Monday, May 6, 2024

ජනපතිතුමනි, මේ අහන්න, මහ බැකුව බේර ගන්න!

2016 ජුනි 07 වනදා
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1.
ගරු ජනාධිපතිතුමනි,
මහ බැංකු අධිපතිවරයා සිය බලය අයථා පරිහරණය සම්බන්ධයෙනි.

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නුසුදුසු බව ප්‍ර‍කාශ කළ ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති රකින්නට මහ බැංකු අධිපතිවරයා මැදිහත්වීම
බැදුම්කර නිකුතු දෙකක් හරහා ‘සබැදියාවන් අතර ගැටුම්‘ ඇතිකොට ගෙන ඇති වත්මන් මහ බැංකු අධිපතිවරයා ලංකා පුත්‍ර‍ බැංකුව සම්බන්ධයෙන් තම බලය අයථා පරිහරණයට ලක් කිරීම සිදු කොට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 මාර්තු 24 දින ලිපියක් මගින් ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති එම ධූරයේ තවදුරටත් කටයුතු නොකළ යුතු බව දන්වනු ලැබීය. එයට හේතු වූවේ,

1. සභාපති ලසන්ත ගුණවර්ධනට එම ධූරයේ කටයුතු කිරීමට 2007 අංක 12 දරණ බැංකු උපදේශන පනතේ 3 (5) (IX ) යටතේ (වෘත්තීය) සුදුසුකම් නොමැති වීම
2. මෙයට පෙර ද ලබා දී තිබූ අනතුරු හැගවීම් නොතකා සභාපතිවරයා බැංකුවේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට අසමත්වී ඇති බව සහ එබැවින් ඔහු සභපති ධූරයේ වගකීම් ඉටුකිරීමට අසමත්වීම

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නියෝග – උපමාන අනුව කටයුතු කිරීමට මෙරට ලියාපදිංචි වානිජ්‍ය හා විශේෂිත බැංකු බැදී සිටී. ඒ බැංකු ක්‍රියාවලියේ උන්නතිය හා තත්ව ආරක්ෂණය වෙනුවෙනි. ඒ සදහා ඔවුන් වෙත , 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 (එච්) හි 42 (2) යටතේ බලය හිමිවේ.

එම බලය මහ බැංකු අධිපතිවරයාට නිශේධනය කළ නොහැකිය. ඉතා විමසිලිවන්ත අධීක්ෂණයකින්, පසුවිපරමකින් පසුව සිදු කරනු ලබන බැංකු අධික්ෂණ නිර්දේශයන් හි නියෝග සමස්ථ බැංකු කේෂ්ත්‍ර‍යටම එක ලෙස බලපානු ලබයි.

මෙයට අමතරව, ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ බලහත්කාරයෙන් මේ වන විට රැදී සිටින සභාපතිවරයාට එරෙහිව
1. බැංකුවේ දෛනික කටයුතු සදහා බලපෑම් කිරීම
2. බදවා ගැනීම් සදහා සෘජුව මැදිහත්වීම
3. පුවත්පත් සාකච්ඡාවක දී ගණුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කිරීම පිළිබද සාක්ෂි සහිත තොරතුරු මේ වන විට ඉදිරිපත්වී ඇත.
ගරු ජනාධිපතිතුමනි,

ලංකා පුත්‍ර‍ බැංකුවේ සමාගම් ලේකම් ගාමිණී පිටිපන විසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් මාර්තු 24 දිනැති ලිපිය නැවත කැදවා ඇති බවයි. (අදාළ ලිපිය මේ සමග අමුණා ඇත)

මහ බැංකු අධිපතිවරයාට එලෙස බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපියක් නැවත කැදවීමේ බලයක් නැත. තාක්ෂණික ඇගයීමකින් පසුව සිදු වන නිර්දේශ ආපසු කැදවීම වනාහි ‘ඒකාධිපති‘ කටයුත්තකි.
ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඉවත් කිරීම වලක්වා ගැනීම සදහා මහ බැංකු අධිපතිවරයා ගේ ඉතා පැහැදිලි ලෙසම සිය බලය අයථා පරිහරණයකට ලක් කොට ඇත.

‘දුෂණ විරෝධී පෙරමුණ‘ ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටින්නේ ‘මහ බැංකු අධිපතිවරයාගේ බලය අයථා පරිහරණය පිළිබද දැඩි අවධානයක් යොමු කර ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සම්බන්ධ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම, තම බලය අයථා පරිහරණයට ලක් කොට ඇති ‘මහ බැංකු අධිපතිවරයා නැවත එම ධූරයට පත් කිරීම සිදු නොකරන ලෙස දුෂණ විරෝධී පෙරමුණ ද කාරුණිකව ඉල්ලමු.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ
2016.06.07

Archive

Latest news

Related news