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන් LTTE සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16ක් පමණ වන විටය. ඔහු පවසන ආකාරයට සහ ඔහු අධිකරණයට දී ඇති කට උත්තරය අනුවත් එවකට LTTE ඉහළම නායකයකු මෙන්ම පසුව හිටපු ඇමති, හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් මොහුව පුහුණු කරවා, ක්‍රියාමාර්ග වලට යොදවා ඇත. පුහුණුව ලැබීමෙන් පසුව ඔහුව LTTE කඳවුරු රැකවල් කිරීම, කඳවුරු වලට ආහාර පාන සැපයීම වැනි රාජකාරි වල යොදවා ඇත. ඔහු එවකට වයස 16ත් 18ත් අතර ළමයෙකි. හමුදා කඳවුරකට පහරදීම යනු දැවැන්ත ක්‍රියාදාමයකි. මහේන්ද්‍රන් වැන්නන්ට එහි සුළු සුළු රාජකාරි පැවරෙන්නටද ඇත. LTTEය වැනි සංවිධානයක වයස 16 ළමයෙකුට නායකත්ව වගකීම් හෝ බරපතළ වගකීම් පැවරෙන්නට ඉඩක් නැත. ඔහුව කුඩා කුඩා රාජකාරි වලට යොදවා තිබුණේ කරුණා අම්මාන් විසිනි. එහෙත් ඔහු දඬුවම් ලබා සිටින්නේ හමුදා කඳවුරු වලට සහ පොලීසි වලට ප්‍රහාර එල්ල කිරීමට අදාල චෝදනාවන්ටය.

මහේන්ද්‍රන් LTTE සංවිධානයෙහි කටයුතු කර ඇත්තේද වසරක් හෝ වසර එකහමාරක් පමණ කෙටි කාලයකි. ළාබාල වයස හේතුවෙන් ම සංවිධානයෙහි ජීවිතය කළකිරුණු ඔහු සංවිධානයෙන් පැනගොස් ඇත. පළායාමෙන් අනතුරුව සිය නිවසෙහි සැඟවී සිටියදී LTTE සාමාජිකයින් පැමීණ ඔහුව නැවත රැගෙන ගොස් ඇත. සංවිධානයෙන් පළායාමේ වරදට දඬුවම් ලෙස ඔහුව කඳවුරු වල ආයුධ සන්නද්ධ නොවන,සුළු සුළු වැඩ වල කෙටි කාලයකට යොදවා ඇත. ඉන් පසුව ඔහුව සංවිධානයෙන් ඉවත්කර නිදහස් කර හැර තිබේ. එයින් පසු නැවත නිවසට පැමිණි ඔහු රැකියාව ලෙස රා මැදීම කරමින් ජීවිකාව සපයාගෙන විවාහයක්ද කරගෙන ඇත. ඔහු පවසන ආකාරයට ඔහු හමුදා අත් අඩංගුවට පත් වන්නේ විවාහ වී මාස 5ක පමණ කාලයකිනි. එවකට ඔහුගේ බිරිඳ ගැබිනියකව සිට ඇති බවත් ඔහු පවසයි. එකී දරුවා ඔහු කිසිදිනෙක දැක නැත.

සිංහලෙන් ලියන ලද පාපොච්චාරණ නම් වූ ප්‍රබන්ධ ලියවිල්ලක් මත පමණක් පදනම් වෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු අසා, නොකළ වැරදිවලට ජීවිතාන්තය දක්වා සහ වසර 70ක සිරදඬුවම් දෙකක් නියම වීමෙන් අනතුරුව CA/190/1995 අංක යටතේ ඔහු විසින් අභියාචනයක් අභියාචනාධිකරණයට ගොනු කළද 2003 වසරේදී පෙර තීන්දුවම නැවත ලැබී ඇත. ඉන් පසුව sc (spl) LA.no. 165/2003 අංක යටතේ ශ්‍රේෂ්ටාධිකරනයෙන් නැවත ඉල්ලීමක් කළද ඔහුට සහනයක් ලැබී නොමැත. නව යොවුන් වියේදී වසරක එක හමාරක කාලයකට දායක වූ අරගලයක් හේතුවෙන් අවසානයේ නොකළ ප්‍රහාරයන්ටද චෝදනා ලැබූ සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන්ගේ ජීවිතය අද මහ උළුගෙදරට සින්න කෙරී ඇත.

ඔහුට නිසි අධ්‍යාපනයක් ලැබී නැත. අවම වශයෙන් සිය නිවැරදි වයස හෝ උපන් දිනයක් හෝ කියන්නටද ඔහු දන්නේ නැත. ඔහු පවසන ජීවිත කාලයෙනුත් ඔහු ‘එළියේ’ ගත කර ඇත්තේ වසට 18ක් පමණි, දැන් වසර 23ක් හිර ගෙදර හෙවත් ‘ඇතුළේ’ ය. පෙර කී වසර 18නුත් වසර එකහමාරක් තරම් ඔහු ගත කර ඇත්තේ සන්නද්ධ ව්‍යාපාරයක් තුළය. දැනට ඔහුට පවුලේ අය සමඟ කිසිදු සම්බන්ධයක් නැත. සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් නම් කිසිවෙකු සිටින බවත් ඔවුන්ට අමතක වී ඇතිවා වන්නටද පුළුවන.

‘පහත් තැනින් යයි ගලා ජලේ’ යනුවෙන් කියමනක්ද තිබේ. කරුණා අම්මාන් යටතේ පුහුණු වී ඔහුගේ අණයටතේ ක්‍රියාත්මක වුණු ළමා සොල්දාදුවෙකු වූ මහේන්ද්‍රන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිද්දී කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට පිවිසියේය. මුරපොළවල් මුර කළ මහේන්ද්‍රන් සිර ගෙදර ලගිද්දී ප්‍රහාර සැලසුම් කළ කරුණා ඇමතිවරයෙක් වුණේය. කඳවුරු වලට ආහාර සැපයීමට ගිය මහේන්ද්‍රන් සිරබත් කද්දී කරුණා අම්මාන් සිය ඇමති මිතුරන් සමඟ සාද පවත්වමින් සිටියේය. වසර එක හමාරක් LTTEයේ සුළු රාජකාරි කළ මහේන්ද්‍රන්ට නිදහසක් පිළිබඳව බලාපොරොත්තු අධිකරණය ඉදිරියේ අත් හරින්නට සිදුවෙද්දී නැව් ගණනින් ආයුධ ගෙන්වූ බව කියූ කේ.පී. කිසිදු චෝදනාවකින් තොරව නිදැල්ලේය. දයා මාස්ටර් දින කිහිපයකින් ඇප ලබා නිදහසේය. අපට ඇති ප්‍රශ්නය නම් යුක්තිය කොහිද යන්නය. අප කියා සිටින්නේ කරුණලා, කුමරන් පත්මනාදන්ලා, දයා මාස්ටර්ලා ලද නීතිමය සහනය මහේන්ද්‍රන්ලාටද හිමිකරන දෙන ලෙසය.

එසේම නීත්‍යානුකූල නොවන අන්දමකින් ආණ්ඩුව බිඳහෙළීමට කටයුතු කිරීමේ චෝදනාව මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ටද එල්ල වී තිබිණි. එහෙත් ජවිපෙ සාමාජිකයින්ට පසුව නොයෙකුත් නීතිමය සහනයන් මත නිදහස ලැබිණි. වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධයක් අවසන්ව වසර 7කට පසුත් තවමත් සිර දඬුවම් විඳින සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් ඇතුළු 160ක් පමණ පිරිසට එවන් සහනයක් නොදෙන්නේ ‘ජාතිවාදී’ පදනම මත නොවේ නම් අන් කුමක් මතද ?

එදා උතුරු නැගෙනහිර පැවති සමාජ, දේශපාලනික තත්වය මත සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන්ලා LTTE සංවිධානයට එක් විය. 1995 වකවානුවේ තිබුණු යුධමය වාතාවරණයේ ස්වභාවය මත සැකකරුවන්ට දඬුවම් පැමිණවීම හැර විධිමත්ව නඩු ඇසීමක් ගැන හැඟීමක් දකුණේද තිබුණේ නැත. කෙසේ වෙතත් අද වන විට 41 හැවිරිදි මේ මිනිසා ජීවිතාන්තය දක්වා සිරගත කර තැබීමෙන් පළිගැනීමේ කෲර තෘප්තියක් හැර ලබන්නට දෙයක් තිබේද ? ඔවුන් වෙනුවෙන්, ඔවුන් නිදහස් කිරීම වෙනුවෙන් දේශපාලනික තීන්දුවක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

~ රුවන් නෙලූ / LNW

Archive

Latest news

Related news